RMV-වේරහැර මූල්‍ය වංචනිකයන්ගේ බැංකු ගිණුම් පරීක්ෂාවට | දිනමිණ

RMV-වේරහැර මූල්‍ය වංචනිකයන්ගේ බැංකු ගිණුම් පරීක්ෂාවට

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ වේරහැර ශාඛාවේ මුදල්ගසා කන ජාවාරම්කරුවන් හා සම්බන්ධ වෙමින් ලක්ෂ ගණනින් මුදල් වංචා කළ එහි ලොකු ලොක්කන් සහ නිලධාරීන් පිරිසක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලීසිය අධිකරණ අවසරය මත ඔවුන්ගේ බැංකු ගිණුම් ආදිය ද පරීක්ෂා කර ගෙන යයි.

පසු ගිය සතියේ වේරහැර රියැදුරු බලපත් කාර්යාලයේ කළ මෙහෙයුමේ දී අත්අඩංගුවට ගත් පස්දෙනාගෙන් ලබා ගත්තොරතුරු මත විශේෂයෙන් වේරහැර කාර්යාලයේ පස්දෙනකුගේ එම බැංකු ගිණුම් ආදිය පරීක්ෂාවට ලක් කරන බවත්, ඔවුන්ගේ වත්කම් ආදිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බවත් එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම අධීක්ෂණය කරන නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

අත්අඩංගුවට ගත් බ්‍රෝකර්වරුන් පස්දෙනා කාලයක් තිස්සේ වේරහැර කාර්යාලයේ නිලධාරීන් හා සම්බන්ධවෙමින් සිදු කළ මුදල් ගසා කෑමේ ජාවාරමේ තොරතුරු රැසක් හෙළිදරව් කරගෙන තිබේ.

රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ ලිඛිත විභාගයට කලින් සුදානමක් නොමැතිව රුපියල් දෙදහසක් ගෙවා එක්දිනයකින් ලිඛිත විභාගයට පෙනීසිට ඉන් සමත් කර දීම විශාල වශයෙන් මෙම කාර්යාලයේ සිදුවී ඇති වංචාවකි.

ඊට අමතරව රියැදුරු බලපත් ලබාදීම හා සම්බන්ධ තවත් ජාවාරම් විශාල ප්‍රමාණයක තොරතුරු ද මෙම සැකකරුවන් හෙළිදරව් කර ඇත. මේවා සඳහා ගෙවන ලද මුදල් එක්රැස් කර සතියකට වරක් හෝ දිනකට වරක් එම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ට ද ඉන් කොටසක් සපයන බවට තොරතුරු හෙළිදරව් වී ඇත.

මෝටර් රථ ප්‍රවාහන කොමසාර්ස් දෙපාරත්මේන්තුවේ සිදුවන ගසාකෑම් සහ වෙනත් ජාවාරම් සහ පගා ගැසීම් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ සිදුකර ගෙන යද්දී එම දෙපාරතමේන්තුවේ සිදුවන බොහෝ ගසා කෑම් සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානයට ද තොරතුරු ලැබී තිබේ.

මෙම දෙපාරත්මේන්තුවේ ඇතැම් කණ්ඩායම් අසීමිත ආකාරයට මහජනතාව ගසාකෑම සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති නිසා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දිනක එම කාර්යාලයට ගොස් නිරීක්ෂණය කර එම වැරැදි හදා ගෙන මහජනතාවට සේවයක් වනපරිදි සහ මහජනතාවගේ මුදල් ගසා කෑම වළක්වා ගනිමින් රාජකාරිය නිසි ලෙස කරගෙන යාමට උපදෙස් ලබා දුන්නේය.

ඉන් අනතුරුව එම ගසාකන පුද්ගලයන් පිළිබඳ සොයා බැලීමට පොලිස් බුද්ධි අංශය යොදා කටයුතු කිරීමේ දී ඉහත පස්දෙනා අත්අඩංගුවට ගැනීමට හැකි විය.

විජයානි එදිරිසිංහ

නව අදහස දක්වන්න