ප්‍රාථමික සෞඛ්‍ය නංවන්න ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 23ක් | දිනමිණ

ප්‍රාථමික සෞඛ්‍ය නංවන්න ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 23ක්

මෙරට ක්‍රියාත්මක ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමට ඩොලර් මිලියන 23. 23ක් ලබාදීමට ලෝක බැංකුව තීරණය කර ඇත.

මෙරට ක්‍රියාත්මක ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය ලෝකයේ  ක්‍රියාත්මක හොඳම ව්‍යාපෘතියක් බවට ලෝක බැංකුව තීරණය කිරීමත් සමඟ වසර 2020 පළමු කාර්තුව සඳහා ඩොලර් මිලියන 7.7 ක් ද, දෙවැනි කාර්තුව වෙනුවෙන් ඩොලර් මිලියන 15.53 ක් ද ලබාදීමට ලෝක බැංකුව තීරණය කර ඇති බව එහි ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය දීපිකා ආටිගල මහත්මිය පැවැසුවාය.

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල පෙරළියක් ඇති කිරීමට මෙම ව්‍යාපෘතිය මඟින් ලෝක බැංකුව බලාපොරොත්තු වන බවත්, දකුණු ආසියාවේ ක්‍රියාත්මක සාර්ථකම ව්‍යාපෘතිය මෙය බවට ලෝක බැංකුව තීරණය කර ඇති බවත් ඒ මහත්මිය පවසයි.

වසර 2020 සඳහා වන විශේෂ නියමු වැඩසටහන් සමාලෝචනය කිරීමට කොළඹ ජයවර්ධන කේන්ද්‍රයේ පසුගිය දා පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහත්මිය මේ බව පැවැසුවාය.

මෙරට සෞඛ්‍ය සේවාව වඩාත් ජනතා කේන්ද්‍රීය කර ගැනීමේ අරමුණෙන් ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙළ නව වසරේ වඩාත් ශක්තිමත්ව ඉදිරියටත් ක්‍රියාවට නංවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.

ලෝක බැංකු මූල්‍ය ප්‍රතිපාදන මත රටම ආවරණය වන පරිදි සැලසුම් සහගත වැඩපිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමින් සිටින්නේ යැයි එම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පැවැසුවේය.

සන්ධ්‍යා කරුණාරත්න

නව අදහස දක්වන්න