ගැලවෙන්නට බැරි මාෆියා | දිනමිණ


 

ගැලවෙන්නට බැරි මාෆියා

ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාලා වලට විශාල ඉල්ලුමක් ඇති ව තිබේ. එහෙත් මේ වන විට ඒවා ද මාෆියා කණ්ඩායම් තමන්ගේ මත ප්‍රචාරණය සඳහා යොදාගෙන ඇති තත්ත්වයක් යටතේ මේ මාෆියා කණ්ඩායම් අනාවරණය කර මෙල්ල කිරීමේ කටයුත්ත තව දුරටත් දුෂ්කර ව තිබේ. මේ මාෆියාවන් මෙල්ල කිරීම සඳහා වඩාත් අවශ්‍ය වන්නේ ජනතාවගේ සක්‍රීය සහභාගිත්වය යි. ඒ සඳහා මාෆියාව අනාවරණය කිරීමට ඉදිරිපත් වන මිනිසුන් වඩ වඩාත් ඇති වීම අවශ්‍ය ය. මාෆියාවකට තනි මිනිසකු මෙල්ල කිරිම පහසු ය. එහෙත් විරුද්ධතාව පළ වන පිරිස වැඩි වන විට, ඔවුන්ට අකුලාගෙන පල්ලම් බැසීමට සිදු වේ. මාෆියාව අනාවරණය සඳහා උපයෝගී කරගත හැකි මෙවලමක් නම්, තොරතුරු දැන ගැනීමේ පනත ය. එහෙත් තවමත් මිනිසුන් එයින් ඒ තරමටම ප්‍රයෝජන ගන්නා බවක් පෙනෙන්නේ නැත.

වෙලාවකට දැනෙන්නේ අන්ත අසරණ හැඟීමකි. වැඩියෙන්ම එසේ දැනෙන්නේ අප වටා ඇති අනේක මාෆියා නිසා ය. කොයි වෙලේ එක් හෝ තව මාෆියා කණ්ඩායමකින් අපව ග්‍රහණයට ගනී දැයි කියන්නට බැරි තරමට මාෆියා බෝවී තිබේ. නවතම මාෆියාව හාල් මාෆියාව ය. ඒ හාල් වෙළෙඳ පොළ පුද්ගලයන් සීමිත ගණනකගේ ඒකාධිකාරයක් වීම තුළ ය.

මාෆියාව යනු අතලොස්සක් මිනිසුන් විසින් තමන්ගේ පටු වුවමනා එපාකම් ඉටුකර ගැනීම උදෙසා නිහීන බලය යොදා ගනිමින් සමාජයම ග්‍රහණයට ගන්නා නිල නොලත් සංවිධානයකි. එය එක් පැත්තකින් සමාජයට බලය පතුරුවන අතර අනිත් පැත්තෙන් තමන්ගේම සාමාජිකයන්ව ද ආණ්ඩුමට්ටු කිරීමට බලය යොදා ගන්නේ ය.

මේ මාෆියා හැම එකක් ම ග්‍රහණයට ගන්නේ අහිංසක මිනිසුන් ය. දොස්තරලා නම් දුප්පත් ලෙඩ්ඩු ය. පෞද්ගලික රෝහල්වලට යන්නට හයිය හත්තිය නැති අහිංසක රෝගීන් ය. දොස්තරලාට හරි හරියට සෙසු සෞඛ්‍ය සේවකයින් ද තමන්ගේ ම මාෆියාවලට සංවිධානය වී සිටින්නේ ය. එක සටනක් ඉවර වන්නේ තව සේවාවක සටනක ආරම්භයක් ඇති කරමින් ය.

දුම්රිය මාෆියාව නම් ග්‍රහණයට ගන්නේ, පොල් පැටවූවාක් මෙන් පැක් වී ගමන් කරන්නට සිදු ව ඇති දුම්රියත් ඉවසමින්, පණ ද එපා කියමින්, එහි එල්ලී යන මගීන් ය. මිනිසුන් අකර්ණම්‍ය කරවන, උන්ගේ ජීවනෝපාය පවා උදුරා ගන්නා, තෙල් මාෆියාව ග්‍රහණයට ගන්නේ රෝද උඩ දිවි ගෙවන ජීවිත ය. මේ හැම කෙනකුම පාහේ මේ අසරණයන්ගේ බෙල්ල මුලට ආයුධ තියා ආණ්ඩුවෙන් කප්පම් ඉල්ලන්නෝ ය. එසේ කරමින් වැටුප් ද අතිකාල ද නිවාඩු ද ජාතික පාසල් වරප්‍රසාද ද යන එකී නොකී ඒවා අත්පත් කර ගන්නෝ ය.

ඉහත සඳහන් කළ අය ඉන්නේ අත්‍යවශ්‍ය සේවාවල ය. බලය තියෙන්නේ එතැන ය. ආණ්ඩු මට්ටු කිරීම ඔවුන් විසින් කිසිදු අඩුපාඩුවක් නැතිව ම කෙරෙන්නේ ය. ඒ තමන්ගේ සේවාලාභීන් බිල්ලට ගැනීමට තර්ජනය කිරීමෙනි.

නිලධාරී මාෆියාව

රාජ්‍ය සේවය තුළ නිලධාරී මාෆියාවක් ද ක්‍රියාත්මක වන්නේ ය. ඒ නීතිය ක්‍රියාත්මක කිරීමේ හා මුදල්,සම්පත් ,අවසර පත් අනුමත කිරීමේ බලය ඇති අය ය. ඔවුන් බොහෝ දෙනකු ඒ කටයුතු ක්‍රියාත්මක කරන්නේ තමන්ගේ සාක්කුවට ද කොටසක් වැටෙන ආකාරයට ය. එවැනි අයගෙන් වැඩක් කර ගැනීමට නම් කප්පමක් දිය යුතු ම ය. එක තැනකින් කර ගන්නට බැරි නම් ඊට ඉහළින් කර ගන්නට බැරි තරමට ඇටුවම් බැස ගත් සිස්ටම්, “සම්තින්” ලබා ගනු සඳහාම, සකස් වී තිබෙන්නේ ය.

පොලීසියේ බොහෝ නිලධාරීන් ද ක්‍රියාත්මක වන්නේ එකට බැඳුණු මාෆියාවක් ලෙස ය. ඔවුන් නම් බොහෝ විට අණ ලබන්නේ දේශපාලන අධිකාරියෙන් ද ආගමික නායකයන්ගෙන් ද බවක් පෙනෙන්නට තිබේ. එහෙත් එයින් ස්වාධීනව වැඩ කරන ඔවුන්ගේ ම මාෆියාවන් ද ඇතැම් තැනක ක්‍රියාත්මක වනු පෙනෙන්නට තිබේ. නීතිය නමන්නට ඔවුන්ට අවශ්‍ය නම් පුළුවන් වී ඇත්තේ ඒ නිසා ය.

මාෆියා රාජ්‍ය අංශය සතු ඒකාධීකාරයක් ලෙස නොසැලකිය යුතු ය. ඉන් පරිබාහිරව ද මාෆියා ක්‍රියාත්මක වේ. බස් මාෆියාව එවැන්නකි. දඩ කොළ ලිව්වත් දඩ මුදලේ ගණන වැඩි කළත් අලුත් නීතියක් ගෙනාවත් එය ඉද්ද ගැසුවාක් මෙන් නැගිට ක්‍රියාත්මක වන්නේ ය. කන පුපුරා යන ගීත පමණක් නොව රියැදුරාගේ හා කොන්දොස්තරගේ සියලු අණපනත් හා පීඩා මගීන් ඉවසා දරා ගත යුතු ය.

බස්කාරයන් මාෆියා එකක් ලෙස හැසිරුණාට ඔවුන්ගෙන් කප්පම් ගන්නට තව මාෆියාවක් සිටියි. ඒ අය ඉන්නේ පර්මිට් ලබා දෙන විධිමත් ආයතන පද්ධතිය තුළ පමණක් නොවේ. ප්‍රාදේශීය ගණන් කාරයින් ද ලෙස ය.

ඒක හරියට දොස්තරලා මාෆියාවක් වුණාට ඔවුන් ආම්බාම් කරන්නට දොස්තර සංගමය නම් මාෆියාවක් ඊට උඩින් ඉන්නවා වාගේ ය. තමන්ට අවශ්‍ය විදිහට නටන්නේ නැති දොස්තරලාට, මාෆියාවට හවුල් වන්නේ නැති දොස්තරලාට, දඬුවම් කරන්නට එය සැදී පැහැදී සිටින බව කියන්නේ ද දොස්තරලා ම ය.

ප්‍රාදේශීය වශයෙන් ක්‍රියාත්මක වන ත්‍රී වීල් මාෆියා ද තිබේ. පිට ත්‍රී වීලර්වලට ගමේ කෑලි දාගෙන යන්නට ඔවුන් ඉඩ දෙන්නේ නැත. ත්‍රී වීල්වලට නීති දැමීම ද ඔවුන් ඇවිස්සීමට හේතුවක් වන්නේ ය. ඒවායේ යන අය රියැදුරාගේ නීතිවලට යටත් ව යා යුතු ය. මගීන්ට අයිතිවාසිකම් නැත. තිබෙන තරමක් තිබෙන්නේ වාහන අයිතිකාරයින්ට ය.

රෝද දෙකට යටවෙන පදිකයන්

පදික වේදිකාවේ මිනිසුන් අසරණ කරමින් යන මෝටර් බයිසිකල් ද මාෆියාවක ස්වරූපය ගනු ඇතැම් තැනක දක්නට පුළුවන.

මෝටර් රථයක පවා පිස්සකු හෝ අමනයකු හෝ වෙනයම් බලපුළුවන්කාරයකු වාඩි වුණොත් ඒත් එහෙම ය. පාරේ යන අයට දෙවියන්ගේ පිහිට මිස පොලීසියේ පිහිට පවා නැතිවන්නට එහෙම වෙලාවක පුළුවන.

රට පවතින්නේ කවුරුන් හෝ යම් බලයක් ඇති කෙනකු ඉන්නවා නම් සෙසු අය ඔහුට,ඇයට,ඔවුන්ට යටත් ව විසිය යුතු ය යන ආකල්පය සමග ය. රෝද දෙකක් හෝ වැඩි ගණනක් තිබීම රිසි සේ ඉගිල්ලීමට දුන් ලයිසමක් මෙන් සලකන බවක් පෙනෙන්නට තිබෙන්නේ ය. එය ම බලයක් සේ සලකන බව ද පෙනෙන්නට තිබෙන්නේ ය.

මත් ද්‍රව්‍ය මාෆියාව, කසිප්පු මාෆියාව පමණක් නොව පස් ගල් වැලි මාෆියා ද ඕසෙට ය. ඒ ගැන කතා කරොත් ඉවර ය. පසුගිය දිනක ප්‍රාදේශීය මාධ්‍ය වේදියකු ගුටි කෑවේ වැලි මාෆියාකාරයෙකු නිසා ය.

ගෑනු දරුවෙකුට පාරේ බැහැලා යන්නට අමාරු කරවන පිරිමි මාෆියාවක් ද තිබෙන්නේ ය. ගෑනුන් යා යුත්තේ උන්ගේ සියලු අවලම් කතා ඉවසා දරාගෙන ය.

සිංහල බෞද්ධ මාෆියාව කන්වලට පිරිත් ද, බණ ද බලහත්කාරයෙන් පුරවන්නේ ය. ඒවා අසනු පිණිස රෝගී මිනිසුන් ද විභාගවලට පාඩම් කරන දරුවන් ද නිදි වරමින් සිටිය යුතු යැයි යන්න ඔවුන්ගේ අණ ය. සෙසු මිනිසුන් තමන් කියන ලෙසට තමන් අනුයන ලෙසට දිවි ගෙවිය යුතු යැයි ඔවුන්ගේ විශ්වාසය ය. මේ කරදරය ඉවසන්නට අමාරු අයට දෙන උපදෙස නම් වෙන රටක් හොයා ගන්නා ලෙස ය.

සිවුරු මාෆියාව ද පූජක මාෆියාව ද ලෙහෙසි පහසු නැත. බොහෝ විට ඒ මාෆියාකාරයෝ පොලීසිය ද මායිම් කරන්නේ නැත. ඒ සිවුරේ හා පූජක වස්තරයේ බලයෙන් ය. පුද්ගලික පන්තිවලට කඩා වැදී දරුවන් ද මව්පියන් ද ගුරුවරුන් ද ආණ්ඩු මට්ටු කරන්නට ඔවුන්ට කාගෙන්වත් අවසර අවශ්‍ය නැත. ඒවා නීතිය ක්‍රියාත්මක කරන අය විසින් ද ඉවසිය යුතු යැයි අපේක්ෂිත ය.

කෙළවරක් නැති මාෆියා

ඒ අතරේ ගුරු මාෆියාවක් ද ක්‍රියාත්මක වන්නේ ය. දරුවකුට නිහීන ලෙස දඬුවම් කිරීම හේතුවෙන් ගුරුවරයකුට උසාවියකින් දඬුවම් නියම වීම පවා ඔවුන් ඉවසන්නේ නැත. සෙසු මාෆියාකාරයින් මෙන් ම තමන් නීතියට උඩින් තැබිය යුතුය යන්න ඔවුන්ගේ ඉල්ලීම ය.

විදුහල්පති මාෆියාව ඊටත් එහා ය. කවර දරුවකු පාසල තුළ සිටිය යුතු ද කවරකු බැහැර කළ යුතු දැයි යන්නට අමාත්‍යංශයේ නිර්ණායක ඉක්මවන තමන්ගේම නිර්ණායක ඔවුන්ට තිබෙන්නේ ය. බෝවෙන රෝග තිබේ යැයි ද ඒඩ්ස් තිබේ යැයි ද කට වචනයෙන් එන ආරංචියකට ඔවුහු පරල වන්නෝ ය. එසේ කොට අහිංසක දරුවන් සාධාරණ හේතුවකින් තොරව පාසලින් පිට මං කරනු ලබන්නේ ය.

ගොවියන් බොහෝ සෙයින් අසරණ ජන කොට්ඨාසයක් යැයි බොහෝ දෙනා කියති. එය බොහෝ තැනක ඇත්තක් වන්නට ද පුළුවන. එහෙත් මාෆියාවක් ලෙස සංවිධානය වීමට ඔවුන්ට එය බාධාවක් වී නැත. තමන්ට ලබා ගත යුතු යැයි සැලකෙන ඉල්ලීම් වෙනුවෙන් පාරවල් වසා දමන්නට ඔවුන් දෙවරක් සිතන්නේ නැත. එතකොට තැලෙන්නේ පාරේ යන එන මිනිසුන් ය. පොහොර ද වතුර ද නොමිලයේ ලබා දී අවසානයේ සහතික මිලකට තමන්ගේ නිෂ්පාදනත් ආණ්ඩුව ගන්නට ඕනෑ ය. එතැනිනුත් නොනැවතී ණය ද කපා හරිනු ලබන්නට ඕනෑ ය. ඒ සියල්ල නියං සහනාධාර හා ගංවතුර සහනාධාර වලට අමතර වශයෙනි. එතැන ඇත්තේ පාර හරස් කර ලබන බලයට ද වඩා ඔළු ගෙඩි ගණනින් වැඩි ඡන්දයේ බලය ය.

සරසවි ශිෂ්‍යයින් ඉදිරියට ගෙන ජවුසම් නටන අන්තරය ද තවත් එවැනි මාෆියාවකි. ගොවීන් මෙන් ම ඔවුන් රඟන්නේ ද මහ පාරේ ය. පාරේ යන එන අය හැකිතාක් රස්තියාදු කර තමන්ගේ ඉල්ලීම් ලබා ගැනීම ඔවුන්ගේ උපාය මාර්ගය ය.

මේ සියල්ල ඉක්මවන මාෆියාව දේශපාලන මාෆියාව ය. නීතිය යනු තමන් යැයි ඔවුන්ගේ කල්පනාව ය. නීතිය ක්‍රියාත්මක කරන ආයතන ක්‍රියාත්මක කළ යුත්තේ තමන් නීතිය යැයි හඟින දේ බව ඔවුන්ගේ විශ්වාසය ය. බලය නමැති කන්දේ මුදුන අරක්ගෙන ඉන්නේ ඔවුන් ය. ඇතැම් අවස්ථාවල සෙසු මාෆියාවල් තිරය පිටුපස සිට මෙහෙයවන්නේ ද ඔවුන් ය.

උනුන් අතර අශුද්ධ සන්ධානයන්

මේ මාෆියා අතර අශුද්ධ සන්ධානයන් ද රාශියකි. කුඩු ගෙන්වන මාෆියා මෙහෙයවන්නන්ට ආශිර්වාද කරනු ලබන අය අතර පොලීසියේ මාෆියා ද දේශපාලන මාෆියා ද පමණක් නොව සිවුරු හා පූජක මාෆියා ද ඉන්නා බව සමහරුන්ගේ මතය ය. කුඩු සල්ලි මේ මාෆියාවලට අවශ්‍ය අරමුදල් සඳහා ද යෙදවෙන බව තව සමහරුන්ගේ අදහස ය.

මේ මාෆියා තනි තනිවත් එකමුතුවත් හිරිහැර කරන්නේ රටේ අහිංසක ජනතාවට බව අප කීව ද ඔවුන් රටකරවන නායකයන්ට ද, විශේෂයෙන් මේ මාෆියාවලින් තොර විනය ගරුක රටක් දැකීමට කැමති නායකයන් ට ද, ඇතැම් විට ගෙන එන්නේ අමතර හිසරදයකි.

මේ මාෆියාවල ක්‍රියාකාරිත්වය රටට පැමිණෙන ආයෝජකයන් ද සංචාරකයන් ද බිය වද්දන්නේ ය. ඒ නිසා ම රටේ ආර්ථිකයේ ඉදිරි ගමනට ද ඔවුන්ගෙන් සිදු වන්නේ මිල කළ නොහැකි තරමේ හානියකි. එහි අනිටු ප්‍රතිඵල ද අවසානයේ වැඩිපුරම භුක්ති විඳීමට සිදු වන්නේ ද රටේ අහිංසක ජනතාවට ම ය.

මේ මාෆියාවන් වර්ධනය වන්නේ බොහෝ විට ඒකාධිකාරීත්වයක් පවතින විට ය. ඛනිජ තෙල් පිළිබඳ සියයට අනූවක් පාලනය කරන්නේ ඛණිජ තෙල් සංස්ථාවෙන් වූ විට මාෆියාවක් ඇති කර ගැනීමට එහි සේවකයන්ට පමණක් නොව පාලකයන්ට ද හැකි ය. දුප්පත් මිනිසකුට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට රජයේ රෝහලකට ම යෑමට සිදු වන විට එතැන ද ඇත්තේ ඒකාධීකාරි වතාවරණයකි. සෞඛ්‍ය සේවා මාෆියා හැදෙන්නේ ඒ පසුබිමේ ය. ජාතික සෞඛ්‍ය රක්ෂණයක් හඳුන්වා දි ඇති රටවල මේ තත්වය මේ විදිහට නැත්තේ ඒ නිසා ය.

ඒකාධිකාරයක් තිබීමෙන් සිදුවන්නේ ප්‍රමාණවත් විකල්ප නැති වීම ය. ඒ නිසා ඒකාධීකාරයක් නොමැති තැනක වුව ද විකල්ප නොමැති නම් මාෆියා ෂුවර් ය. පෞද්ගලික බස් හිමියන්ගේ මාෆියාව හැදෙන්නේ එහෙම තැනක ය. ලංගම ප්‍රමාණවත් විකල්පයක් නොවීම තුළ ය.

මේ අවස්ථා දෙකේ දීම තරගකාරිත්වයක් ඇති කිරීම මේ මාෆියාවලින් ගැලවීමට ඇති එක් මඟකි.

හැම තැනකම මේ තරගකාරිත්වය හැදිය නොහැකි ය. උදාහරණයක් ලෙස පොලීසියට තරගකාරී විකල්පයක් හදා ගැනීම අමාරු ය. එවැනි විටක අවශ්‍ය වන්නේ විනිවිදභාවය පවත්වාගෙන යෑම අනිවාර්යය කිරීම ය. පොලීසිය විසින් කරන ලද හා නොකරන ලද කටයුතු පිළිබඳ වාර්ෂික වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වැනි අමතර කටයුතු සංවිධානය කිරීම ය.

නීතිය සියල්ලන්ට ම එක සේ ක්‍රියාත්මක වන රටක් බිහි කිරීම ද මේ සඳහා අවශ්‍ය පූර්ව කොන්දේසියක් වන්නේ ය.

මේ මාෆියා ක්‍රියාකාරිත්වය මෙල්ල කිරීමේ විශාල කාර්යයභාරයක් කළ හැක්කේ මාධ්‍යවලට ය. අවාසනාවට මාධ්‍ය ද ඇතැම් විට ක්‍රියාකරන්නේ මාෆියාවක් ලෙස ය.

මෙල්ල කිරීමේ මග

ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාලාවලට විශාල ඉල්ලුමක් ඇති ව තිබේ. එහෙත් මේ වන විට ඒවා ද මාෆියා කණ්ඩායම් තමන්ගේ මත ප්‍රචාරණය සඳහා යොදාගෙන ඇති තත්වයක් යටතේ මේ මාෆියා කණ්ඩායම් අනාවරණය කර මෙල්ල කිරීමේ කටයුත්ත තවදුරටත් දුෂ්කර ව තිබේ.

මේ මාෆියාවන් මෙල්ල කිරීම සඳහා වඩාත් අවශ්‍ය වන්නේ ජනතාවගේ සක්‍රීය සහභාගිත්වය යි. ඒ සඳහා මාෆියාවන් අනාවරණය කිරීමට ඉදිරිපත් වන මිනිසුන් වඩ වඩාත් ඇති වීම අවශ්‍ය ය. මාෆියාවකට තනි මිනිසකු මෙල්ල කිරිම පහසු ය. එහෙත් විරුද්ධතාවය පළ වන පිරිස වැඩි වන විට ඔවුන්ට අකුලාගෙන පල්ලම් බැසීමට සිදු වන්නේ ය.

මාෆියාවන් අනාවරණය සඳහා උපයෝගී කරගත හැකි එක මෙවලමක් නම් තොරතුරු දැන ගැනීමේ පනත ය. එහෙත් තවමත් මිනිසුන් එයින් ඒ තරමටම ප්‍රයෝජන ගන්නා බවක් පෙනෙන්නේ නැත.

වාසුදේව නානායක්කාර මහතා එළවළු හා හාල් මිල සම්බන්ධයෙන් කිව් කතාව ද අපට කළ හැකි අනෙකුත් දේ පිළිබඳ ඉඟියක් සපයයි. ඒ නිසා ම එහි දේශපාලන බර හැර විමසා දැන ගැනීම අපට වැදගත් ය. ඔහු යෝජනා කරන උපාය මාර්ගය නම් මාෆියාව දණ ගැස්වීම සඳහා ඔවුන්ගේ සේවා, නිෂ්පාදන වර්ජනය කිරීම ය. එය ඇතැම් මාෆියා සම්බන්ධයෙන් කළ හැකි ය. උදාහරණයක් ලෙස යම් මාධ්‍යයක් එලෙස හැසිරෙන්නේ නම් අපට එවැන්නක් වර්ජනය කළ හැකි ය. එහෙත් අවාසනාවකට විකල්ප නැති තැනක දී අපට ඒ උපාය මාර්ගයෙන් වැඩක් ගත නොහැකි ය. කැරට් ගණන් නම් අපට බණ්ඩක්කා කත හැකි ය. එහෙත් හාල් ගණන් ගියා කියා හාල් වර්ජනය කර කන්නට තිබෙන්නේ පාන් පමණ ය. එය මත්පැන් බොනවාට ද වඩා මාරාන්තික විය හැකි යැයි දොස්තරවරුන් ම කියන වාතාවරණයක එය විකල්පයක් ලෙස ගැනීමට පෙර දෙවරක් සිතිය යුතු ය. ඒ නිසා ම වර්ජනයට සමාන්තරව විකල්ප නිර්මාණය කර ගැනීම ගැනත් අපේ අවධානය යොමු විය යුතු ය.

බස් මාෆියාව මිනිසුන් වර්ජනය කළේ ත්‍රී වීලර්වලට ද ඌබර්,පික් මී වැනි කැබ්රථ ජාලයන් ද තෝරා ගනිමිනි. ඒවා ද ප්‍රමාණවත් විකල්පයන් නොවුණු කල තමන්ගේ ම වාහන ගැනීමට මිනිසුන් තල්ලු විය. එහෙත් අවසානයේ සිදු වූයේ මහාමාර්ග කෙළවරක් නැති වාහන පෝලිම්වලින් වැසී යෑම ය. කිසිවකුටවත් ඉක්මණින් යෑමට නොහැකි වීම ය. කොට කොට ගිය බස් එකක් වෙනුවට කොට කොට යන තමන්ගේ ම රථයක් මිනිසුන්ට ලැබීම ය. ඒ නිසා විකල්ප හැම විටම හොඳ නැත. බලාපොරොත්තු ප්‍රතිඵල ඇති කරන්නේ නැත.මාෆියා සියල්ල දණ ගැස්විය යුතු ය. එය කළ හැක්කේ ඒවා හඳුනා ගන්නා ජනතාවට ය. ඒවා වැඩි දෙනකු හඳුනාගත් තරමට වැඩේ පහසු ය. රට කරවන නායකයන්ට ද යමක් කළ හැක්කේ එවැනි ජනතාවකගේ අනුග්‍රහය ලැබුණොත් පමණ ය.

නව අදහස දක්වන්න