TUI Academy නිල වශයෙන් ඇරැඹේ | දිනමිණ


 

TUI Academy නිල වශයෙන් ඇරැඹේ

ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී තරුණ තරුණියන්ට සංචාරක සේවා ක්ෂේත්‍රයේ පුහුණුවක් ලබාදීම සඳහා TIU Care පදනම මගින් පසුගිය දා TIU Academy ව්‍යාපෘතිය ආරම්භ කරන ලදි. International Tourism Partnership ys Youth Career Initiative සහ ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන සමඟ එක්ව ක්‍රියාවට නංවනු ලබන මෙය වසර 3ක ව්‍යාපෘතියකි.

ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට ශ්‍රී ලංකා පාරිලිමේන්තුවේ කථානායක කරු ජයසූරිය මැතිතුමා හා විදේශ කටයුතු හා කුසලතා සංවර්ධන ඇමැති දිනේෂ් ගුණවර්ධන යන මහත්වරු සහභාගි වූහ. එමෙන්ම TUI Care Foundation හි භාරකාර මණ්ඩල සාමාජිකා ඩැග්මාර් වූහල් මහත්මිය සහ Aitken Spence PLC හි සභාපති ස්ටැශනි ජයවර්ධන මහත්මිය ද මේ අවස්ථාවට එක්වූවාය.

ව්‍යාපෘතියේ ප්‍රථම වසර තුළ දී අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 60 දෙනකුට Aitken Spence Institute for Hotel Management වෙතින් සත්කාරක සේවා ක්ෂේත්‍රය සම්බන්ධ මාස 2ක පුහුණුවක් ලැබෙනු ඇත. ඉන් අනතුරුව ඔවුන්ට ඉහළ තලයේ හෝටලයක මාස 3ක ප්‍රායෝගික පුහුණුවක් ලබාදීමට නියමිතය. ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මානවලින් හෝ එම ගම්මාන අවට ප්‍රදේශවලින් මේ තරුණ තරුණියන් තෝරාගනු ලැබේ. මේ වැඩසටහන, ආර්ථික දුෂ්කරතා නිසා වෘත්තීය පුහුණුව ලැබීමට දුෂ්කර වන තරුණ තරුණියන් රැසකට සංචාරක ක්ෂේත්‍රයට ප්‍රවේශවීම සඳහා ලැබෙන මහඟු අවස්ථාවක් වනු ඇත.

 

නව අදහස දක්වන්න