අප මේ සමරන්නේසැබෑ ජුබිලයක්ද? | දිනමිණ


 

අප මේ සමරන්නේසැබෑ ජුබිලයක්ද?

දේවස්ථාන හා කිතුනු දහම පිළිබඳ කතා කිරීමේදී, ජුබිලි පැවැත්වීම සභා දූත සේවාවේ ප්‍රධාන අංගයන් බවට පත්වෙමින් තිබේ. එහෙත් මේ ජුබිලිය යන පදය සිංහල භාෂාවේ සාමාන්‍යයෙන් එන පදයක් නොවේ. එය ශුද්ධ බයිබලයේ සටහන්ව ඇති යථාර්ථයකි. නීති රීති මාලාවකි. සමාජ දැක්ම පිළිබිඹු වන විමුක්ති වැඩ පිළිවෙළකි.

පද විග්‍රහය

ජුබිලිය යන වචනය සිංහල භාෂාවට එකතු වී ඇත්තේ හේබ්‍රෙව් භාෂාවෙන්ය. ජුබිලිය යන පදය ගලා එන්නේ ‘යොබෙල්’ යන පදය හරහාය. බැටළුවා හෝ බැටළුවාගේ හොරණෑව යන අර්ථය ඉන් ලබා දෙයි. එහි ලතින් පදය ආශ්‍රිත සැකසී ඇති අර්ථය වනුයේ ‘ප්‍රශංසාවේ හඬක් නැඟීම’ය.

පුරාණ ගිවිසුමේ චින්තනය

ශුද්ධවූ බයිබලීය චින්තනය අනුව ලෙවී කතාවේ විසිපස්වන පරිච්ඡේදය තුළ සබත, සබත් වසර හා ජුබිලි වසර සම්බන්ධයෙන් ජුදා නීතියේ ප්‍රතිපාදන අඩංගුය. ජුදා සමාජය තුළ පවතින සමාජ නීතියේ දැක්වෙන සමාජ ආර්ථික සමබරතාව රැකගැනීමට කරන උත්සාහයක් වශයෙන් එය දිස්වේ. බැලූ බැල්මට ඉතා රැඩිකල්වාදී ස්වරූපයක් මේ ජුබිලි නීතිය හරහා පිළිබිඹු වෙයි. ජනතාව අතර විශාල ආර්ථික පරතරයකට යෑමට ඇති ඉඩකඩ මේ ජුබිලි නීති මඟින් වලකා ඇත.

ජුදා ලිත අනුව හත්වන දිනය, සබත් දිනය වේ. එය දෙවියන්ට නමස්කාර කිරීමට වෙන්කර ඇති දිනයකි. හත්වන වසර, සබත් වසර ලෙස නම් කර ඇත. (ලෙවී 25:2-7). එය නිවාඩු ගන්නා වසරකි. අද මෙය ලෝක ව්‍යවාහරය තුළද දක්නට ඇත. සබත් වසර හත් වරක් ගත් විට එය එනම් එළැඹෙන 49වන වසර, සබත් වසරක් වන හෙයින් එම වසරට අදාළ නීතිය ක්‍රියාත්මක වෙයි. තවද 49වන වසරේ සිට 50 වන වසර ජුබිලි වසර වශයෙන් සැලකෙයි. එය ශුද්ධවු වසරකි. දේව ආශිර්වාදයෙන් පිරෙන වසරකි.

ඉහත සඳහන් පුරාණ ගිවිසුමේ ලෙවී කතාවේ සටහන්ව ඇති නීති ක්‍රියාත්මක කිරීමේදී වැදගත් වන සංකල්පය වන්නේ ජුබිලිය යනු නිදහස ලැබෙන වසරක් වශයෙන් සැලකීමය. ජුදා විශේෂඥයන්ගේ මතය වන්නේ මෙය සබත් වසරේ පවතින නිර්දේශ ඉදිරියට ගෙන යාමක් වශයෙන් පිළිගැනීමකි.

වහලුන්ට නිදහස

පුරාණ ගිවිසුමේ ජනතාව දුගී බවට පත්වන විට වහල් සේවයට බැඳෙන්නේ ජීවිතය සුරක්ෂික කරගනු සඳහාය. මෙකී ජුබිලි වසරේදී වහල් සේවයේ නිරත වන අයට නිදහස ලැබේ. තමන්ගේ ස්වාමියාගෙන් වෙන්ව තම මුල් පවුල වෙත යාමට ඔවුනට එයින් අවස්ථාව උදා වෙයි. වහලුන්ට කිසිඳු අයිතිවාසිකමක් නැත. තම ස්වාමියා ගමනක් ගොස් ගෙට ඇතුළු වන විට ගේ දොරකඩ සිට ඔහුගේ පාද සේදීම වහල් පුද්ගලයාගේ වගකීමකි. ජුබිලි වසරෙන් පසුව තමනට අලුත් ස්වාමියෙක් වෙත යාමටද නිදහස ලැබේ.

ඉඩම් ප්‍රතිපත්තිය

තවද මේ ජුබිලි වසර කාලය තුළ ඉඩම් වගා නොකරනු ඇත. එසේ කරන්නට එම නීතියේ ආයාචනා කරනුයේ වගාකරුවන් යොදා ගන්නා පොළොවේ පස්වල ඇති සාරවත් බව සුරැකීම සඳහාය. වගා පිළිබඳ කරුණුවලදී එය අනාගතය ඉලක්ක කර ගෙන ඇති ඉල්ලීමකි.

එසේම කෙනකුට අලුතෙන් ඉඩමක් මිලදී ගැනීමට හැකියාව ඇත්තේද ඉදිරියට එන ජුබිලි වසර දක්වා පමණි. ඉඩම්වල වටිනාකම්ද අඩු වැඩි වන්නේද ජුබිලි වසර ඉලක්ක කරගෙනය. ජුබිලියෙන් පසුව උදාවන පළමු වසරේ කෙනෙක් ඉඩමක් ගන්නේ නම් එහි හතළිස් නව වසරක අයිතිය ඇතිවන හෙයින් වටිනාකම් වැඩි වෙයි. එසේම ජුබිලි වසරට ඇත්තේ එක් වසරක් හෝ දෙකක් නම් එහි ඇති වටිනාකම ඉතාම අල්ප වෙයි. මේ අනුව ජුබිලියේදී එම ඉඩම මුල් අයිතිකරුට යළි ලැබෙන අතර ජුබිලි වසරෙන් පසුව නැවත බඳුදීමට අයිතිකරුට හැකි වෙයි. ඒ අනුව ඉතා ධනවත් ඉඩම් හිමි පරපුරක් ගොඩ නැඟෙන්නේ නැත. මේ ජුබිලි නීති ප්‍රතිපාදන සැකසීමට මුලික ප්‍රතිපත්තිය නම් මැවිල්ලේ සෑම ඉඩමක් මූලික අයිතිකරු වන්නේ දෙවියන් වහන්සේ වන නිසාය. එනම් මිනිසා එහි අයිතිකරු නොව, එම ඉඩමේ භාරකරු පමණි.

ණය බරෙන් හා සිරගතවීමෙන් නිදහස

එසේම ආර්ථික වශයෙන් ජුබිලි වසරේදී ණය ගත් අයට නිදහස ලැබේ. සිරකරුවන්ටද එසේම නිදහස ලබා දෙන වසරක් වශයෙන්ද සැලකිය හැකිය. මේ අනුව සමස්තයක් වශයෙන් ගත් විට ජුබිලිය නිදහස් කිරීමේ වසරකි. මහා ජනතාවට මහත් අස්වැසිල්ලක් ලබා දෙන නිදහස උදා කරන ව්‍යාපාරයකි. මෙවන් නීති, ලෙවී පොතේ සඳහන් වුවත් ඉඩම් ප්‍රතිපත්තිය දිගින් දිගටම ක්‍රියාත්මක වූයේද යන්න සැක සහිතය. ශුද්ධ බයිබලය අනුව ජුබිලි වසර උදා වන්නේ වසර පනහෙන් පනහටය. එනම් 50, 100, 150, 200 ආදිය වශයෙන් සංවස්තර ජුබිලිය ගිණිය හැකිද යන්න ගැටළුවකි.

නූතන සභා සම්ප්‍රදාය තුළ ජුබිලි ගැන තතු විමසීම

එහෙත් නූතනයේ සභා සම්ප්‍රදාය තුළ මේ පනස්වන වසරට අමතරව විසි පස්වන සංවස්තරය, (රිදී ජුබිලිය) හැටවන සංවස්තරය (දියමන්ති ජුබිලිය), මෙන්ම හැත්තෑ පස්වන සංවස්තර ආදිය ජුබිලි වශයෙන් පැවැත්වීම නූතන සභාව තුළ දක්නට ලැබේ. බයිබලීය සංකල්පය අනුව එවැනි දේ ගැලපෙන්නේද යන්න මුලින්ම ඇසිය යුතු ප්‍රශ්නයකි. මේ නිසාම ඉහත සඳහන් කළ ජුදා දහම තුළ පිළිබිඹු දර්ශනය කඩා වැටීමක් ඇත. බයිබලීය විස්තරය අඩංගුවී ඇති නිදහස්වීම බාල්දු වී ඇති බවක් පෙන්නුම් කරයි.

පනස්වසර හා සිය වසකට අමතරව වෙනත් සංවස්තර ජුබිලිය යන සංකල්පය ඇතුළු කිරීමෙන් ගොඩ නැඟී ඇත්තේ බාහිර උත්සව පමණක් ශ්‍රීයකට එය පරිවර්ථනය වීමකි. දේවස්ථාන ජුබිලිය අද හුදු බාහිර අලංකාරය සඳහා යොදා ගෙන තිබීමත් ඒවා සීමා ඉක්මවා යන අයුරින් ඉටුවීමත් මෙම බයිබලීය සංකල්පය හා කොතරම් දුරට ගැලපේද යන්න ප්‍රශ්න කළ හැකිය. සමහර විට ජනතාවට නිදහස ලබා දෙනවා වෙනුවට ඔවුනට පීඩනයක් ගෙන දෙන ආකාරයේ පරිත්‍යාග ඉල්ලා සිටීම ඔවුන් නිදහස් කිරීමක් නොව වහල් තත්වයට පත් කිරීමක්ද යන්න සිතා බැලිය යුතුය.

මේ කරුණු සම්බන්ධයෙන් අත්දැකීම් බෙදා ගැනීමට අවසර පතමි. එනම් වසර 1980දී හා 1982දී මම කැලණි මීසමේ සේවයේ යෙදී සිටින විට දේවස්ථාන දෙකක ජුබිලි උත්සව පැවැත්වීමට අවස්ථාව ලැබීමි. එහිදී බයිබලීය සංකල්පය ක්‍රියාත්මක කිරීම සඳහා ආර්ථික වශයෙන් ණය බරව සිටින ජනතාව මුදා ගැනීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන ලදී. ජනතාවගේ නායකත්වයෙන්ම මුදල් එකතු කර ගෙන ණය බර නිසා පීඩනයට ලක්වූ ජනතාවට යම් කිසි සහනයක් ලබා දීමට ගත් එක උත්සාහයක් විය.

එසේම නිවාස නැති ජනයාගේ පීඩනය අවම කිරීමටද උත්සාහයක් විය. තවද එම අවස්ථාවන් දෙකේදීම සිහවටනයක් වශයෙන් ජුබිලි සමරු කලාප බිහිවීමද දක්නට ලැබුණි. එවන් උත්සව පැවැත්වීමේදී දේවස්ථාන අලුත්වැඩියාව කළත් ප්‍රධාන තැන ලබා දුන්නේ ජනතාව වහල්භාවයෙන් මුදා නිදහස් කිරීමේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමටය.

අපගේ යෝජනා

දේවස්ථාන ජුබිලි උත්සව සම්බන්ධයෙන් දේවස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමට මම විරුද්ධ නොවෙමි. එහෙත් ඒවා කළ යුත්තේ ජනතාව පීඩනයට ලක් කරන අයුරින් නොවන බව සටහන් කළ යුතුය. අප ඉහත සඳහන් කළ ආකාරයට ජනතාවට එය බරක් වන්නේ නම්. යෝජිත ප්‍රතිසංස්කරණය් ඔවුන්ට ඔරොත්තු නොදෙන්නේ නම් එහිදී දේව කැමැත්ත කුමක්ද යන්න සිතා බැලිය යුතු නොවේද? ශුද්ධ බයිබලය බෙලහීන ජනතාව වෙනුවෙන් මැදිහත් වන දෙවියන් වහන්සේ කෙනෙක්ව ඉස්මතු කර ඇත.

තවද මේ ජුබිලි උත්සවය ජනතාවට නිදහස ලබා දෙන ව්‍යාපාරයක් විය යුතුය. ජනතාව තුළ තිබෙන වහල්කම්වලින් මුදාලීමට පෙරමුණ ගැනීම ඉතා වැදගත්ය. ජනතාව තුළ පවතින පීඩනයන් අවම කිරීම වෙර දැරීමට ජනතාවගේ පීඩන ගැන සොයා බැලීමකට මාර්ගය සැකසිය යුතුය.

පුරාණ ගිවිසුමේ සටහන්ව ඇති කරුණු එයාකාරයෙන්ම ඉටු කරන්නට නොහැකි වුවත් එයින් ලැබෙන මඟ පෙන්වීම දායක කරගෙන වර්තමානයට ගැලපෙන අයුරින් තීරණය ගැනීම ජනතාව සතු වගකීමකි. ශුද්ධ බයිබලයෙන් ලැබෙන මඟ පෙන්වීම අනුව දේව කැමැත්ත කුමක්ද යන්න ශුද්ධාත්ම මඟපෙන්වීම ලබා ගැනීමට වැදගත් දෙයක් බව සටහන් කිරීමද කරුණකි.

වෙනත් සංවත්සර පැවැත්වීම, ජුබිලිය යන්නෙන් ආරූඪ කර ඇත්නම් එය කළ හැක්තේ ශුද්ධ බයිබලයේ දක්වා ඇති චින්තනයට අනුකූල වන්නේ නම් පමණක් නොවේද? එම නිසා සංවත්සර පවත්වනවාට මම එරෙහි නොවෙමි. එහෙත් ඒ සියල්ල පනස් වසරට අදාළ කරුණු පදනම් කර ගෙන ඉටු විය යුතු නොවේද? විවාහ සංවත්සර හා පූජක සංවත්සර, ජුබිලිය යනුවෙන් හඳුන්වන්නේ නම්, ඊට පෙර ලෙවී කතාවේ විසි පස්වන පරිච්ඡේදය කියවා, දේව කැමැත්ත විමසා ඉටු කිරීමට කටයුතු කිරීම වඩා උචිතය.

රීඩ් ෂෙල්ටන් ප්‍රනාන්දු පියතුමා

නව අදහස දක්වන්න