පිරිවෙන් අධ්‍යාපනය නඟා සිටුවීමට සෑම පියවරක්ම ගන්නවා | දිනමිණ


 

පිරිවෙන් අධ්‍යාපනය නඟා සිටුවීමට සෑම පියවරක්ම ගන්නවා

අධ්‍යාපන සේවා රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය

දිවයින පුරා පිරිවෙන් අධ්‍යාපනය නඟා සිටුවීමට අවශ්‍ය සියලු කටයුතු සිදු කරන බව අධ්‍යාපන සේවා රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

ඒ අනුව, ඉදිරියේදී දිවයින පුරා පිරිවෙන්වල අඩුපාඩු සොයා බැලිමක් සිදු කර ඒවා කඩිනමින් විසඳා දීමට කටයුතු කරන බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

කිතුල්ගල ශ්‍රී සුදර්ශනාරාමයේ පවත්වා ගෙන යනු ලැබූ සිරිසුමන තක්ෂිලා පිරිවෙන අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ලියාපදිංචි කිරීම අධ්‍යාපන සේවා රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාගේ මඟ පෙන්වීම යට‍තේ සිදුවූ අතර, පසුගියදා (04) එය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

වැඩිදුරටත් අධ්‍යාපන සේවා රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා මෙසේද කීය.

අපි අද උත්සාහ කරන්නේ නව පිරිවෙන් ඇති කිරීමෙන් සිල්වත්, විනයධර, උගත්, බුද්ධිමත් සංඝ පරම්පරාවක් බිහි කිරීමයි. එය අත්‍යවශ්‍ය දෙයක්. මේ රටේ අධ්‍යාත්මික ගුණ වගාව ඔබ වහන්සේලා අතයි තිබෙන්නේ. අපේ රට හැමදාම මෙහෙයවූයේ ඔබ වහන්සේලයි. පසුගියදා සිදු වූ මහා වෙනසට මඟ පෙන්වූයේ මේ මහා සංඝ රත්නයයි. සමහර අය සංඝරත්නය අමතක කරන්න ගිහින් විශාල වැරැද්දක් කර ගත්තා. ඒ පිළිබඳ හැමෝම කතා වෙනවා. රාජ රාජ මහාමාත්‍යවරුන්ට පවා මඟ පෙන්වූයේ, බොහෝම සෞම්‍ය ලෙස අණ කළේ මහා සංඝරත්නයයි. ඒවා අදටත් වලංගුයි. සිංහල බෞද්ධයා එවක පන්සලෙන් ඈත් කළේ සුද්දගේ සැලසුමක් මතයි. එයට හේතුව සිංහල බෞද්ධයාට පන්සලෙන් තමයි නැගිටින්න ඉගැන්නුවේ. එසේ අපට නැගිටින්න කියාදුන් මහා සංඝ රත්නයට සුවශේෂී අධ්‍යාපනයක් ලබාදීමට අවශ්‍ය දැවැන්ත කාර්යභාරය අපි අද ඉටු කළා.

 

 

නව අදහස දක්වන්න