දේශපාලනය නිසා රාජ්‍ය ආයතන විනාශ වීමට ඉඩ දෙන්නේ නැහැ | දිනමිණ


 

දේශපාලනය නිසා රාජ්‍ය ආයතන විනාශ වීමට ඉඩ දෙන්නේ නැහැ

අගමැති මහින්ද රාජපක්ෂ

දේශපාලනය නිසා රාජ්‍ය ආයතන විනාශ වීමට ඉඩ නොතබන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

දහම් පාසල් දරුවන් දහසකට පාසල් උපකරණ කට්ටල බෙදා දීම පසුගියදා (5) පස්වරුවේ වීරකැටිය කසාගල විහාරස්ථානයේ දී අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලැබිණි.

සුරක්ෂිත හෙටක් දහම් සමාජයක් යන තේමාව යටතේ දහම් අධ්‍යාපනය නගාසිටුවීම අරමුණු කැර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කැර තිබිණි.

මෙහිදී පැමිණ සිටි පිරිස ඇමතූ අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

දරුවන්ට ආගමික නැඹුරුවක් ලබාදෙන එක දෙමාපියන්ගේ වගකීමක්. සිංහල බෞද්ධයා හැර අනිත් හැම ආගමක ම තමන්ගේ ආගමට හෝ ආගමට සම්බන්ධ පූජක උතුමන්ට ගරහනවා මම දැකලා නැහැ. මම අහලත් නැහැ. හැබැයි බෞද්ධයා ඒක කරනවා.පසුගිය මැතිවරණ කාලේ බෞද්ධයෝ යැයි කියන අය අපේ හාමුදුරුවරුන් ට ගරහපු හැටි මහා සංඝරත්නයට ගරහපු හැටි සහ තෙරුවන් සරණයි කියන එක තෙරුවන් සරණයි ද මොකක්ද කියලා එකක් කිව්වා. එහෙම කියලා ඒවා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළා හරිම ආඩම්බරෙන්. හාමුදුරුවරුන්ට ගරහලා බුද්ධාගමට අපහාසකරලා තමන් මහා ආඩම්බරයෙන් ඒවා මාධ්‍ය ලවා ප්‍රචාරය කරවීම ලැජ්ජා විය යුතු කාරණයක් කියන එකයි අපි විශ්වාස කරන්නේ. ඒක නිසා මේ පිළිබඳව අපි අවධානයෙන් සිටිය යුතුයි. බෞද්ධයා වේවා වෙනත් ආගමික හෝ වේවා මුස්ලිම් වේවා කිසිම ආගමකට ගරහන්න ඉඩ තියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ පිළිබඳව අපි අපේ අවධානය යොමු කරන්නට අවශ්‍යයි. අද අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි හාමුදුරුවරු පන්සල්වලට නොයෙක් ආධාර ඉල්ලා ගෙන සංස්කෘතික අමාත්‍යාංශයට එනවා.

ගිය පාර පඩි ගෙව්වේ සංස්කෘතික අරමුදලෙන් මිලියන සීයක් අරගෙන. ලේකම්තුමා ඇවිල්ලා මගෙන් අත්සන් අරගෙන ගියා. මම ඇහුවා ඇයි මේ අරමුදලින් ගෙවන්නේ වෙන තැනක් නැද්ද කියලා. පසුගිය කාලේ පඩිගෙවා ගන්න බැරිතරම් දහස් ගුණයකින් කට්ටිය අරගෙන තියෙනවා කොන්ත්‍රාත් පදනම යටතේ. කොන්ත්‍රාත්තුව ඉවර වුණාහම රටට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ රස්සා කරන දරුවන්ටත් ඒක ප්‍රශ්නයක්. ඒ වගේ ම රජයටත් මේක ප්‍රශ්නයක්. කොන්ත්‍රාත්තුව දුන්නේ ගෙයක් ගාෙන් ගිහිල්ලා කැන්වසින් කරන්නයි. ඒකට පඩිය ගෙව්වා. දැන් ඉලෙක්ෂන් එක ඉවරයි. කොන්ත්‍රත්තුවත් ඉවරයි. ඔවුන්ගේ රාජකාරිය අවසන් කරලා තියෙනවා. මේක මේ අමාත්‍යංශයට විතරක් නෙවෙයි හැම අමාත්‍යාංශයකම මේ විදිහට පුරවලා තියෙනවා. සල්ලි නාස්ති කරපු හැටි ගැන විනාශ කරපු හැටි ගැන මම කියන්න යන්නේ නැහැ. අවසරයක් නැතිව යම් යම් දේවල් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි කණගාටු විය යුතුයි කියලයි විශ්වාස කරන්නේ. දේශපාලනය නිසා රාජ්‍ය ආයතන විනාශ කරන්න ඉඩ තියන්න පුළුවන් කමක් නැහැ.සංස්කෘතික අරමුදල විතරක් නොවෙයි සංස්කෘතික දෙපාර්තමේන්තුව බුද්ධශාසන අමාත්‍යංශය හෝ විනාශ කරන්න ඉඩදෙන්න බැහැ.

මෙම අවස්ථාව සඳහා සද්ධර්ම කීර්ති ශ්‍රී විමලසිරි රුහුණු මාගම්පත්තුව ඇතුළු ගිරුවාගම් දොළොස් දහස් රට ප්‍රධාන අධිකරණ සංඝනායක කසාගල රජමහා විහාරාධිපති පරිවෙණාධිපති තලම් පොරුවේ ඉන්දු සුමන නාහිමියන්ද,මැලේසියා බෞද්ධ මහා විහාරාධිපති කොටවිල සිරිධම්ම නාහිමියන් ද,කොත්මලේ පුරාණ රජමහා විහාරාධිකාරී ඉත්ත දෙමලියේ පඤ්ඤාරතන නාහිමියන්ද, වීරකැටිය මණ්ඩාඩුව පුරාණ මහා විහාරාධිපති මාතර හම්බන්තොට දෙපලාතේ ද්වීතික සංඝනායක මාතර කඩේවිදියේ පුණ්‍ය ජීනායක හිමියන්ද ඇතුළුව අැමැති මහින්ද අමරවීර , පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, එච්. ඩබ්ලිව්. ගුණසේන , සෝමවංශ කෝදාගොඩ, අජිත් රාජපක්ෂ මහත්වරු මෙම අවස්ථාවට සහභාගී වුහ.

නව අදහස දක්වන්න