වයඹ ප්‍රින්ට් පැක් සමාගමට WAYABA ජාතික සම්මාන 3ක් | දිනමිණ


 

වයඹ ප්‍රින්ට් පැක් සමාගමට WAYABA ජාතික සම්මාන 3ක්

සීමාසහිත වයඹ ප්‍රින්ට් පැක් (පෞද්ගලික) සමාගම ජාතික වාණිජ මණ්ඩලය සංවිධාන කළ ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ දී මුද්‍රණ අංශයේ ව්‍යාපාර රන් සම්මානය, ව්‍යාපාර විශිෂ්ටතා රන් සම්මානය හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ රිදී සම්මානය යන සම්මාන ත්‍රිත්වයෙන් පිදුම් ලැබීය. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි ප්‍රමුඛ මුද්‍රණ හා ඇසුරුම් නිෂ්පාදන සමාගමක් වන වයඹ ප්‍රින්ට් පැක් සමාගම මෙරට මුද්‍රණ හා ඇසුරුම් අවශ්‍යතා සඳහා විසඳුම් සපයයි. කුරුණෑගල, මාවතගම අපනයන සැකසුම් කලාපයේ පිහිටිි සමාගමේ කර්මාන්ත ශාලාව ජපානයේ හා යුරෝපයේ නිෂ්පාදිත නවීන යන්ත්‍ර සූත්‍රවලින් සමන්විතය.

නිෂ්පාදනවල ගුණාත්මකභාවය සඳහා නව තාක්ෂණයෙන් හා තාක්ෂණවේදීන්ගෙන් සපිරි විද්‍යාගාරයක්ද සමාගම සතුය. සමාගමේ ඇසුරුම් ද්‍රව්‍ය අතර උසස් තත්ත්වයේ තීන්ත යොදා මුද්‍රණය කරන ලැමිනේටඩ් රීල්, ඇලුමීනියම් ෆොයිල්, BOPP, LLDPE, PET, MET PET, Nylon හා PVC වේ. ගනුදෙනුකරුවන්ගේ සිතැඟි පරිදි මෝස්තර රටා නිර්මාණය කරන නිර්මාණ ශිල්පීන්ද සමාගම සතුය. 2016 දී ගින්නකින් විනාශ වූ කර්මාන්ත ශාලාව කෙටි කලකින් යථා තත්ත්වයට ගෙන මෙවන් විශිෂ්ට ජයග්‍රහණ ලැබීම කළමනාකාර අධ්‍යක්ෂ නෂාඩ් නවාස් මහතාගේ දක්ෂතාවකි. උසස් තත්ත්වය උදෙසා ISO 22000, GMP, HACCP සහතිකද සමාගමට ලැබී ඇත. වයඹ ප්‍රින්ට් පැක් ලැබූ සම්මාන අතර කර්මාන්ත සේවා කාර්යංශයෙන් විශිෂ්ටම හා ඵලදායීම ව්‍යාපාරය ලෙස 2013, 2015 හා 2018 වර්ෂවලදී ‘වයඹ විජයාභිමානී’ සම්මානය, ශ්‍රී ලංකා ඇසුරුම් ආයතනයේ ලංකා ස්ටාර් සම්මාන උළෙලේදී 2014 සිට 2018 දක්වා අඛණ්ඩව පස් වරක් රන් හා රිදී සම්මාන, ශ්‍රී ලංකා ව්‍යවසායකත්ව සම්මාන සහ ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය පිරිනැමූ සම්මානද වේ. 2019දී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය පැවැත්වූ වසරේ ව්‍යවසායකයා සම්මාන උළෙලේදී අති විශිෂ්ට තරුණ ව්‍යවසායකයා සම්මානය නෂාඩ් නවාස් මහතාට හිමි විය. මේ සියලු ජයග්‍රහණ ලැබීමට දායක වූ සිය කාර්ය මණ්ඩලයට ඒ මහතා සිය කෘතවේදීත්වය පළ කළේය.

 

නව අදහස දක්වන්න