විග්නේෂ්වරන්ගේ ප්‍රශ්නයට වසර 20කට පෙර පිළිතුරු දුන් එල්ලාවල හාමුදුරුවෝ | දිනමිණ


 

විග්නේෂ්වරන්ගේ ප්‍රශ්නයට වසර 20කට පෙර පිළිතුරු දුන් එල්ලාවල හාමුදුරුවෝ

(පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද නාහිමියන් රුහුණු විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය හා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයෙන් ගරු සම්මාන ලැබීම නිමිත්තෙනි)

උතුරේ හිටපු මහ ඇමැති විග්නේෂ්වරන් මහතා උතුරු නැගෙනහිර බෞද්ධ ඉතිහාසයක් නැති බව මෑතකදී කළ ප්‍රකාශය සමාජයේ මේ වනවිට මහත් ආන්දෝලනයට ලක්ව ඇත. නමුත් ඔහු අද ‍නගන මෙම ප්‍රශ්නයට පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද නාහිමියන් ලිඛිතවම පිළිතුරු සපයා ඇත්තේ මීට වසර 20කට පමණ පෙරදීය. ඒ “පාචීන පස්ස උත්තර පස්ස” හෙවත් නැගෙනහිර පළාතේ හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය කෘතියෙනි. එම කෘතිය ට 2003 වසරේදී රාජ්‍ය සම්මාන පවා ලැබිණ. උතුරු නැගෙනහිර සත්‍ය ඉතිහාසය මෙම කෘතියෙන් පෙන්වා ඇත්තේ පුරාවිද්‍යා සාධක සහිතවය. එය කිසිවෙකුට ඛණ්ඩනය කළ නොහැකි සත්‍යයකි. මෙම කෘතියේ ඉංග්‍රීසි පිටපත එංගලන්තයේ දී කියවූ එකල එල්.ටී.ටී.ඊ.යේ න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් එල්ලාවල නාහිමියන් පිළිබඳ එල්.ටී.ටී.ඊ යට දැනුම් දීමෙන් පසු උන්වහන්සේ ගේ නම ඔවුන්ගේ ඝාතන ලැයිස්තුවට එක් කළ බව එකල ප්‍රසිද්ධ වූ කාරණයකි. එබැවින් අද විග්නේෂ්වරන් නගන පැනයට පිළිතුරු ඇත්තේ එම කෘතියේ බව විශේෂයෙන් පැවසිය යුතුය. එයට පිළිතුරු දිය යුත්තේ එවැනි ශාස්ත්‍රීය ආකාරයට මිස මාධ්‍ය හමු පවත්වා බැණ අඬගසමින් නොවන බව කවුරුත් සිහියට ගතයුතුව ඇතැයි සිතමි.

“මම උතුරු නැගෙනහිර ඇතුළු මේ රටේ අස්සක් මුල්ලක් නෑරම පුරාවිද්‍යා ගවේෂණ කර තිබෙනවා. ත්‍රස්තවාදී සමයේදීත් මම උතුරේ ගවේෂණය කළා. අපේ දැයේ උරුමය මහ පො‍ළවෙන් වැසීයෑමට නොදී එය මතුකරන්න මම ජීවිතයම කැපකළා. ඒ සොයා ගැනීම් ගැන හිතනවිට සතුටක් වගේම ඒ බොහෝ ඓතිහාසික ස්ථාන අද වනවිට වැනසී යෑම ගැන කනගාටුවකුත් ඇතිවෙනවා.”

පුරාවිද්‍යා චක්‍රවර්තී සාහිත්‍ය සූරී (D Lit) ආචාර්ය එල්ලාවල මේධානන්ද නාහිමියන් තමන් වහන්සේ වසර ගණනාවක් කළ පුරාවිද්‍යා ගවේෂණ පිළිබඳව හඬ අවදි කළේ එලෙසය.

උතුරේ යුද්ධය ආරම්භවීමට පෙරත්, යුද්ධ සමයේත්, යුද්ධයෙන් පසුවත් උන්වහන්සේ උතුරු නැගෙනහිර ගවේෂණ කරමින් වැළලී යමින් තිබූ ජාතියේ උරුමය මතුකරලීමට මහත් වෙහෙසක් ගත්හ. ඒ සමහර අවස්ථාවලදී උන්වහන්සේ විවිධ තර්ජනවලට ලක්වූ අවස්ථාද වෙති. වරක් පුරාවිද්‍යා ගවේෂණයකට ගොස් නැගෙනහිර කොස්ගොල්ලේ අතරමංවූ එල්ලාවල හිමියන් සිය පාපැදියේ හිඳුවාගෙන මනුස්ස ජනවාසයකට ගෙනවිත් දමා ඇත්තේ පිල්ලුමලේ එල්.ටී.ටී.ඊ. කඳවුරේ ත්‍රස්තවාදී නායකයා විසිනි. එල්.ටී.ටී.ඊ. සංවිධානය ඉදිරිපත් කළ දෙමළ නිජබිම් සංකල්පය බිඳ දැමීම සඳහා එල්ලාවල මේධානන්ද නා හිමියෝ පුරාවිද්‍යා සාධක සහිතව හඬ නැඟූහ. එපමණක් නොව එම සංකල්පය මිත්‍යාවක් බව පුරාවිද්‍යාත්මක ලිඛිත සාධක සහිතව ඔප්පු කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට දිගු සංදේශයක් ඉදිරිපත් කළේ ද මේධානන්ද නා හිමියන් විසිනි. එසේම පාර්ලිමේන්තුවේදී දෙමළ සංධානයේ මන්ත්‍රීවරු නිජබිම් සංකල්පය සඳහා කණ්ඩායම් පිටින් හඬ නගද්දි එය අසත්‍යක් බව තනිවම ඔප්පු කර පෙන්වූයේ මේධානන්ද නාහිමියන් විසිනි.

ජාතික සංඝ සම්මේලනයේ සභාපතිත්වය දරමින් සමස්ත භික්ෂු සංඝයාට නායකත්වය දුන් මේධානන්ද හිමියෝ එමගින් රටේ දේශපාලන නායකත්වය ගමන්කළ යුතු දිසාව නොබියව පෙන්වූහ. කිසිදු දේශපාලන පක්ෂයකට ගැතිනොවුණුඋන්වහන්සේ කවර ගණයේ නායකයකුට වුවද කිවයුත්ත කියා සිටියා පමණක් නොව රට ගැන නැඟීමෙන් කටයුතු කරන ඕනෑම නායකයකුට සිය ආශිර්වාදය පළ කළහ. ජාතික හෙළ උරුමයේ නායකත්වය දරමින් ර‍ටේ දේශපාලන ගමන්ම‍ඟේ නව මාවතක් විවර කළ මේධානන්ද නාහිමියන් ඒ භික්ෂු බලවේගය තුළින් රටේ නව පුනර්ජීවනයක් ඇති කිරීමට සමත්වූහ. භික්ෂූන්වහන්සේලා පාර්ලිමේන්තුවට පිවිසීම ගැන එදත් අදත් විවිධ විවේචන තිබුණත් උතුරේ දෙමළ නිජබිම් සංකල්පය ගැන කරුණු දැනගෙන පුරාවිද්‍යාත්මක සාධක සහිතව ඒ මතවාදය බිඳලීමට එදා පාර්ලිමේන්තුව තුළ මේධානන්ද නාහිමියන් සිටීම ජාතියේ වාසනාවකි.

උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ පුරාවිද්‍යා ස්ථාන සියයට 99 ක්ම උන්වහන්සේ ගවේෂණය කර ඇත. එසේම කිසිවකු සොයා නොගත් සෙල්ලිපි 500කට අධික සංඛ්‍යාවක් සොයා ගැනීමට උන්වහන්සේ සමත්වූහ. පුරවිද්‍යා දෙපාර්තමේන්තුවට වසර 100ක් සපිරීම නිමිත්තෙන් පැවැති රාජ්‍ය උත්සවයේදී නාහිමියෝ පුරාවිද්‍යා චක්‍රවර්තී රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබූහ. දේශනේතෘ රාජ්‍ය සම්මානයෙන්ද නාහිමියෝ තවත් වරෙක පිදුම් ලදහ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් නාහිමියන් පිදුම් ලැබුවේ සාහිත්‍ය සූරී උපාධියෙනි. සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ මහනාහිමි ප්‍රධාන සංඝ සභාව විසින් පුරාවිද්‍යා පර්යේෂණ ශූරී සම්මානය ප්‍රදානය කළ අතර තවත් සංඝ සභා කීපයකින් හා තවත් විවිධ සංවිධාන අමාත්‍යාංශවලින් සම්මාන 50කට අධික සංඛ්‍යාවකින් නාහිමියෝ පිදුම් ලබා සිටින්නේ අපේ ජාතියේ උරුමය සොයා ගැනීම සඳහා උන්වහන්සේ කර ඇති උත්කෘෂ්ට මෙහෙවර උදෙසාය. මෑතකදී උන් වහන්සේ පිදුම් ලද්දේ රුහුණු විශ්වවිද්‍යාලයෙන් හා සමස්ත ලංකා බෞද්ධ මහ සම්මේලනයෙනි.

බදුල්ල ධර්මදූත විද්‍යාලයෙන් ගුරු සේවාවට පිවිසි නාහිමියෝ පාසල් ගණනාවක විදුහල්පති වශයෙන්ද සේවය කර ශ්‍රී ජයවර්ධනපුර හා කැලණිය විශ්වවිද්‍යාලවල කථිකාචාර්යවරයකු ලෙසද සේවය කළහ. විශ්වවිද්‍යාලයේ සේවය කරමින් සිටියදී කථිකාචාර්ය පදවිය අත්හැර යළිදු උඩුවක මහ විදුහලේ විදුහල්පති ධුරය බාරගැනීමට උන්වහන්සේට සිදුවූයේ එම විදුහල අභාවයට යාම වළක්වාලීම සඳහාය. ඒ එවකට ඇහැලියගොඩ මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතාගේ ඉල්ලීමකට අනුවය. පසුව සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ හා නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ධුරද උන්වහන්සේ හෙබවූහ. මහවංශ සම්පාදක මණ්ඩලයේ හා පුරාවිද්‍යා උපදේශක මණ්ඩලයේද සාමාජිකත්වය දරමින් නාහිමියෝ කළ මෙහෙවර අපමණය.

මාගම රාජධානිය, ස්වර්ණ මයුර සංදේශය, උතුරු නැගෙනහිර වනගත බොදු උරුමය, අප්‍රකට බ්‍රා‍හ්මී ලෙන් ලිපි ආදී ග්‍රන්ථ 50කට අධික සංඛ්‍යාවක් මේධානන්ද නාහිමියන් මේවනවිට ලියා ඇත. පන්සලේ කාමරයට වී පැරණි පොත් බලමින් ගවේෂණ වාර්තා සකස් නොකළ උන්වහන්සේ ජීවිත තර්ජන පවා නොතකා, හරිහැටි දානයවත් නොලබා දින ගණන් මහ වනාන්තරවල ගවේෂණ කළේ ජාතියේ උරුමය අනාගත පරපුරට සුරක්ෂිත කරදීම සඳහා ය. ගෙනගිය ආහාර අවසන්වී දින දෙක තුන මහ වනාන්තරවල ගස්වල ගෙඩි හා කොළ ආහාරයට ගනිමින් උන්වහන්සේ කර ඇති ඒ කැපවීම මේ රටේ කිසිදු පුරාවිද්‍යාඥයකු කර ඇතැයි සිතිය නොහැක. වරෙක මහ වනයේ දී දැවැන්ත වලසෙකුගේ ග්‍රහණයට හසුවීමට ගොස් යාන්තමින් දිවි ගලවා ගත් මේධානන්ද නාහිමියෝ තවත් වරෙක ශිලා ලේඛනයක් කියවීමට ගලක්මුදුනට නැග ආපසු වැලක එල්ලී බසිද්දී කොටියකුගේ පිටට පය තැබීමට ගොස් යාන්තමින් බේරුණේ ජාතියේ වාසනාවටය.

නාහිමියන්ගේ බොහෝ පුරාවිද්‍යා ගවේෂණවලදී යුද හමුදාවේ හා පොලිස් නිලධාරීන්ගේ සම්පූර්ණ සහය ලැබිණ. ඒ බො‍හෝ ගවේෂණවලදී වත්මන් ජනාධිපති එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් නාහිමියන්ට ලැබුණේ ඉමහත් සහයකි. හමුදා සෙබළුන් මහ ගල්කුළු පාමුල සිටිය දී සෙල්ලිපි සොයා උන්වහන්සේ වැල්වල එල්ලී එම ගල් මුදුන්වලට නගින ආකාරය දැක සෙබළු පුදුමයට පත්වූහ. වරක් එලෙස ගල් මුදුනකට නගිද්දී වැලක් කැඩී නාහිමියන් ගල්කුහරයකට වැටී ජීවිතය බේරුණේ වාසනාවකටය. කායිකව දුර්වල අවස්ථාවලදී වුවත් උන්වහන්සේ සිය සිත ධෛර්යමත් කරගෙන මහවනයේ පුරාවිද්‍යා ගවේෂණ කළ අයුරු අපට සිහිපත් වේ. වරක් බලංගොඩ කිරිමකුළුගොල්ල නමැති කන්දක සෙල්ලිපි කීපයක් ගවේෂණය කිරීමට උන්වහන්සේ සමඟ කොළඹ සම්බෝධි විහාරාධිපති දරණාගම කුසලධම්ම හිමි හා මම සහභාගි වුණෙමු. එහිදී කඳු මුදුණේදී වෙහෙස නිසා නාහිමියන් එකවරම ක්ලාන්තව ඇදවැටුණු අතර කැලයෙන් ජලය සොයාගෙන විත් නාහිමියන්ට ඉස යථා තත්ත්වයට ගත් පසු නැවත පෙර පරිදිම කඳු මුදුනට ගියේ සිය ගවේෂණය අවසන් කිරීම සඳහා ය.

දැනට වසරකට පමණ පෙර නාහිමියන් ගල්ගමුවේ ‍තෝරමයිලෑව මහ වනයේ පුරාවිද්‍යා ගවේෂණයකට ගොස් රෑබෝවී ආපසු ඒමට සූදානම් වුවත් නැවත ඒමට පාර නොදැන සිටීම නිසා මහත් අකරතැබ්බයකට මුහුණ පෑහ. වනයේ සිටම උන්වහන්සේ සිය දුරකතනයෙන් අප වෙත සිද්ධිය දැනුම්දීමෙන් පසු පොලිසිය හරහා උන්වහන්සේ සිටින ඉසව්ව සෙව්වත් නාහිමියන්ට එදින රාත්‍රිය ගතකිරීමට සිදුවූයේ අලි ගහණ කැලයේ ගලක් මුදුණේ සැතපීමෙනි. මෙවන් සිද්ධීන් නාහිමි ජීවි‍තයේ අපමණය. එහෙත් ඒ කිසිවකින් අධෛර්යමත් නොවී ජාතිය වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකම උන්වහන්සේ ඉටුකළහ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගතකළ දසවසරක කාලය තුළදී උන්වහන්සේ කිසිදු රාජ්‍ය වරප්‍රසාදයක් නොගත් බව දන්නේ සුළු පිරිසකි. අඩුම තරමින් උන්වහන්සේ සිය මන්ත්‍රි වැටුප පවා පෞද්ගලික ප්‍රයෝජනයට නොගත්හ. ඒ මුදල් වැය කළේ උතුරු නැගෙනහිර ඇතුළු දුෂ්කර ප්‍රදේශවල හරිහැටි දානය පවා නොලැබෙන සිවුරක් පවා නොලැබෙන ස්වාමින් වහන්සේලාට දානයට හාල් පිරිකර මිලදී ගෙන දීමටත් සිවුරු ආදිය මිලදී ගෙන දීමටත්ය. අදත් ඒ ප්‍රදේශවල හිමිවරුන් පින්දීමෙන් එය සිහිපත් කරති. සමහර හිමිවරුන් ‍ෙකාළඹ බෞද්ධයන් නිවන් යැවීමටම වෙහෙසෙද්දී නාහිමියෝ දුෂ්කර ප්‍රදේශවල හිමිවරුන් ජීවත්කරවීමට වෙහෙසුණහ. අපේ බො‍හෝ බෞද්ධයන්ද ඇති තැනටම සිය දහස් ගණන් සිවුරු පූජා කරද්දී මේධානන්ද නාහිමියන් සිය වැටුපෙන් දුෂ්කර ප්‍රදේශවල හිමිවරුන් පෙරවන ඉරීගිය සිවුරු වෙනුවට සිවුරු මිලදී ගෙනදුන්හ. එපමණකින් නොනැවතුණු උන්වහන්සේ විල්පනාකුලම, ගොමදියාගාල, කුකුළෑව, මයිලෑව, කඳහිඳගම, කන්දමලාව, පුලිකන්ඩිකුලම, තෙප්පන්කුලම ආදී අතිදුෂ්කර ප්‍රදේශවල පාසල් සිසුන්ට බැංකු ගිණුම් ආරම්භ කර ශිෂ්‍යාධාර මුදල් තැන්පත් කරදුන්හ. ඒ සඳහා උත්සව හෝ මාධ්‍ය ආවරණ නොවිය. මාසිකව ඒ වැඩපිළිවෙළ දියත් කළහ. මෙහි විශේෂත්වය වන්නේ සිංහල දරුවන් වගේම දෙමළ මුස්ලිම් දරුවන්ද උන්වහන්සේගේ මේ ශිෂ්‍යාධාර ලැබීමය.

එල්.ටී.ටී.ඊ.යේ දෙමළ නිජබිම් සංකල්පය සාධක සහිතව බිඳ දැමීම නිසාත් පාර්ලිමේන්තුවේදී මෙන්ම පිටතදීත් ත්‍රස්තවාදීන්ට එරෙහි හඬ නැඟීම නිසාත් උන්වහන්සේට වරින් වර එල්ලවූ තර්ජන අපමණ ය. ඒ කිසිදු කාර්යයකින් නාහිමියන් ආපස්සට නොගියහ. ජාතිය වෙනුවෙන් සිය යුතුකම නොබියව ඉටුකළහ. එල්ලාවල මේධානන්ද නාහිමියන් එදා සමාජය පිබිදවීම සඳහා කළ කාර්යයන් අද ඇතැමෙකුට අමතක වී ගොසිනි. ජාතික ව්‍යාපාරයට නායකත්වය දුන් උන්වහන්සේ අද වයෝවෘද්ධ ව පසුවූවත් උන්වහන්සේ අද වේදිකාවල දක්නට නැති අඩුව පිරිමසාලීමට කිසිවෙකුට හැකිවී නොමැත. ඉතිහාසය, ඓතිහාසික තොරතුරු, සාධක සහිතව දේශන අද ඇසෙන්නේ නැතිතරම් ය. ඒ මේධානන්ද නාහිමියන් වේදිකාවේ නැති අඩුව නිසාය. පසුගිය දිනවල රෝහලේ ගිලන්ව සිටිය දී පවා උන්වහන්සේ අප සමඟ පැවසුවේ රට අද මුහුණපා සිටින අර්බුදකාරී තත්ත්වයෙන් මිදීමට නම් එඩිතර නායකයකු රටට අවශ්‍ය බවය. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වුවහොත් රටේ උරුමයත් රැකගෙන, සිංහල දෙමළ, මුස්ලිම් සැමට සමගියෙන් සිටිය හැකි රටක් බිහිවන බව උන්වහන්සේ අවධාරණය කළහ. එදා උන්වහන්සේ ගවේෂණ කළ බොහෝ ඓතිහාසික ස්ථාන පසුගිය අවුරුදු හතර තුළදී පොළවට සමතලා කර තිබීම ගැන නාහිමියන්ට ඇත්තේ මහත් සංවේගයකි. එම ස්ථාන රැකගැනීමට වැඩපිළිවෙළක අවශ්‍යතාවයද උන්වහන්සේ ජනාධිපතිතුමන්ගේ අවධානයට ලක්කර තිබේ.

රටට ණය නැති, රට වෙනුවෙන් ඓතිහාසික සේවාවක් සිදුකළ එල්ලාවල නාහිමියන්ට ඉතා ඉක්මනින් නිදුක් නිරෝගී සුව ලැබී ජාතියේ උරුමය රැකගැනීමට කරන කාර්යයන් තව තවත් ශක්තිමත්ව කරගැනීමට දළදා සමිදුගේ පිහිට ලැබේවායි පතමු.

ධර්ම ශ්‍රී තිලකවර්ධන “ලක්බිම” හිටපු ප්‍රධාන උප කර්තෘ

නව අදහස දක්වන්න