නිවැරදි චින්තනයක් ඇති නායකයෙක් ලැබීම ගැන අපි සතුටු විය යුතුයි | දිනමිණ


 

නිවැරදි චින්තනයක් ඇති නායකයෙක් ලැබීම ගැන අපි සතුටු විය යුතුයි

ඇමැති ඩලස් අලහප්පෙරුම

අන්තවාදීන්ට යටත් නොවී ස්ථාවර ආණ්ඩුවක් හදන්න මේ මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුය යන නිරහංකාර, නිවැරිදි චින්තනයක් තිබෙන නායකයකු ලැබීම පිළිබඳ රටවැසි සියලු දෙනාම සතුටු විය යුතු බව අධ්‍යාපන ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

පුරනැඟුම වැඩසටහ න යටතේ මාලිම්බඩ ප්‍රදේශීය සභාව විසින් රුපියල් ලක්ෂ 30ක වියදමින් ඉදිකරන ලද මාලිම්බඩ මහජන පොළ විවෘත කිරීමට එක්වෙමින් ඇමති වරයා එසේ පැවසීය.

එදා සරලයි කියු රාජ්‍ය නායකයා හමුදාව වටකරගෙන පාර්ළිමේන්තුවට ආවේ. වර්තමාන රාජ්‍ය නායකයා වාහන දෙකකින් පාර්ළිමේන්තුවට ආවා. කොච්චර සරලද? වියදම් සියල්ල කපා හැරලා. වියදම් කපා හැරීමට ජනාධිපතිවරයා ඇමැතිවරුන්ටත් උපදෙස් දී තිබෙනවා. පසුගිය කාලයේ රාජ්‍ය නායකයන්, ඇමැතිවරු, එනවිට ඉස්සරහින්, පස්සෙන්, වමෙන්, දකුණෙන් ආරක්ෂක නිලධාරින් පිරිවරාගෙන පැමිණෙනවා. මෙය මහජනයාට කෙතරම් කරදරයක් වුණාද? අද මේ රැස්වීමට මමයි කංචන විජේසේකර ඇමැතිවරයායි පැමිණියේ එක වාහනයක පස්සෙන් ඉස්සරහින් පොලීසිය නෑ. පොලීසිය මාර්ග රාජකාරිය නිසි අයුරින් කරනවා.

පසුගිය කාලෙ උදේ හවස මිනිමැරූ පාතාලය දැන් කෝ? අද පාතාලයන්ගෙන් රට නිදහස් වෙලා. මිනිස්සු ඉල්ලපු, රට ඉල්ලපු නායකත්වය රටට ලැබිලා. ඡන්ද කාලයේ ඡන්ද කටයුතුවට නොගිය තරුණ තරුණියන් පින්සල්, සායම් අතට ගෙන චිත්‍ර වලින් තාප්ප වර්ණවත් කරනවා. තරුණ තරුණියන්ට රට ගැන ලොකු හැඟීමක් ඇතිවෙලා. හක්මන මාර්ගය මාතර තුඩාව දක්වා මංතිරු 4ක් දක්වා පළල් කිරීමට ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුව තව මාස දෙකකින් එහි ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමට හැකිවෙන බව විශ්වාසයි.

මේ වනවිට දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම නිලධාරි කොට්ඨාසයකටම රුපියල් ලක්ෂ 20 බැගින් ලබා දී තිබෙනවා. වයස අවඅරුදු 35ට වැඩි බව සහ බාහිර උපාධිධාරීන් කියමින් රැකියා නොදුන් උපාධිධාරීන් 54,000කට කිසිදු වාර්ගීකරණයකින් තොරව මාර්තු මස 01දා සිට රැකියා සඳහා පත්වීම් ලබාදෙනවා. මීට අමතරව සාමාන්‍ය පෙළ අසමත්ව ගෙදර සිටින දූලා පුතාල ලක්ෂයකට රැකියා ලබා දෙන අතර මේ සඳහා සම්මුඛ පරීක්ෂණ මාස දෙකකින් පැවැත්වෙනවා.

නව ආණ්ඩුවේ පාර්ලිමේන්තුවේ අපිට අත් ඔසන්න ඉන්නේ 89 යයි. අපිට විරුද්ධව අත් ඔසවන්න 139ක් සිටිනවා. වැඩි ඡන්ද ලක්ෂ 14කින් ජනාධිපතිව සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙවන් පාර්ලිමේන්තුවකින් රට ගෙන යාමට පුළුවන්ද? කියන ප්‍රශ්නයක් තිබෙනවා. ඔබේ උසස් පෙළ දරුවන්ට රැකියා දෙන්න අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ගුරුවරු 60,000කට රැකියා ලබා දෙන්න තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය මුදල් මේ පාර්ලිමේන්තුවෙන් වෙන් කරගන්න බෑ. මේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නම් දින 55ක් තිබෙනවා.ගොඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට අවශ්‍ය නම් නීත්‍යානුකූලව සහ ව්‍යවස්ථානුකූලව මාර්තු මස 2 දා මධ්‍යම රාත්‍රී 12.00න් පසු පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන්. එසේ වුවහොත් තව දින 14කින් මහ මැතිවරණයක් පැවැත්වීමට පුළුවන්. රට ගැන හිතන, දේශපාලන සංස්කෘතිය වෙනස් කළ මේ නායකයා ජනාධිපතිවරණයේදී ගත් ඡන්ද ප්‍රමාණය අනුව අපිට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 124ක් ලැබෙනවා.

පාලටුව ගුණරත්න මහ විද්‍යාලයත්, මාලිම්බඩ සුමේධ මහවිද්‍යාලයත් ඉදිරියේදී ජාතික පාසල් බවට පත්කරනවා. ඊළඟ අයවැයෙන් මාලිම්බඩ නගරය නුතන නගරයක් බවට පත්කරන කිරීමට කටයුුතු කරනවා.ගෝඨාභය ජනාධිපතිවරයාට 69 % ක වැඩිම ඡන්ද ප්‍රතිශතය ලබාදුන්නේ මාතර දිස්ත්‍රික්කයෙන්. අකුරැස්ස ආසනය වැඩි ඡන්ද 34,000 කින් දිනන විට සජිත් ප්‍රේමදාස මහතාට ලබාගැනීමට හැකිවුණේ ඡන්ද 20,000 යි. එම නිසා ඉදිරි මහ මැතිවරණයේදී 3/ 2 ක බහුතර බලයක් ඇති පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමට ජනාධිපති සහ අගමැති සමඟ අත්වැල් බැඳගන්නා ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

තේ කර්මාන්ත රාජ්‍ය ඇමැති කංචන විජේසේකර මහතා

ජනාධිපති වශයෙන් පත්ව සිටියදී මහින්ද රාජපක්ෂ මහතා අඩු ආදායම් තිබුණ ප්‍රාදේශීය සභාවලට අයත් බල ප්‍රදේශ පුරනැගුම යටතේ සංවර්ධනය කිරීමට පියවරගත්තා. මාතර දිස්ත්‍රික්යේ තිබු බොහෝ ප්‍රාදේශීය සභාවල මේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කරමින් සිටින අවස්ථාවේ පසුගිය යහපාලන රජය ප්‍රාදේශීය සභාව විසුරුවා හැර මේ සංවර්ධන වැඩසටහන් අක්‍රිය කළා. කාලයක් සිදු වූ බාධක මැද එම කටයුත්ත නැවත ක්‍රියාත්මක කරමින් මාලිම්බඩ පොළ භූමිය ස්ථාපති විවෘත කිරීමට කටයුතු කිරීම පිළිබඳ මාලිම්බඩ ප්‍රාදේශී සභාවට ස්තුතිය පුදකරනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අකුරැස්ස ප්‍රධාන ආසන සංවිධායක දේශමාන්‍ය කරුණා කොඩිතුවක්කු, මාලිම්බඩ ප්‍රාදේශීය සභාවේ සභාපති සෝමසිරි වීරමන්, උප සභාපති පාලිත කුමාර මහත්වරු ද එහිදී කථා කළ අතර වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බැට්ටගේ, අතුරලිය ප්‍රාදේශීය සභාවේ සභාපති නිහාල් සිල්වා මහත්වරු ඇතුලු මහජන නියෝජිතයන් සහභාගි වූහ.

 

මාතර සමූහ ඩබ්ලිව්. පී. ධර්මසේන සහ වැලිගම සමූහ. ටී. කේ. මහින්ද

ඡායාරුපය- මාතර සමූහ

 

නව අදහස දක්වන්න