බදුල්ල-ඇකිරිය බසය අඩි 150ක් ප්‍රපාතයට | දිනමිණ


 

බදුල්ල-ඇකිරිය බසය අඩි 150ක් ප්‍රපාතයට

මාළිගාතැන්න බස් අනතුර

8ක් මරුට 42කට තුවාල

පස්සර-මඩොල්සිම ප්‍රධාන මාර්ගයේ මාළිගාතැන්න 6 කණුව ප්‍රදේශයේ දී ඊයේ(6)පස්වරුවේ බදුල්ල ඩිපෝවට අයත් ශ්‍රීලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 150ක පමණ ප්‍රපාතයකට පෙරලීයාමෙන් 8දෙනකු මියගොස් 42කට ආසන්න පිරිසක් තුවාල ලබා පස්සර සහ බදුල්ල මහරෝහලට ඇතුළත් කළ බව මඩොල්සිම පොලිසිය පවසයි.

පස්සර නගරයෙන් සවස 4.30ට මඩොල්සිම ඇකිරිය බලා ධාවනය වූ බදුල්ල ඩිපෝවට අයත් දොර දෙකේ බස්රථයක් මෙසේ අනතුරට පත්ව ඇතැයි පොලිසිය කියයි.

අනතුර සිදු වන විට බස්රථය තුළ මගීන් 70කට ආසන්න පිරිසක් සිට ඇත.

බස්රථය පස්සර සිට මඩොල්සිම ඇකිරිය බලා ධාවනය වෙමින් තිබියදී මාලිගාතැන්න 6 කණුව ප්‍රදේශයේ දී එක්වරම මාර්ගයෙන් ඉවතට පැන උඩපාරේ සිට අඩි 150ක පමණ පහළ පිහිටි මාර්ගයට පෙරලී ගොස් ඇතැයි පොලිසිය කියයි.

අනතුරින් බස්රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා තුවාල ලබා බදුල්ල මහරෝහලට ඇතුළත් කර ඇත.

තුවාල ලැබූවන් අතර පාසල් සිසුන්, අමතර පංති ගිය සිසු සිසුවියන් මෙන්ම රැකියා නිමවී නිවෙස් කරා යන පිරිස් ද කාන්තාවන් මෙන්ම පිරිමි පුද්ගලයන් සිටින බව ද රෝහල් බළධාරීහූ කීහ.

මියගිය අයඅතර කුඩා දරුවන් කාන්තාවන්, පිරිමි අයසිටින බවත් රෝහල් ප්‍රකාශයකු පැවැසීය. අනතුරින් බස්රථයට දැඩි ලෙස අලාභහානි වී තිබේ.

අනතුර සිදුව තුවාලකරුවන් බදුල්ල මහරෝහලට රැගෙන එන අවස්ථාවේම ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ රාජා කොල්ලුරේ මහතා බදුල්ල මහරෝහලට පැමිණ රෝගීන්ගේ සුව දුක් සොයා බැලූහ.

තුවාලකරුවන් කඩිනමින් බදුල්ල මහරෝහලට රැගෙන ඒම සඳහා බදුල්ල මහ රෝහලේ ගිලන් රථ සියල්ලම මෙන්ම 1990 ගිලන් රථ යොදවා තිබිණ.

අනතුරට පත් බස්රථය යට සිරවී සිටින තුවාලකරුවන් ඉවතට ගැනීමට මහත්වෙහෙසක් ගන්නා අතර, මේ වනවිටත් තුවාලකරුවන් ගිලන් රථ මගින් බදුල්ල මහරෝහලට රැගෙන එමින් තිබේ.

ඌව පළාත බාර නියෝජ්‍ය පොලිස්පති කේ.වී.ඩී.ඒ.ජේ.කරවිට, බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත, සහකාර පොලිස් අධිකාරි 1 ප්‍රදීප් වීරසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත මඩොල්සිම පොලිසිය පරික්ෂණ පවත්වයි.

සොරණාතොට සමුහ සී ගමගේ, පස්සර සමූහ, ඌව පළාත් සමූහ, පස්සර සමූහ, බදුල්ල දිසත්‍රික් සමූහ

නව අදහස දක්වන්න