පැය අටක මෙහෙයුමකින් හොරෙන් රැඳී සිටි විදේශිකයන් 136ක් කොටුවෙති | දිනමිණ


 

පැය අටක මෙහෙයුමකින් හොරෙන් රැඳී සිටි විදේශිකයන් 136ක් කොටුවෙති

වීසා නොමැතිව නීති විරෝධීව මෙරට රැඳී සිටින විදේශිකයන් නීතියේ රැහැනට හසුකර ගැනීමට කළ පැය 8ක පොලිස් මෙහෙයුමකින් විදේශීකයන් 136ක් කොටු වී තිබේ.

වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ නියෝගයකට අනුව එම විශේෂ මෙහෙයුම රට පුරා සිදුව ඇත්තේ පෙරේදා (5) රාත්‍රී 10 සිට ඊයේ (6) අලුයම 6 දක්වාය.

එම මෙහෙයුමට කොටු වී ඇති විදේශිකයන් අතර ඉන්දියානුවන් 82දෙනෙක්, පකිස්තානුවන් 12ක්, මාලදිවයින් ජාතිකයන් 10ක්, නයිජීරියානුවන් 8ක්, බංගලාදේශ ජාතිකයන් 6ක්, චීන ජාතිකයන් 4ක්, කැනඩා ජාතිකයන් 4ක්, තායිලන්ත ජාතිකයන් 4ක්, ස්විස්ටර්ලන්ත ජාතිකයන් 2ක් සහ අමෙරිකානු, කටාර්, ස්විඩන්, ඇෆ්ගනිස්ථාන්, ඊශ්‍රායල් ,කොරියානු ජාතිකයන් එක් අයෙක් බැගින් සිටින බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ඉන්දියානුවන්ගෙන් වැඩි දෙනෙක් සංචාරක වීසාවලින් මෙරට පැමිණ රැකියාවේ නිරතව සිටින්නන් බවද අනාවරණය වී තිබේ. එම ඉන්දියානුවන්ගෙන් වැඩි දෙනකුගේ වීසා කාලය අවසන්ව මාස ගණනාවක් වන බව උසස් පොලිස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. වීසා කල් ඉකුත්ව වසරකට වැඩි කාලයක් ගතව ඇති විදේශිකයන් ද අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර වෙති.

මෙම විදේශිකයන් සම්බන්දධයෙන් ආගමන විගමන පාලකවරයාව දැනුවත් කරමින් ඔවුන්ව මෙරටින් පිටුවහල් කිරීමට අවශ්‍ය ඉදිරි නීතිමය පියවර ගන්නා බව, එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ

නව අදහස දක්වන්න