මාතර නව අධිකරණ සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීම කඩිනමින් | දිනමිණ


 

මාතර නව අධිකරණ සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීම කඩිනමින්

අධිකරණ මානව හිමිකම් ඇමැති නිමල් සිරිපාල

රුපියල් බිලියන එකයි දශම දෙකක වියදමින් ඉදි කර ඇති මාතර නව අධිකරණ සංකීර්ණය ඉතා කඩිනමින් ජනතා අයිතියට පත්කිරීමට කටයුතු කරන බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා කීය.

ඇමැතිවරයා මේ අදහස් පළ කළේ මාතර කොටවිල ප්‍රදේශයේ ඉදි වන නව අධිකරණ සංකීර්ණයේ කටයුතු නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මාතර අධිකරණ සංකීර්ණයේ රාජකාරී සඳහා සහභාගි වන නීතිඥවරුන්ට අවශ්‍ය කාර්යාල පහසුකම් ලබාදීමට අවශ්‍ය නීතිඥ සංකීර්ණය මාස තුනක් වැනි කාලයකදී නිම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මෙහිදි ඇමැතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දුන් අතර ඒ සඳහා අවශ්‍ය ඉඩම් නිසි පරිදි නීතිඥ සංගමය වෙත පවරා දෙන ලෙසද උපදෙස් ලබා දුන්නේය.

නව අධිකරණ සංකීර්ණයේ වැඩ අවසන්ව ඇති බැවින් කළ යුතුව ඇති ඉතිරි සුළු වැඩ කොටස ද කඩිනමින් අවසන් කිරීමටත් අධිකරණ සංකීර්ණය හැකි උපරිම ඉකිමනින් ජනතා අයිතියට පත් කිරීමටත් මෙහිදි තීරණය විය.

එහිදී ඇමැතිවරයා මෙසේද කීය.

රුපියල් බිලියන එකයි දශම දෙකක් වියදම් කර ඉදි කර ඇති මාතර නව අධිකරණ සංකීර්ණය ඉතා කඩිනමින් ජනතා අයිතියට පත් කළ යුතුයි.ගොඩනැගිලි ඉදි කර ඇති ආකාරය ඉතා හොඳයි.මේ නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමට ඇති බාධා ඉවත් කරගෙන එය විවෘත කළ යුතුව තිබෙනවා.විශේෂයෙන්ම නීතිඥවරුන් සඳහා කාර්යාල පහසුකම් නැහැ.එය ගැටලුවක් බවට පත්ව තිබෙනවා.ඒ සඳහා වහාම නිතීඥරුන් 195 දෙනෙකුට අවශ්‍ය කාර්යාල ගොඩනැගිලි ඉදි කිරීමට අවශ්‍ය ඉඩම ලබා දුන්නා.ඔවුන් මාස තුනකදී කාර්යාල සංකීර්ණය ඉදි කර අවසන් කිරීමට එකඟ වෙලා තිබෙනවා.මේ අධිකරණ සංකීර්ණයේ ඉතිරි වැඩ අවසන් කර ජනතා අයිතියට කඩිනමින් පත් කළ යුතුයි.මාතර ජනතාවට අවශ්‍ය අනෙකුත් පහසුකම් මේ ස්ථානයේ ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙනවා.අධිකරණය අවට ජනතාවට උපරිම ආකාරයේ ප්‍රයෝජන ලබා ගත හැකි ආකාරයෙන් සකස් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.මේ අධිකරණ සංකීර්ණය ඉදි කර තියෙන්නේ ඉතා විශාල මුදලක් වියදම් කරලයි.ඒ නිසා ජනතා මුදල්වල ප්‍රතිලාභ කඩිනමින් ජනතාවට ලබා දිය යුතුයි.

නව බන්ධනාගාරයක් සඳහා අවශ්‍ය අක්කර හයක බිම් ප්‍රමාණයක් ලබා දී තිබෙනවා. 2021 අයවැයෙන් තමයි මුදල් වෙන් කරන්න වෙන්නේ. දැන් මෙතන බිලියන එකයි දශම දෙකක් වැය කර තියෙනවාබන්ධනාගාරයයි උසාවියයි සියල්ල ඉදි කරන්න ඕනෑ. පියවරින් පියවර ඒ වැඩ කටයුතු ඉටු කර දෙනවා .

මෙයට යාබදව ඇති කුණු කන්ද නිසා මේ ප්‍රදේශයේ දුගඳ හමන තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. උසාවිය විවෘත කළායින් පසුවත් මේ තත්ත්වය එහි කටයුතුවලට බාධාවක් .නමුත් මේ කුණු ප්‍රශ්නය මාතර විතරක් නෙමෙයි බදුල්ලේත් මේ ප්‍රශ්නය තියෙනවා. මේක මුළු ලංකාවේම තිබෙන ප්‍රශ්නයක් අපේ රජය මගින් ඉදිරියේදී කැළි කසළ කළමනාකරණය වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කරනවා. විද්‍යාත්මක ලෙස මේ කැළි කසළ ඉවත් කිරීමට කටයුතු කළ යුතුයි. ඒ සඳහා ජාතික සැලැස්මක් අවශ්‍ය බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම ,අමාත්‍යංශයේ ලේකම් ජේ .ජේ රත්නසිරි , මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් දසනායක මහත්වරුන් ඇතුළු නිලධාරීහුද මේ අවස්ථාවට එක්වූහ.

 

 

නව අදහස දක්වන්න