ජීවත්වු බණ්ඩාරනායකට වඩාප්‍රබලයකු වූ දිවංගත බණ්ඩාරනායක | දිනමිණ


 

ජීවත්වු බණ්ඩාරනායකට වඩාප්‍රබලයකු වූ දිවංගත බණ්ඩාරනායක

(හෙටට (08)යෙදී ඇති දිවංගත අගමැති ඇස්. ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 121 වෙනි ජන්ම දිනය නිමිත්තෙනි)

මෙලොව බිහි වූ සෑම ජාති හිතෛෂියකුගේම එකම බලාපොරොත්තුව වන්නේ තමන් උපන් මාතෘ භූමියට උපරිම අන්දමේ සේවාවක් ඉටු කිරීමයි. එනමුත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් යුතුව කටයුතු කරන එවන් උදවිය සොයා ගත හැක්කේ ඉතාම කලාතුරකිනි. අපි සිහිපත් කරන දිවංගත බණ්ඩාරනායක ශ්‍රීමතාණන් එවැනි දුර්ලබගනයේ ලක් මාතාවට ලැබුණු ශ්‍රේෂ්ඨ පුත් රුවනකි.

ඔහු ජන්මය ලබා වසර 121ක් ගෙවී ගියද බණ්ඩාරනායක මහතා අපට අමරණීය චරිතයක් වන්නේ එතුමා අප රටේ ශ්‍රේෂ්ඨ දේශපාලන නායකයෙකු පමණක් නොව දේශපාලන දර්ශනයෙන් අප රටේ වපුල ජන නායකයෙකුද වන නිසාවෙනි. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන විෂයක් වූ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 68 වෙනි අභිමානවත් වසර යෙදී තිබුණේ පසුගිය වසරේ සැප්තැම්බර් 3වැනි දිනටය. නිදහසින් පසු 1956,1964, 1970 , 1993 හා 2004 යන වර්ෂවලදී විවිධ සන්ධාන සමඟ එක්වෙමින් නායකත්වය ලබා වැඩිම කාලයක් මෙරට පාලන බලය හොබවමින් සිටි එකම පක්ෂය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි.මෙවන් නායකත්වයක් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ලැබි ඇත්තේ පක්ෂ නිර්මාතෘ දිවංගත ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා දිවංගත වූවාට පසුව වීම විශේෂත්වයකි.එයට හේතු වී ඇත්තේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන චින්තනය හා බැදුණු ජනසම්මතව පූර්ණ අයිතීන් ජනතාවට බුක්ති විදිමට හැකි ක්‍රියාකලාපයක් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සැබවින්ම අනුගමනය කළ නිසාවෙනි.

ශ්‍රේෂ්ඨ රාජ්‍ය නායකයෙකු මියගිය පසුව ඔහුගේ නමට යොදන ගෞරවනීය වචනය වන්නේ දිවංගත යන්නයි. අභාවප්‍රාප්ත යන වචනය තවත් වචනයකි. අප රටේ මියගොස් ඇති කොතෙක් නායකයන් සිටියද දිවංගත යන ගෞරවාර්ථය වඩාත් ගැලපී ඇත්තේ බණ්ඩාරනායක මහතාට වීමද සුවිශේෂි දෙයකි. ඒ බණ්ඩාරනායක මහතා දිවංගත වුවද එතුමන්ගේ චින්තනය තවමත් දිවංගත නොවී ඇති නිසාවෙන් බව නොරහසකි. පංච මහා බලවේගයේ මුදුන් මුල මත මීට වසර 68 කට පෙර ගොඩනැගුණු ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නම් වූ මහා වෘක්ෂය තවමත් ශක්තිමත්ය. ඒ දිවංගත බණ්ඩාරනායක මහතාගේ දැවැන්ත චින්තනය මත ගොඩනැගුණු චින්තනයේ ශක්තිමත් බව නිසා 1899 වර්ෂයේ ජනවාරි 08වැනි දින උපත ලද බණ්ඩාරනායක නම් අපුර්ව ජන්මලාභියා ශ්‍රි ලංකාවේ ප්‍රථම මහ මුදලි ධූරය දැරූසොල්මන් ඩයස් බණ්ඩාරනායකයන්ගේ එකම පුත්‍රරත්නය හෙවත් සොල්මන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක නම් විය.

බ්‍රිතාන්‍යයේ ප්‍රධානතම විශ්ව විද්‍යාලය මෙන්ම ලොව සුපතල විශ්ව විද්‍යාලයක් වූ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් බැරිස්ටර් උපාධිය ලත් බණ්ඩාරනායක තරුණයා ශ්‍රි ලාංකිකයෙකු වශයෙන් අද්විතීය ගණයේ ලා සැලකුම් ලබන්නේ හේ ආසියාවේ රීදි සීනුව නමින් විරුධාවලියක්ද ලබමිනි. ඒ ඔහුගේ චතුර භාෂා කථිකත්වය නිසාවෙනි. 1948 වර්ෂයේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ පළාත් පාලන අමාත්‍ය ධූරයත් සිංහල මහ සභාවේ සභාපති ධූරයත් දැරූ බණ්ඩාරනායක මහතා එවක රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රි ධූරයක් ද හෙබවිය.

1940 ඔක්තෝම්බර් 3 වැනි දින බාන්ස් රත්වත්ත මහ දිසාවගේ බලංගොඩ නාගරික වලව්වේදී සිරිමාවෝ රත්වත්තේ මැතිනිය හා විවාහ ගිවිස ගන්නා බණ්ඩාරනායක මහතා තම දේශපාලන දිවියේ නව ආරම්භයක් එතැන් සිට ආරම්භ කරන්නට විය. මිනිස් නිදහසට ගරු කරමින් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී මූලධර්මයන් ගොඩනැගුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැබැවින්ම දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ සැබෑ අභිලාශයෙන් අවංක ශක්තිමත් රාජ්‍ය පාලනයක් සහිත සැමට ආත්ම ගෞරවයකින් යුතුව ජිවත්විය හැකි යහපත් දේශයක් බිහිකිරිමේ ලා සුවිශේෂ කාර්යභාරයක් මෙරට ස්ථාපිත කළ පක්ෂයක් බව අමතක නොකළ යුතුය.

බණ්ඩාරනායක මැතිතුමනි!

ඔබ එදා ගොඩනැගු ශක්තිමත් පක්ෂය අද ජනතා හදවත්වලද ශක්තිමත්ව ඇත. එහෙත් එය යළි ගොඩනගන්නට සමත් යුග පුරුෂයෙකු අවශ්‍යව ඇත.ඔබ ගොඩනැගු පංච මහා බලවේගයද තවමත් ශක්තිමත්ව ඇත. ඔවුන්ද එකමුතු කළයුතුව ඇත. අද ඉතිරිව ඇත්තේ ඔබගේ චින්තනය පමණි. එහෙයින් ඔබ මිය ගියද ඔබගේ චින්තනය තවමත් දිවංගත වී නොමැත.

 

ෂාන් විජයලාල් ද සිල්වා

ශ්‍රිලනිප උප සභාපති

දකුණු පළාත් හිටපු මහ ඇමැති

නව අදහස දක්වන්න