කොටවෙහෙර දැරිය ගැන පැමිණිල්ල බාර නොගත් පොලිස් නිලධාරිනියන් දෙදෙනාගේ වැඩ තහනම් | දිනමිණ


 

කොටවෙහෙර දැරිය ගැන පැමිණිල්ල බාර නොගත් පොලිස් නිලධාරිනියන් දෙදෙනාගේ වැඩ තහනම්

කොටවෙහෙරේ දී 13න් හැවිරිදි දැරිවියකට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල  වීඩියෝ දර්ශන ප්‍රසිද්ධ වීමට පෙර එම දැරිවියගේ මව සහ මිත්තණිය ඒ ගැන පැමිණිලි කිරීමට කොටවෙහෙර සහ නිකවැරටිය යන පොලිස් ස්ථානවලට ගිය අවස්ථාවේ දී එම පැමිණීල්ල බාර නොගත් එම පොලිස් ස්ථාන දෙකෙහි සේවයේ නිරතව සිටි කාන්තා උප පොලිස් පරීක්ෂිකාවන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇතැයි පොලිස් මූලස්ථානය ඊයේ (6) සඳහන් කළේය.

නිකවැරටිය සහකාර පොලිස් අධිකාරීවරයා පෙරේදා (5) එම වැඩ තහනම් කිරීමේ නියෝගය නිකුත් කර ඇත්තේ එම උප පොලිස් පරීක්ෂිකාවන් දෙදෙනා රාජකාරිය පැහැර හැරීමේ චෝදනා මත යැයි ද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

දැරිවියගේ මව සහ මිත්තණිය පොලිස් ස්ථාන දෙකට ගොස් ඇත්තේ එම පහරදීමට අදාළ වීඩියෝ දර්ශන ද රැගෙන බව සහකාර පොලිස් අධිකාරිවරයා කර ඇති සොයා බැලීමක දී හෙළි වී ඇත. දැරිවියට අමානුෂීක ලෙස පහර දෙන ආකාරය පැහැදිලිව ම එම වීඩියෝ දර්ශනවල ඇතත්, එම නිලධාරිනියන් දෙදෙනා ඒ ගැන කිසිදු විභාගයක් නොකර මවත්, මිත්තණියත් පොලිස් ස්ථානයෙන් පිටත්කර යවා ඇතැයි ද අනාවරණය වී තිබේ.

ඉදිරියේ දී එම නිලධාරිනියන් දෙදෙනා සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා, ඒ අයට එරෙහිව චෝදනා පත්‍ර බාරදීමට නියමිතව ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ සහ ගල්ගමුව සමූහ

නව අදහස දක්වන්න