සහල් එළවළු මිල ගැන අනාවැකියක් | දිනමිණ


 

සහල් එළවළු මිල ගැන අනාවැකියක්

"සහල් ආනයනය කිරීමට තරම් මෙරට තුළ මේ වන විට කිසිඳු සහල් හිඟයක් නැති බව ද පැහැදිලි ව කිව යුතු ය. සහල් හිඟයක් පිළිබඳ රාවයක් පැතිරුණේ පසුගිය දිනවල වෙළෙඳ පොළේ සහල් මිල රු.110ට පමණ පැවතීමත් සමඟ ය. එලෙස මිල ඉහළ යෑම අසාමාන්‍ය තත්ත්වයක් නොවේ. සෑම වසරක ම ඒ කාලය වන විට සහල් මිල ඉහළ යෑම සාමාන්‍ය සේ ම සාධාරණ තත්ත්වයකි."

පුද්ගලයකු දිනකට පරිභෝජනය කළ යුතු එළවළු සහ පලතුරු ප්‍රමාණය ග්‍රෑම් 400ක් ලෙස සෞඛ්‍ය අමාත්‍යොංශය නිර්දේශ කළ ද, සාමාන්‍යයෙන් පුද්ගලයකු දිනකට පරිභෝජනය කරන්නේ ග්‍රෑම් 200ක් 220ක් අතර ප්‍රමාණයකි. එබැවින් වසර පුරා එළවළු ඉල්ලුමේ විශාල වශයෙන් ඉහළ පහළ යෑම් දැකිය නොහැකි ය. එහෙත් එළවළු සැපයුම සිදු වන ආකාරයත් සමඟ වසරකට දෙතුන් වතාවක් මිල උච්චාවචනයන් සිදු වේ. ජනවාරි 20 වැනි දායින් පසු මහ කන්නයේ අස්වනු නෙළන අතර පෙබරවාරි, මාර්තු, අප්‍රේල් මාසවල උඩරටින් සහ පහත රටින් වෙළෙඳ පොළට විශාල එළවළු සැපයුමක් ලැබේ. එවිට ඉල්ලුමට සාපේක්ෂව අධි සැපයුමක් ඇති වීමෙන් එළවළු මිල පහත වැටේ.

යල කන්නයේ අස්වැන්න වෙළෙඳ පොළට එන්නේ ජූලි 20න් පසුව ය. එතැන් පටන් ඔක්තෝම්බර් 20 වනතුරු නැවත විශාල එළවළු ‍සැපයුමක් ඇති වුව ද ඉල්ලුමේ විශාල වෙනසක් සිදු නොවන බැවින් එවිට ද එළවළු මිල අඩු වේ. එහෙත් මැයි, ජුනි සහ ජූලි 20 වන තුරු ද නැවත ඔක්තෝම්බර්, නොවැම්බර්, දෙසැම්බර් සහ ජනවාරි 15 වනතුරු ද එළවළු සැපයුම සිදු වන්නේ අතරමැදි කන්නයකිනි. එම කාලයේ දී ප්‍රධාන කන්න දෙකෙහි ලැබෙන සාමාන්‍ය සැපයුමට සාපේක්ෂ ව 40%කින් පමණ සැපයුම අඩු වේ. එයට හේතුව මෙම කාල සීමාව තුළ ඇදහැලෙන විශාල වර්ෂාවෙන් පැළවලට හානි පැමිණෙන බැවින් ගොවියන් මහ වැසි මගැර ඉන් පසුව වගා කිරීම ඇරඹීම ය. එම කාලය තුළ ඉල්ලුම නොවෙනස් ව පවතින අතර සැපයුම අඩු වන බැවින් මිල ඉහළ යනු ඇත. එය සෑම වර්ෂයක ම පාහේ මුහුණ පෑමට සිදු වන තත්ත්වයක් වුව ද මෙම වසරේ දැකිය හැකි වූයේ පසු ගිය වසරවලට සාපේක්ෂ ව අධික ලෙස මිල ඉහළ යෑමකි. එයට හේතුව මෙවර එම වර්ෂාපතනය උඩරට පහතරට ප්‍රදේශ දෙකෙහි ම එළවළු වගාවට හානිදායක වීම ය.

වැස්සේ බලපෑම්

වෙනත් වර්ෂවල එම වර්ෂාපතනයෙන් විශාල වශයෙන් හානිවන්නේ උඩරට එළවළු වගාවට පමණි. පහතරට එළවළු අස්වැන්න නිරුපද්‍රිත ව වෙළඳපොළට එකතු වේ. නමුත් මෙවර උඩරටට සහ පහතරටට එක ලෙස විශාල වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් මෙම කාලයේ යාපනය, තඹුත්තේගම, කල්පිටිය වැනි පහතරට ප්‍රදේශවලින් ලැබීමට තිබූ එළවළු අස්වැන්න අපේක්ෂිත පරිදි වෙළෙඳ පොළට එක්නොවීම මෙවර මෙතරම් මිල ඉහළ යෑමට බල පෑ හේතුව විය.

කෙසේ වෙතත් මෙම මිල ඉහළ යෑම පවතින්නේ කෙටි කාලයකි. ඉතා අධික මිලක් ගෙවා එළවළු කිලෝවක් මිලදී ගැනීමට පාරිභෝගිකයන් පෙළඹෙන්නේ නැති බැවින් ඉතා ඉක්මනින් මිල පහත වැටෙනු ඇත. පසුගිය දිනවල වම්බටු කිලෝව රු. 450ට අලෙවි වුව ද මේ වන විට රු.200 දක්වා අඩු වී ඇත. එළවළු ඉල්ලුම අඩුවීමෙන් මිල තරමක් හෝ අඩු වී ඇත්තේ කෙටි කාලීන ව පාරිභෝගිකයන් වෙනත් විකල්පවලට නැඹුරු වීම හේතුවෙනි. ජනවාරි 20 වන විට මෙම තත්ත්වය සාමාන්‍ය අතට හැරෙනු ඇත. වසර 05ක එළවළු මිල හැසිරීම අධ්‍යයනය කළහොත් මෙම රටාව හඳුනාගත හැකි ය.

සාමාන්‍යයෙන් වසරකට උඩරට සහ පහතරට යල මහ සහ අතරමැදි කන්නයේ අක්කර ලක්ෂ 3ක් පමණ එළවළු වගා කෙරේ. ජනවාරි 15 පමණ වන විට එළවළු සැපයුම වැඩි වේ. දෙසැම්බර් මාසය දක්වා වැසි ඇද හැලුණු නමුත් ඉන් අනතුරු ව වගා කළ බටු, බණ්ඩක්කා, මෑ කරල් වැනි බෝගවල දින 45න් අස්වැන්න ලැබේ. ජනවාරි 20 පමණ වන විට වෙළෙඳ පොළට හොඳ එළවළු සැපයුමක් ලැබෙන අතර එතැන් පටන් අප්‍රේල් මාසය අවසන් වන තුරු ම එළවළු මිලෙහි නැවත සැලකිය යුතු මට්ටමේ වැඩි වීමක් සිදු නොවේ. එවිට ඉල්ලුමට සාපේක්ෂව පවත්නා වැඩි සැපයුම හේතුවෙන් මිල පහත වැටෙනු ඇත.

මෙවැනි තත්ත්වයන් පිළිබඳ ගොවීන් දැනුවත් කිරීමට සහ විකල්ප විසඳුම් සෙවීමට කෘෂිකර්ම අමාත්‍යංශය සහ අප ආයතනය විසින් විශේෂ වැඩසටහන් සංවිධානය කෙරෙන අතර මේ වන විට ගොවීන් පෙරට වඩා දැනුවත් ය. දැන වෙළෙඳාම නොදැන ගොවිතැන ලෙස අතීතයේ පැවසුව ද වත්මන් ගොවීහු දැන වෙළෙඳාම දැන ගොවිතැන කරන තැනට පත්ව සිටිති. අතීතයේ සාම්ප්‍රදායික ගොවීන් එළවළු වෙළඳපොළ පිළිබඳ සොයා බැලුවේ අස්වැන්න ලැබෙන කාලයේ දී ය. නමුත් මේ වන විට වගා කළ යුතු එළවළු, වගා කළ යුතු කාලය, අස්වනු නෙළිය යුතු කාලය, මිල වැඩි වන කාලය පිළිබඳ ගොවීන් සතුව පැහැදිලි තොරතුරු ඇත. එසේ ම අතරමැදියන්ගෙන් තොර ව සුපිරි වෙළෙඳසැල් සහ ආනයන කටයුතු සඳහා ද ගොවීහු සෘජුව ම යොමු වී සිටිති. කෘෂිකර්ම අමාත්‍යංශයෙන් පවත්වාගෙන යන ‘අවාරේ’ වැඩසටහන ද අතිශය සාර්ථක ය.

අවාරයේ වැඩි වශයෙන් වගා කෙරෙන්නේ විවෘත වගා බිම්වල වන බැවින් අධික වර්ෂාපතනයකදී දැඩි ලෙස හානියට ලක් වුව ද හරිතාගාර වගාවන් එයාකාරයෙන් වර්ෂාවෙන් හානියට පත් නොවේ. එසේ වුව ද හරිතාගාර වගාවක් සිදු කිරීමට විශාල ආයෝජනයක් දැරිය යුතු බැවින් දැනට මෙරට හරිතාගාර වගාවන් සිදු වනුයේ සීමා සහිතව ය.

අවාරයේ වගා කටයුතු

ඇතැම් කාලවල උඩරට එළවළු අඩු මිලට විකිනුණ ද එම එළවළු කොළඹ ගෙනඒමේදී ගැටලු පැන නගී. ගංවතුර තත්වයන් වැනි ස්වභාවික ආපදා හේතුවෙන් එළවළු ප්‍රවාහනය කිරීමට පැමිණෙන බාධා හේතුවෙන් ඇතැම් විට දඹුල්ලෙහි රු. 50ට අලෙවි වන එළවළු කිලෝවක් කොළඹ රු. 250කටවත් මිල දී ගත නොහැකි තත්ත්වයක් උද්ගත වන අවස්ථා ද දැකිය හැකිය. මෙම සියලු තත්ත්වයන් කෙටි කාලීන තත්ත්වයන් වන නමුත් ඒවා සම්පූර්ණයෙන් මගහරවා ගත නොහැකි තත්ත්වයන් ද වේ. නමුත් මිල ඉහළ පහළ යෑම් තරමක් දුරට පාලනය කරගැනීම සඳහා ක්‍රමවේදයන් යෙදිය හැක. අවාරයේ වගා කටයුතු වැඩි දියුණු කිරීම ඒ සඳහා ගත හැකි එක් පියවරක් වන අතර මෙහිදී ගොවියා දැනුවත් කළ යුත්තේ රටේ එළවළු අවශ්‍යතාව අනුව වගා කිරීමට ය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ Crop Look Net වෙබ් අඩවිය මඟින් අද සිට මාස තුනක් දක්වා වෙළෙඳ පොළට අවශ්‍ය බෝංචි කැරට්, රාඹු ප්‍රමාණයන් කොපමණ ද? මේ වන විට කොතරම් ප්‍රමාණයක් වගාකොට තිබෙනවාද? ආදි වශයෙන් පැහැදිලි තොරතුරු ලබාදෙමින් ගොවියා මෙහෙයවීම සිදු කරයි. මාස තුනකින් අවැසි නිෂ්පාදනය ලබාගැනීමට හෙක්ටයාර පන්සියයක වගාවක් අවශ්‍ය වන අතර දැනට වගාකොට ඇත්තේ හෙක්ටයාර් 250ක ප්‍රමාණයක් නම් ඒ භෝගය වගා කිරීමට තෝරාගැනීම හොඳ බවත් අවශ්‍යතාව අනුව හෙක්ටයාර 500ක වගා කළ යුතු භෝගයක් මේ වන විට හෙක්ටයාර් 600ක වගාකොට තිබේ නම් එවැනි භෝගයක් තෝරාගැනීමෙන් වැළකී සිටිය යුතු බවත් එමගින් පෙන්වා දේ. තොරතුරු තාක්ෂණයේ ප්‍රගමනයත් සමග නූතන ගොවියා බොහෝ දුර පැමිණ ඇත. අප ආයතනය මඟින් මොබිටල් ජාලය හා එක් ව 6666 දුරකථන අංකය ඔස්සේ අස්වැන්න නෙළන කාලය වන විට ලංකාවේ සියලු ම තොග වෙළෙඳ සල්, ආර්ථික මධ්‍යස්ථානයන්හි එළවළු තොග මිල ගණන් පැය 24 පුරා ලබාදෙන ක්‍රමවේදයක් ගොවීන් වෙනුවෙන් සකසා තිබේ. නුවරඑළියේ ගොවියකු අස්වනු නෙළන විට ම එදිනට තඹුත්තේගම එළවළු මිල, නොරොච්චෝලෙ, පිටකොටුවේ සහ වැලිමඩ වෙළෙඳ පොළවල එළවළු මිල පිළිබඳ අවබෝධයක් ලබාගැනීම තුළින් තමන්ගේ අස්වැන්න යවන්නේ කුමන වෙළෙඳපොළට ද? යන කාරණාව පිළිබඳ ව ගොවියාට පැහැදිලි තීරණයකට එළැඹිය හැකි ය. මෙවැනි වැඩසටහන් හේතුවෙන් මේ වන විට මිල මට්ටම් විශාල වශයෙන් ඉහළ පහළ යෑම බොහෝ සෙයින් අඩු වී ඇති අතර මෙවර උද්ගත වූයේ අසාමාන්‍ය තත්ත්වයකි. ඇද හැළුණු අසාමාන්‍ය වර්ෂාපතනය එළවළු වගාවට කෙටි කාලීන ව එයාකාරයෙන් බලපෑව ද දිගු කාලීන ව වී වගාවට උදාකොට ඇත්තේ හිතකර තත්ත්වයකි.

සහල් පරිභෝජනය

මෙවර ඇද හැළුණු අසාමාන්‍ය වර්ෂාවෙන් උතුරු නැගෙනහිර පළාත්වල සියලු වැව් පීරීගොස් ය. එම ජලයෙන් මීළඟ යල කන්නයේ වී වගාව ඉතාමත් සාර්ථකව කළ හැකි ය. හොඳ අස්වැන්නක් බලාපොරොත්තු විය හැකි ය. එයාකාරයෙන් බලන කල පසුගිය වකවානුවේ ඇදහැළුණු වර්ෂාව කෙටි කාලීනව එළවළු වගාවට අහිතරක වුව ද දිගු කාලීන ව වී වගාවට හිතකර ය. එළවළු වගාවට ඇති කළ බලපෑම ද තවත් සති දෙකකින් පහව යනු ඇත.

ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව එක් පුද්ගලයකු වසරකට කිලෝ 110ක් පමණ සහල් පරිභෝජනය කළ ද එම ප්‍රමාණය දිස්ත්‍රික්ක අනුව සුළු වශයෙන් වෙනස් විය හැකි ය. ආසියාවේ වැඩි වශයෙන් ම සහල් පරිභෝජනය කරන රටවල් අතර ප්‍රමුඛ රටක් වන මෙරට මාසික සහල් අවශ්‍යතාව (බත් සහ සහල් ආශ්‍රිත නිෂ්පාදනවලට) මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකකි. එනම් වසරකට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 24ක් අවැසි ය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දත්ත අනුව 2019 වසරේ මහ කන්නයේදී මෙට්‍රික් ටොන් ලක්ෂ 30ක් ද යල කන්නයේදී මෙ.ටොන් ලක්ෂ 15ක් ද වශයෙන් වී මෙට්‍රික් ටොන් ලක්ෂ 45ක් රටට ලැබී ඇත. එයින් මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් පමණ සත්ත්ව ආහාර ඇතුළු වෙනත් කටයුතු සඳහා යෙදවුව ද මෙට්‍රික් ටොන් 42ක් සහල් අවශ්‍යතාව වෙනුවෙන් ඇත. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙ දත්ත අනුව එය මාස 15කට ප්‍රමාණවත් නිෂ්පාදනයකි. එම තොරතුරු අනුව පෙබරවාරි මස සිට ඉන් ඉදිරියට සහල් හිඟයක් පැවතිය නොහැකි ය. ගිය වසරේ පෙබරවාරි මාසයේ සිට මෙම වසරේ මාර්තු දක්වා ම රටට ප්‍රමාණවත් සහල් රට තුළ ම ඇත.

යමකු කෘත්‍රීම ව සහල් හිඟයක් මැවීමට උත්සාහ ගන්නේ නම් එය රජය අපහසුතාවට පත්කිරීම වෙනුවෙන් ගන්නා උත්සාහයක් විය හැකි ය. එනිසා සහල් ආනයනය කිරීමට කටයුතු යෙදිය යුතු නැත. සහල් සඳහා රු.98ක පාලන මිලක් ගෙන ඒමත් සමඟ බොහෝ දුරට සහල් මිලෙහි පාලනයක් දැකිය හැකි ය. රු. 98ක මිලට සම්බා සහ නාඩු සහල් ලබාදීමට මහා පරිමාණ මෝල් හිමියන් එකඟත්වය පළකොට ඇති අතර එම මිලට ඔවුන් ලබාදෙන්නේ උසස් තත්තවයේ සහල් ය. එබැවින් රු.98ක මිල සාධාරණ ය. රටක සහල් මිල වී මිල මෙන් දෙගුණයක් ව පවතින්නේ නම් එවිට එම සහල් මිලෙහි අසාමාන්‍ය ලාභයක් නැත. වී රු.50ට මිලදී ගත්තේ නම් රු.60ට සහල් විකිණිය යුතු බව ඇතැමෙකුගේ අදහස යි. නමුත් සහල් කිලෝවක් නිපදවීමට වී කිලෝ 1.6ක් අවශ්‍ය වේ. එනම් වී කිලෝවක මිල රුපියල් 50ක් වුවහොත් සහල් කිලෝවක් සඳහා රුපියල් 80ක වී අවශ්‍ය වේ. මෝලට රු.10.50ක් ගෙවිය යුතු ය. මෝල් හිමියා රු. 2ක්, තොග අලෙවිකරුවන් රුපියල් 3ක් ද සිල්ලර කඩ හිමිකරුවන් රුපියල් 4ක් වශයෙන් අතරමැදි ව ලබාගත් විට සහල් මිල රු.100ක් පමණ වීම වැළකීම අසීරු ය. ඒ අනුව අද රටේ වී මිලත් සමඟ සසඳා බලන විට සහල් සඳහා රුපියල් 98ක මිල සාධාරණ ය.

තවත් සති දෙකක් ගත වන විට මඩකළපුව, දිස්ත්‍රික්කයේ අස්වැන්න ලැබෙන අතර ඉන් පසුව අම්පාර, අනුරාධපුරය, ත්‍රිකුණාමලය,කිලිනොච්චිය, යාපනය, කුරුණෑගල, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ද වී අස්වැන්න ලැබෙනු ඇත. ඒ වනවිට සහල් ආනයනයකොට තිබුණහොත් දේශීය ගොවියන්ට මුහුණ පෑමට සිදු වන්නේ විශාල ගැටලුවකට ය. එය එක් අතෙකින් රජයට ද නරක නාමයකි. මෝල්හිමියන් සහ වී එකතු කරන්නන් ගොවියාගේ වී අස්වැන්න අඩු මිලට ගෙන, කාලයක් ගබඩාකොට තබාගෙන සිට වසර අවසානයේ මිල වැඩිකොට විකුණනු ඇත.

රජයේ වගකීම

සහල් ආනයනය කිරීමට තරම් මෙරට තුළ මේ වන විට කිසිඳු සහල් හිඟයක් නැති බව ද පැහැදිලි ව කිව යුතු ය. සහල් හිඟයක් පිළිබඳ රාවයක් පැතිරුණේ පසුගිය දිනවල වෙළෙඳ පොළේ සහල් මිල රු.110ට පමණ පැවතීමත් සමඟ ය. එලෙස මිල ඉහළ යෑම අසාමාන්‍ය තත්ත්වයක් නොවේ. සෑම වසරක ම ඒ කාලය වන විට සහල් මිල ඉහළ යෑම සාමාන්‍ය සේ ම සාධාරණ තත්ත්වයකි.

රටේ සමස්ත වී අස්වැන්නෙන් 65%ක් ලැබෙනුයේ මහ කන්නයෙන් වන අතර යල කන්නයේ ලැබෙන 35%ක පමණ අස්වැන්න සැලකිය යුතු මට්ටමකින් වෙළෙඳ පොළට එක් නොවේ. ඔක්තෝම්බර්, නොවැම්බර් දෙසැම්බර් ජනවාරි වන තුරු ම (යල කන්නයේ) වෙළෙඳ පොළට සහල් ලැබෙනුයේ මහ කන්නයේ ගබඩාකොට තබාගත් වී තොගවලිනි. එම සහල් මහ කන්නයේ වෙළෙඳ පොළට එක් වූ මිලට සාපේක්ෂව වැඩි මිලකට යල කන්නයේදී වෙළෙඳ පොළට එකතු වේ. එම තත්ත්වය පාලනය කිරීමට නම් රජයක් ගත යුතු පියවර වන්නේ නිරන්තරයෙන් ආරක්ෂිත වී තොගයක් නිසි කළමනාකරණයකින් යුතු ව පවත්වාගෙන යෑම ය. නැවත මෙම ගැටලුව එළඹෙන නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී උද්ගත වීම නොවැළැක්විය හැකි බැවින් රජය මෙවර මහ කන්නයේ වී අස්වැන්නෙන් වී මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක උපරිමයක් ආරක්ෂිත තොග ලෙස පවත්වාගෙන ගොස් අදාළ කාලය තුළ මුදා හැරීම සිදු කළහොත් එවැනි තත්ත්වයක් ඇති වීම පාලනය කරගත හැකි වනු ඇත.

නව අදහස දක්වන්න