ශ්‍රී ලංකාව දෙස ධනාත්මකව බලන්න | දිනමිණ


 

ශ්‍රී ලංකාව දෙස ධනාත්මකව බලන්න

නුවන් කොඩිකාර

ජනපති යුරෝපා සංගමයෙන් ඉල්ලයි

ශ්‍රී ලංකාව දෙස ධනාත්මකව බලන්නැයි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය පැහැදිළි කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල්වලට ලොව අනෙකුත් රටවල් හා සමාන වේගයෙන් සංවර්ධනය වීම සඳහා උපකාර කිරීම කලාපීය බලඅධිකාරිත්වයට මුහුණ දීමේ ප්‍රශස්තම පියවර බව කියා සිටියේය.

යුරෝපා සංගමය නියෝජනය කරන මෙරට තානාපතිවරුන් ජනාධිපති කාර්යාලයේ ඊයේ(6) හමුවීමේන් අනතුරුව එහිදී එම තානාපතිවරුන් අමතමින් ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවර්ටු (Mr. Eric Lavertu), ශ්‍රී ලංකාවේ ජර්මන් තානාපති ජොන් රොඩේ (Mr.Jorn Rohde), ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ඉතාලි තානාපති අලෙග්රා බයිස්ට්රෝ‍චි (Ms Allegra Baistrocchi), ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති තන්ජා ගොන්ග්රිනප් (Ms.TanjaGonggrijp), ශ්‍රී ලංකාවේ රොමේනියා තානාපති වික්ටර් චියුජ්ඩේ (Mr. Victor Chiujdea) යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා දූත කාර්යාලයේ ඩෙනිස් චායිබ් (Mr. Denis Chaibi) මහත්ම මහත්මීන් මෙම හමුවට එක්ව සිටියහ.

දේශපාලන විසඳුම් සංවර්ධන ක්‍රියාවලි පිළිවෙත සමඟ සමගාමීව ඉදිරියට යා යුතු යැයි යුරෝපා සංගමය නියෝජනය කරන තානාපතිවරුන් හා පැවැසු ජනාධිපතිවරයා නිදසුනක් ලෙස 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගත ඇතැම් විධිවිධාන ප්‍රායෝගික නොවන බව කියා සිටියේය.

ඒ වෙනුවට දේශපාලනඥයන් විසින් කළ යුතු වන්නේ විකල්ප විසඳුම් සෙවීම බවත් පළාත් සභාවලට පොලිස් බලතල ලබා දුනහොත් පොලිසිය දේශපාලනීකරණය වන බව ජනාධිපතිවරයා උදාහරණයක් ලෙස ගෙන දැක්වීය.

පොලිස් ස්ථානාධිපති දක්වා ධූරයන්ට පළාත් සභාවලට අයත් දිස්ත්‍රික්කවල ජනතාව පත් කිරීම වඩාත් ප්‍රායෝගික බව පෙන්වා දුන් හෙතෙම එය භාෂාව හා සංස්කෘතික වෙනස්කම් හේතුවෙන් හටගන්නා ගැටලු විසඳීමට මඟපාදනු ඇති බව පැවැසීය.

ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

කෘෂිකර්මාන්තයට බලපාන ප්‍රධාන අභියෝගයක් වන්නේ දේශගුණික විපර්යාසයි. හරිතාගාර වැනි ක්‍රම පිළිබඳ ශ්‍රී ලංකාව විසින් තවදුරටත් කරුණු අධ්‍යනය කළ යුතුයි. ශ්‍රී ලංකාව රසායනික පොහොර භාවිතයේ සිට කාබනික පොහොර භාවිතය දක්වා විතැන් විය යුතුයි. මෙය විවිධ වෙළෙඳ පොළ ආකර්ශනය කර ගැනීමට හේතුවක් වෙනවා. මෙවන් පරිවර්තනයක් සිදු කිරීමට අවශ්‍ය වන්නේ පිළිකාකාරකයන් සහ අපගේ ජල මූලාශ්‍ර දූෂණය වීමේ එක් ප්‍රධාන සංඝටකයක් බවට රසායනික පොහොර සහ පළිබෝධ නාශක පත් වීමයි.

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති තන්ජා ගොන්ග්රිනප් මහත්මිය.-

කාබනික කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් නෙදර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර මේ වන විටත් ඒකාබද්ධ ගිවිසුම් ක්‍රියාත්මක වෙනවා. පරිවර්තනීය කටයුතු සාර්ථක වීමට නම් පරිපාලන අධිකාරීන්ගෙන් දැනට වඩා සහයෝගයක් ගොවීන්ට ලැබිය යුතුයි. ඉතාලි රජයේ සහයෝගයෙන් ඌව පළාතේ ගෙවිළියන් සඳහා කුළුබඩු වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා. ඊට ගෙවිළියන් 400ක් පමණ ඊට සම්බන්ධ වී සිටිනවා.

දූෂණය පිටුදැකීමට, විනිවිදභාවය සහතික කිරීම, දක්ෂතාවට සහ හැකියාවට වටිනාකමක් ලබාදීම ජනාධිපතිවරයාගේ කැපවීම පිළිබඳ නියෝජිත කණ්ඩායම සිය ප්‍රශංසාව පළ කළහ.

විශ්වාසවන්ත සහ දිගුකාලීන මිතුරකු වශයෙන් යුරෝපා සංගමය කෙරෙහි බලාපොරොත්තු තබා ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවට ඇති බව ඔවුහු සඳහන් කළහ. යුරෝපා සංගම් සමාජිකයන් සමඟ විශ්වාසය වර්ධනය කර ගැනීමේ අත්‍යවශ්‍ය සාධකයක් වන්නේ අවංක සහ කාර්යක්ෂම පරිපාලනය බව ද ඔවුහු පැවසූහ.

නව අදහස දක්වන්න