සෞභාග්‍යයේ දැක්ම අනුව දුගී ජනතාවගේ නිවාස ගැටලුව විසඳීමට අපි කටයුතු කරනවා | දිනමිණ


 

සෞභාග්‍යයේ දැක්ම අනුව දුගී ජනතාවගේ නිවාස ගැටලුව විසඳීමට අපි කටයුතු කරනවා

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපති රේණුක පෙරේරා වැඩ බාරගැනීමේ අවස්ථාවේදී රාජ්‍ය ඇමැති ඉන්දික කියයි

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස වැඩ බාර ගත් රේණුක පෙරේරා මහතා මීට පෙර සභාපති ධුර දරා අත්දැකීම් රැසක් ඇති පුද්ගලයෙක් නිසා අධිකාරියේ කටයුතු ඉතා සාර්ථකව ඉදිරියේදි කරනු ඇති බව නිවාස රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.

පසුගිය කාලයේ අධිකාරියේ නිර්මාණය වී තිබූ ගැටලු සම්බන්ධයෙන් සොයා බලා නිවාස පිළිබඳ විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවත් පසුගිය කාලයේ නිවාස ඉදි කිරීමේදි ජනතාවට මානසික ගැටලු රැසක් නිර්මාණය කිරීමට එම නිවාස ඉදි කිරීම් හේතු වී ඇති බවත් ඇමැතිවරයා පැවසීය.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා රේණුක පෙරේරා මහතා අභිනවයෙන් වැඩ බාර ගැනීම ඊයේ (06) සිදු කෙරිණි. එම අවස්ථාවට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා මෙසේද පැවසීය. පසුගිය වසර හතර හමාරක කාලයේ නිවාස සංවර්ධන අධිකාරිය කළ කටයුතු සම්බන්ධයෙන් රටේ විවාදයක් ගොඩනැඟී තිබෙනවා. අයවැයෙන් වෙන් කරන මුදල් ඉක්මවා ගොස් කටයුතු කිරීම නිසා නිවාස ගැටලුවක් මතු වී තිබෙනවා. එම නිසා නිවාස ගැටලුවට අමතරව පුද්ගලයන්ට මානසික ගැටලුවකුත් නිර්මාණය වෙලා තිබෙනවා. මේ තත්ත්වයෙන් අපේ ජනතාව මුදා ගත යුතුයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ පොදුජන පෙරමුණේ දැක්ම අනුව පීඩිත ජනතාවගේ ගැටලු නිරාකරණය කිරීමට අපි කටයුතු කරනවා. නිවසක් නොමැති පුද්ගලයන්ට නිවසක් ලැබෙනවා කියන්නේ ඒ අයට මහමෙරක් ලැබුණා වගේ. නිවාස අමාත්‍යාංශයේ ඇමැතිවරයා විදියට මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි අමාත්‍යාංශයේ කටයුතු සිදු කරනවා. නාගරික හා ග්‍රාමීය නිවාස ගැටලු පසුගිය රජය විසඳූ ආකාරයට නොව අපේ ආණ්ඩුව ඒවා විසඳන්නේ. අපි ඒවා විසඳන්නේ ජනතාවට ගැටලුවක් නොවන විදියට. වෙනස් විදියකටයි අපි ඒ ගැටලු විසඳන්නේ. ගම සහ පරිසරය විනාශ නොවන ආකාරයෙන් ගුණාත්මක හා පරිසර හිතකාමී විදියට නිවාස ගොඩනැගීම සිදු කරනවා. නිවාස ලබාදීම සිදු කරන විට පසුගිය කාලයේ නාගරික ප්‍රදේශවලින් සුදුසු අයට නොවෙයි නිවාස ලැබී තිබෙන්නේ. නුසුදුසු පුද්ගලයන්ට නිවාස ලබාදීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය වෙනවා. සැබැවින්ම නිවාස අවශ්‍ය අයට නිවාස නොලැබීමෙන් ඔවුන්ට අසාධාරණයක් වෙනවා. පසුගිය රජය කළ වැරදි අපේ රජයෙන් සිදු වන්නට ඉඩ තබන්නේ නැහැ. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව දුප්පත් ජනතාවගේ නිවාස ගැටලුව විසඳීමට අපි කටයුතු කරනවා.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා මහතා-

ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස මීට වසර පහකට පෙර මම කටයුතු කළා. පසුගිය ජනාධිපතිවරණ කටයුතු උදෙසා මම එළියට බැස්සා. එහිදී සිදු වූ දේශපාලන පරාජයත් සමඟ පසුගිය වසර ගණනාවක් තිස්සේ දුෂ්කර ගමනක් ගියා. ඒ ගමනේද මා පිටුපස සිටි සියලු දෙනාට ස්තුති කරන්නට මෙය අවස්ථාවක් කර ගන්නවා. නිවාස රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා සමඟ වැඩ කරන්නට ලැබීම මගේ භාග්‍යයක්. නිවාස සංවර්ධන අධිකාරියේ පසුගිය කාලයේ සිදු කළ කටයුතු සම්බන්ධයෙන් අධ්‍යයනයක් ඉදිරියේදි සිදු කරනවා. ජනතාවට නිවාසයක් ලබාදීමට තමයි හැමෝම කටයුතු කරන්නේ. නමුත් අපි ඊට එහාට ගොස් මෙරට නිවාස ලැබිය යුතු පිරිසට නිවහනක් ලබාදීමට කටයුතු කරනවා. දේශපාලන වශයෙන් තමන්ගේ බල පරාක්‍රමය විහිදුවා ගන්නට ඇතැමුන් නුසුදුසු අයට නිවාස ලබාදීම සිදු කරනවා. අපිත් දේශපාලනඥයන් තමයි. නමුත් අපි එය අනුමත කරන්නේ නැහැ. ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ ප්‍රතිපත්ති දැක්ම අනුව අපි කටයුතු කරනවා. අපේ යම් අඩුපාඩුවක් තිබේ නම් ඒවා මාධ්‍ය මිතුරන් විසින් පෙන්වා දෙනවා නම් හොඳයි. එම අඩුපාඩු සකසා ගෙන ජනතාවට යහපත් ජීවිතයක් උරුම කරදීමට අපි පියවර ගන්නවා.

සන්ධ්‍යා කරුණාරත්න

ඡායාරූප - හිරන්ත ගුණතිලක

නව අදහස දක්වන්න