ගුණාත්මක අධ්‍යාපනයක් සඳහා ජාතික පාසල් දහසක් අරඹනවා | දිනමිණ


 

ගුණාත්මක අධ්‍යාපනයක් සඳහා ජාතික පාසල් දහසක් අරඹනවා

සෑම දිසාවකටම ත්‍රෛභාෂික පාසලක් ඇතිකරන බවත් අගමැති කියයි

ගුණාත්මක අධ්‍යාපන ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා රටපුරා ජාතික පාසල් දහසක් ඇතිකර එක දිස්ත්‍රික්කයකට ත්‍රෛභාෂික පාසලක් ආරම්භ කිරිමට ආණ්ඩුව පියවර ගන්නා බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ ‍ෙකළේය,

මහනුවර කටුගස්තොට ශ්‍රී පලිපාන චන්දානන්ද බෞද්ධ බාලිකා විද්‍යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඊයේ (6) අගමැතිවරයා මේ බව පැවසුවේය.

තවදුරටත් අගමැතිවරයා මෙසේද පැවසීය.

ශිෂ්ට සම්පන්න සමාජයක් බිහි කිරීම සඳහා නැණ මෙන්ම ගුණද වර්ධනය වන අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක විය යුතු නමුත් අද මෙරට පාසල් පද්ධතිය තුළින් බිහිවන බොහෝ දරුවන් තුළ දකින්න ලැබෙන්නේ නැණ පමණයි.

නැණ නුවණින් කොපමණ ඉහළ සිටියත් ගුණ නොමැති දරුවන් ගෙන් සමාජයට අත්වන සෙතක් නැහැ. මේ නිසා ගුණ නැණ දෙකින්ම පොහොසත් දරුවන් සමාජයට දායාද කිරීම කාලෝචිත අවශ්‍යාතවක් .

මෙරට අධ්‍යාපනය ඈත අතීතයේ දී පන්සල හා බද්ධ වී තිබුණා. අධිරාජ්‍යවාදීන්ගේ ආගමනයත් සමඟ ක්‍රමයෙන් මේ සියල්ල වෙනස්ව ගොස් පන්සලෙන් අධ්‍යාපනය ඈත්ව ගොස් පෞද්ගලික පාසල් ඔස්සේ වෙනම අධ්‍යාපන ක්‍රමයක් බිහිවූණා.

ආගම ඉගැන්වීමට පාසල් වල කාලය වෙන් කරනු ලබන්නේ සතියකට විනාඩි හතළිහ බැගින් කාල පරිච්ඡේද දෙකක් පමණයි. දරුවකුට ගුණ යහපත්කම් කියාදෙන ආගම ඉගැන්වීමට මෙයට වඩා කාලයක් පාසල් තුළ වෙන් කළ යුතුයි. පටු අදහස් ඇති පිරිස් සමාජයට බිහි වන්නේ මේ නිසායි.

ළමුන් දහම ගැන නොසිතා අධ්‍යාපනයේදී ඉලක්ක කර ගන්නේ දැනුම පිළිබඳව පමණයි. ඒ ඔස්සේ තරඟයකට මෙන් අධ්‍යාපනය හඹා ගොස් රැකියාවක් ලබාගෙන මුදල් හරි හම්බ කිරීම ඔවුන්ගේ මූලික අරමුණයි. මුදල් ඉපැයීමේ අපේක්ෂාවෙන් දරුවන් මුදා ගැනීමට ඉවහල් යන විහාරස්ථාන කේන්ද්‍ර කර ගත් පාසල් මේ ආකාරයට බිහිවීම සතුටට කරුණක්.

අස්ගිරි පාර්ශ්වයේ කීර්තිමත් ගුණවත මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ නමක් වූ පලීපාන ශ්‍රී චන්දානන්ද නාහිමි නමින් මෙම බාලිකා විදුහල ආරම්භ වීම ඉතා වැදගත්.

ලෝකය ජය ගන්න නම් අධ්‍යාපනය තුළින් දමනය වූ අයෙකු බිහි කළ යුතුයි. විද්‍යාගාර,පිහිනුම් තටාක පමණක් නොව ගුණාත්මක වෙනසක් අධ්‍යාපනය තුළින් බලාපොරොත්තු වෙනවා.

රට පුරා අලුතින් ජාතික පාසල් දහසක් ආරම්භ කිරීම ආණ්ඩුවේ අරමුණයි. ඒ යටතේ මහනුවරට ජාතික පාසල් සියයකට වැඩි සංඛ්‍යාවක් ලැබෙනවා. සෑම දිස්ත්‍රික්කයකටම ත්‍රෛභාෂික පාසලක් ලබා දීමට නව ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා.භාෂා පිළිබඳ දැනුම ලබා ගැනීම ඉතා වැදගත් බැවින් මෙම වැඩපිළිවෙළ ඔස්සේ එම අවශ්‍යතාව සපිරෙනවා.

දෙමාපියන් තමන්ගේ පාසල් යන දරුවා ගැන විශේෂ සොයා බැලීමක් කළ යුතුයි.දෙමාපියන් දරුවන් ගැන කුඩා කාලයේදී කරන සොයා බැලීම පසුකාලීනව අත්හරිනවා. කුඩා කාලයේදී දෙමවාපියන් දරුවාව පාසලට ගෙන ඒම,පාසල අතර රැඳී සිටීම,පාසල හමාරවූ පසු නැවත නිවෙසට කැඳවා ගෙන යෑම වැනි සියලු දේ කළත් පසුව ඒවා අත් හරිනවා.

ළමයා ක්‍රමයෙන් වැඩෙත්දී දෙමාපියන් දරුවාට අවශ්‍යය ලෙස නිදහසේ හැසිරීමට ඉඩදී ඉවත් වෙනවා. දෙමාපියන් දරුවා කුඩා කාලයේදී වඩා හොඳින් බලා ගන්නවා.ඉහළ පන්තිවලට යනවිට සොයා බැලීමක් හරියට කරන්නේ නැහැ.

දරුවා ඉහළ පන්තිවලට යනවිට අප අත්හැරියොත් ඒ දරුවා අපෙන් ගිලිහී යැමේ අවධානමක් තිබෙනවා. එම අවධානමට ඉඩක් නොතැබීම දෙමාපියන්ගේ වගකීමක්.

රුවැන්වැලි සෑ පුදබිම තෝරා ගනිමින් ජනපතිවරයාගේත් නව ආණ්ඩුවේත් ප්‍රතිපත්තිය බොහොම පැහැදිලිව රටට ඉදිරිපත් කර තිබෙනවා. පසුගියදා ජනපතිවරයා පාර්ලිමේන්තුව අමතමින්ද අදහස් දැක්වීමක් කළා.

ආණ්ඩුවක් ලෙස වැඩකටයුතු කරමින් සිටින්නේ එවැනි පසුබිමක් තුළයි. ඊළඟ අවස්ථාවේදී ආණ්ඩුවක් ලෙස ඉතා සීඝ්‍රයෙන් වැඩ කටයුතු සිදු කිරීමට සූදානම්.

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඬරුවේ උපාලි නාහිමි-

අද පාසල් උසස් ද පහත් ද කියා වර්ග කෙරෙන ප්‍රධාන මිණුම් දඬු වන්නේ පාසලට ක්‍රීඩා පිිටියක්,පිහිනුම් තටාකයක් තිබෙනවාද යන කරුණයි. චන්දානන්ද විද්‍යාලයට පිට්ටනි හෝ ජල තටාක නොතිබුණාට මෙහි අන්තර්ගතය අභිමානවත්.

දරුවා වෛද්‍යවරයෙක්,ඉංජිනේරුවෙක් වෙලා හොඳ පෝසතෙක් වුණත් අම්මා ,තාත්තා සිටින්නේ අඳුරේ . මේ නිසා මෙම පාසලේ අරමුණ ගුණවත් නැණවත් මෙන්ම බෝසත් දරුවන් සමාජයට දායද කිරීමයි.

අද සමාජයේ හොඳින් අධ්‍යාපනය ලැබ උසස් රැකියා කරන පෝසත් දරුවන් ඕනෑ තරම් සිටිනවා.රටට හිඟ බෝසත් දරුවන්. ධර්මයෙන් තොරව අධ්‍යාපනයට යොමු වීමෙන් බිහි වන්නේ වල් සතුන්.

අද දරුවන් සතුව දැනුම තිබුණණ ආකල්ප නොමැති බවත් සිරිත් තිබුණට අචාර ධර්ම නොමැති බවත් ආගම තිබුණාට දහම නැහැ. රටේ ගුණාත්මක උගතුන්ගේ බරපතළ හිඟයක් තිබෙනවා. තානාපති සේවයට යන බොහෝ අය කරන්නේ දරුවන්ට ඒ රටවල අධ්‍යාපනය ලබා දීම හෝ තමන්ගේ ආතතිය අඩුකර ගැනීම පිණිස විවේකීව සිටීමයි.

මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ ශ්‍රී විජිතසිරි නාහිමි-

මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රධාන ගාමක බලවේගය සිංහල මහ ජනතාවයි. එම ජනප්‍රජාව තුළ ප්‍රමුඛතාව බෞද්ධ ජනතාවට හිමි වෙත්දී කිතුණු ජන කොටස් ද ඒහා සමඟ බැඳී සිටිනවා.

හින්දු හා ඉස්ලාම් ජාතික ජන කොටස් මෙම මූලික ස්වභාවයන් නිවැරදි ලෙස හඳුනා ගෙන කටයුතු කිරීම වැදගත්.

ශ්‍රී පලිපාන චන්දානන්ද බාලක හා බාලිකා විද්‍යාලයන්හි කළමණාකාර අධ්‍යක්ෂ,අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික,මහෝපාධ්‍යාය ගොඩගම මංගල නාහිමි-

පසුගිය කාලයේදී සංහිඳියා සංකල්පය මුල්කර ගනිමින් සිංහල භාෂාවට,බෞද්ධාගමට හා ඉතිහාස විෂයට අවර ගණයේ සැලකුම් ලැබුණා.ඒ ගැන සොයා බැලීම පිණිස කමිටුවක් පත්කරන ලෙස මා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

මෙම අවස්ථාවට අස්ගිරි පාර්ශ්වයේ මහනායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන,මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම,අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සී,අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී මැදගම ධම්නානන්ද නාහිමි ඇතුළු මහ සංඝරත්නය ද මාර්ග සංවර්ධන රාජ්‍යය අැමැති ලොහාන් රත්වත්ත,ප්‍රවාහන රාජ්‍යය ඇමැති දිලුම් අමුණුගම,සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව යන මහත්වරු ද සහභාගි වූහ.

අසේල කුරුළුවංශ හා කටුගස්තොට සමූහ

නව අදහස දක්වන්න