කේළම්කාරයෝ සහ අඟුරු බලි | දිනමිණ


 

කේළම්කාරයෝ සහ අඟුරු බලි

දර නැති තැන ගින්න නිවෙයි කේළම් නැති තැන දබර නවතියි හිතෝපදේශය 26:20

එය අපූරු උපමාවකි. දර නැති තැන ගින්න නිවෙනවා මෙන්ම කේළම් නැති තැන අඬදබරද නැත. එහෙත් වර්තමාන සමාජයේ අප බොහෝ දෙනා අතින් සිදුවන්නේ කුමක්ද? ගිනි නිවීම වෙනුවට ඇවිලෙන ගින්නට පිදුරු දැමීම නොවේද? ⁣මුහුණු පොතේ තිබුණ එක්තරා හාස්‍යජනක පෝස්ටුවක් මගේ මතකයට එයි. එහි රූප දෙකක් එකට සම්බන්ධ කර තිබිණි. ඉන් උඩ කොටසේ තිබුණේ ජනවාරි පළමු දා එකිනෙකාට ආදරයෙන් සුබ පතා ගන්නා සේවකයන් දදෙනකුගේ ඡායාරූපයකි. දෙවැනි ඡායරූපය සුනඛයන් දෙදෙනෙකු කාගන්නා එකකි. ඊට උඩින් ඉතිරි දවස් තුන්සිය හැටහතර යනුවෙන් සටහන් කර තිබිණි. එය ඉදිරිපත් කර තිබුණේ හාස්‍යජනක පෝස්ටුවක් ලෙස වුවත් එහි කෙතරම් සත්‍යතාවක් ඇත්දැයි මට සිතිණි.

අප එකිනෙකාට මතුපිටින් සුබ පතාගත්තද ඇතුළතින් එකිනෙකාට වල් කණිමින් නම් සිටින්නේ නම් අපගේ සුබ පැතුමේ අර්ථය කුමක්ද? සාමකාමී වාතාවරණයක් පවතින ඇතැම් මොහොතක කාර්යාලය එක්වරම ගිනිගන්නා අවස්ථා ඕනෑ තරම් ඇත. විටෙක අපද, ඒ ගින්නට ගොදුරුවන අවස්ථා ඇත. එසේ වූයේ ඇයිද යන්න විපරම් කරන විට පැහැදිලිව පෙනී යන එක කරුණක් වන්නේ කේළම්ය.

මගේ ඇතැම් අත්දැකීමක් නම් ඇතැමුන් දෙපැත්තටම කේළම් කියනු දැකීමය. දෙපැත්ත මේ පිළිබඳ අවබෝධයකින් නොසිටියහොත් ගිනිගෙන දැවීම වැලැක්වීම අසීරුය. තමා ළඟට කේළම් පවසාගෙන එන පිරිස් පිළිබඳ මුලින්ම සිතිය යුතු වන්නේ මෙයයි. එනම් සුදු පිරුවටයක් සේ ඇති සන්සුන් සාමකාමී සිතෙහි අඟුරු බලි අඳින්නට කෙනකු ඇවිත් තිබෙන බවය. එය තේරුම් ⁣ගෙන කේළම් නොසලකා හරින්නට අප නුවණ මෙහෙයවිය යුතුය.

කේළම යනු පිරිසුදු මිදුලකට වැදෙන බුලත් කෙළපහරක් වැනිය. එතෙක් සතුටු සිතෙන් කාර්යයේ යෙදෙන සේවකයා, කේළම් අසා මහත් වේදනාවට පත්වෙන අවස්ථා ඕනෑ තරම් ඇත. කේළම නිසා ඔහුගේ සැනසීම සතුට නැති වෙනවා සේම, කරමින් සිටි කාර්යයද කරන්නට සිටින කාර්යයන්ද අඩපණ වෙන්නේය. කණස්සල්ලට පත්වන්නේය. ඇතැම් විට පරලව කෑකෝ ගසා ගන්නේය. වෛරය ඇති කරගන්නේය. යම් හෙයකින් මේ කේළම් අසන්නේ ඒවා අදහන ආයතන ප්‍රධානයකු නම් සේවකයන්ට දෙවියන්ගේ පිහිටය.

අනෙක් අතට මේ කේළම් කියන්නන් සහ අසන්නන් යන දෙකොට්ඨාසයම පෞරුෂ අක්‍රමතා ඇති අයය. එවැනි අක්‍රමතා තමන්ට ඇති බව හෝ ඔවුහු නොදනිති. එබැවින් කේළම් නොකියා සිටින්නේ කෙසේද? කේළම් නොඅසා සිටින්නේ කෙසේද යන්න ගැන මනෝ උපදේශනය හෝ ලබන්නට ඔවුන් දැනුවත් වන්නේ නැත. සැබැවින්ම කේළම් නොකිය ඉන්නට තමන්ට නොහැකි නම් ඔහු හෝ ඇය වහා මනෝ උපදේශනය ලැබිය යුතුය. එවිට තමන්ට හොඳ පෞරුෂයකට හිමිකම් කියන්නට පුළුවන් වෙනවා සේම ලෝකයට ගිනි ඇවිලීමෙන් වැලකී සිටිය හැකිය. එවිට බොහෝ ගැටලු ඇතිවීම වැලකෙනු ඇත.

එමෙන්ම නුවණින් කටයුතු කළහොත් කේළම්වලින් ඇවිලෙන්නට නියමිත ගිනි වලක්වන්නට පුළුවන. එසේ වුවද කේළාම්කාරයෝ සිය තැත ලෙහෙසියෙන් අත් නොහරිති. වර්තමානයේ ඔවුහු තාක්ෂණයද ඊට යොදා ගනිති. නිර්නාමික දුරකථන අංකවලින් ඇතමෙක් කෙටි පණිවුඩද එවති. ඒ මඟින් ඔවුන් පෙනී සිටින්නේ අප වෙනුවෙන් බව අඟවති. අවසානයේ බලන විට එවැනි කෙටි පණිවුඩ අනෙක් පාර්ශ්වයටද යවා ඇත. මෙවැනි අය සැබැවින්ම උපදේශකවරයකු හමු වී සිය පෞරුෂ අක්‍රමතා අවම කර ගැනීමට උත්සුක විය යුතුය. එවිට අනෙකා විනාශ කිරීමට යොදාගන්නා වේලාව තමන්ගේ සහ රටේ දියුණුවට යොදා ගැනීමට පුළුවන.

කේළම් කීමෙන් ඇතැම් පිරිස් උත්සාහ දරන්නේ බළලුන් ලවා කොස් ඇට බාවා ගැනීමට බව නුවණක්කාරයෝ නම් දනිති. එබැවින් මේ උත්සාහයන්ට ඔවුහු නොරැවටෙති. එහෙත් නුවණක් නැති පිරිස් කලබල වෙති. කේළම් අගිස්සති. මිනීමරා ගනිති. අඛණ්ඩව වෛරය වපුරති. තමන්ගේ වැඩ පාඩු කරගනිමින් ඒ ගැන තැවෙති. කාලය නාස්ති කරගනිති.

මනුෂ්‍යයන් විදියට තමන්ට විරුද්ධව යමක් ඇසෙන විට කලබලවීමට පුළුවන. එහෙත් ඊළඟ නිමේෂයේදී ලෝකයේ ස්වභාවය තේරුම් ගත යුතුය. තමන්ට ඇසෙන්නේ කේළමක් බවත් එය තම කාලය කා දමන, තමා මොහොතකට හෝ ආපස්සට ඇද දමන දෙයක් බව තේරුම් ගත යුතුය. ඒ සිහි කිරීම කේළමෙන් විනාශ නොවී සිටීමට ඇති හොඳම, කෙටිම මඟය.

වේලුණු කෝටු නමන්නට බැරිය. එමෙන්ම ඇතැම් වැඩිහිටියකු කේළම් කියනු නවතනු අසීරු විය හැකිය. එවැනි පිරිස් සමඟ ඔට්ටු නොවී කුඩා දරුවන්ට ආදර්ශයක් වෙන හැටියට ජීවත් වීමට අපට හැකි නම්, අනාගතය මීට වඩා යහපත් කරගත හැකිය. යම් මනුෂ්‍යයකුගේ ජීවිතයට පදනම වැටීමට නිවෙස හෙවත් පරිසරය බෙහෙවින් බලපාන්නේය. එබැවින් දරුවන්ගේ පරිසරය කිළිටි නොකර සිටීම අප සතු යුතුකමය.

 

නව අදහස දක්වන්න