රූපලාවණ්‍ය වෙ‍ෙළඳ පොළට පිටරට ව්‍යාපාරිකයන්ට කඩාවැදීමට ඉඩ දෙන්න බෑ | දිනමිණ


 

රූපලාවණ්‍ය වෙ‍ෙළඳ පොළට පිටරට ව්‍යාපාරිකයන්ට කඩාවැදීමට ඉඩ දෙන්න බෑ

ඇමැති විමල් වීරවංශ

ජාත්‍යන්තර මට්ටමෙන් දක්ෂතා පෙන්වා ඇති ශිල්පීන් සිටින,රූපලාවණ්‍ය ක්ෂේත්‍රයෙන් මේ කලාපයේ ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලංකාවේ රූපලාවණ්‍ය වෙළඳපොළට වෙනත් රටක ව්‍යාපාරිකයන් කඩාවැදීම, කිසිසේත්ම ඉඩ නොදිය යුතු ක්‍රියාවක් බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ ඇමැති විමල් වීරවංශ මහතා පැවසීය.

පසුගිය ආණ්ඩුව සමයේ ආයෝජන මණ්ඩල අනුමැතිය සහිතව ආරම්භ කර ඇති 'නැචුරල් සැලෝන්' ඉන්දියානු සමාගමේ රූපලාවණ්‍යගාර 700ක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවීමේ ව්‍යාපෘතිය නතර කිරීමට කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා බවත් වීරවංශ මහතා සඳහන් කළේය.

අමාත්‍යාංශයේ දී ශ්‍රී ලංකා රූපලාවණ්‍ය හා කේශාලංකරණ ශිල්පීන්ගේ සංගමය සමඟ පසුගියදා (03) පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය සමඟ අදහස් දක්වමින් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

පසුගිය කාලයේ විශාල ආන්දෝලනාත්මක ප්‍රවෘත්තියක් පළ වුණා ඉන්දියාවේ නැචුරල් සැලෝන් ආයතනය ශ්‍රී ලංකාව තුළ රූපලාවණ්‍යගාර 700 ක් පිහිටුවීමට යන බවට. මේ වනවිටත් එවැනි රූපලාවණ්‍යගාර අටක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවා ඇති බවත් දැන ගැනීමට ලැබුණා. එවැනි පසුබිමක් තුළයි අද ශ්‍රී ලංකා රූපලාවණ්‍ය හා කේශාලංකරණ ශිල්පීන්ගේ සංගමයේ නියෝජිතයන් මා සමඟ සාකච්ඡාවකට පැමිණියේ. ඔවුන්ගෙන් මා වෙත ඉල්ලීම් දෙකක් ඉදිරිපත් වුණා. පළමුවැන්න 'මේ රටේ රූපලාවණ්‍ය හා කේශාලංකරණ ක්ෂේත්‍රයේ රැකියාවන්හි නිරත හාර ලක්ෂයකට අධික පිරිස පිළිබඳ වගකියන රාජ්‍ය ආයතනයක්, ඒ පිළිබඳව අධීක්ෂණය කරන රාජ්‍ය යාන්ත්‍රණයක් මෙතෙක් නැහැ, ඒ නිසා එවැනි අධිකාරියක් පිහිටුවන්න කියන එක. ඒ ඉල්ලීම අපි ඉතා ධනාත්මකව පිළිගත්තා. ඒ අනුව අමාත්‍යාංශය ඒ පිළිබඳව අධ්‍යනයක නිරත වෙනවා. ඉන්දියාව ඇතුළු අසල්වැසි රටවලට දැනටත් මෙවැනි රාජ්‍ය යාන්ත්‍රණ තිබෙනවා.

දෙවැන්න තමයි ඉහත කී ඉන්දියානු රූපලාවණ්‍ය ආයතන පිහිටුවීම නතර කිරීම. පසුගිය ආණ්ඩුව කාලයේ ආයෝජන මණ්ඩලය මඟින් ලබාදුන් අනුමැතියක් අනුව තමයි මේ ඉන්දීය රූපලාවණ්‍යගාර පිහිටුවීම සිදුවන්නේ. දැනට අටයි, දිගටම ක්‍රියාත්මක වුවහොත් එය 700ක් දක්වා ව්‍යාප්ත වේවි. අපේ රට රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ මේ කලාපයේ ඉදිරියෙන්ම සිටින රටක්. අපේ රූපලාවණ්‍ය ශිල්පීන් ජාත්‍යන්තර මට්ටමින් සිය දක්ෂතා දක්වා තිබෙනවා.

අමාත්‍යාංශයේ ලේකම් ජේ.ඒ රංජිත්, ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පීහු වන ප්‍රේමසිරි හේවාවසම්, ෂාම් සුරියහෙට්ටි, දමිත් කුමාර, කුසුම්සිරි ජයවීර, ආචාර්ය ශිරූ විජේමාන්න, ජැකී අපොන්සෝ යන මහත්ම මහත්මිහු ද මේ සාකච්ජාවට එක්ව සිටියහ.

සුභාෂිණි සේනානායක

නව අදහස දක්වන්න