කිතුනු විවාහයට බයිබලයේ මඟ පෙන්වීම | දිනමිණ


 

කිතුනු විවාහයට බයිබලයේ මඟ පෙන්වීම

කිතුනු විවාහ ජීවිතය වඩාත් සරුගන්වා ගැනීමෙහිලා පාදක කරගත හැකි කරුණු කාරණා රාශියක් අඩංගු ශුද්ධ වූ බයිබලයේ, නව ගිවිසුමේ ශු. පාවුළුතුමන් එපීසවරුන් වෙත යැවූ හසුන් පත පිළිබඳව සටහනක් තැබීම මේ ලිපියේ අරමුණය.

මෙහි භාර්යාවන්ට සහ ස්වාමිපුරුෂයන්ට වෙන වෙනම සිය කාර්යභාරය පෙන්වා දෙන ශුද්ධවූ පාවුළුතුමන් මෙසේ සඳහන් කරයි.

“ක්‍රිස්තුස් වහන්සේට ඇති ගෞරවය නිසා එකෙ‍කාට යටත් වන්න. භාර්යාවනි, ඔබ ස්වාමින්වහන්සේට මෙන් තම ස්වාමිපුරුෂයනට යටත්ව සිටින්න. මන්ද ක්‍රිස්තුස් වහන්සේ සභාවේ හිස වන්නාක් මෙන්, පුරුෂයා භාර්යාවගේ හිසය. එබැවින් සභාව ක්‍රිස්තුස් වහන්සේට යටත් වන්නාක් මෙන් භාර්යාවන් ද සියලු දේවලදී පුරුෂයනට යටත් විය යුතුය. (5:21-24)

එසේම පුරුෂයන් වෙත ද මෙසේ තම කාර්යභාරය පෙන්වා දෙන ශු. පාවුළුතුමා මෙසේ පවසයි.

“පුරුෂයෙනි ක්‍රිස්තුස්වහන්සේ සභාවට ප්‍රේම කොට, සභාව වෙනුවෙන් දිවි පුද කළාක් මෙන්, ඔබත් ඔබගේ භාර්යාවනට ප්‍රේම කරන්න. උන්වහන්සේ එසේ කළේ වතුරෙන්ද, වචනයෙන් ද සභාව සෝදා පිරිසිදු කර, කැප කර, එය තේජාන්විත සභාවක් වශයෙන්, කැළලක්වත්, රැල්ලක්වත් එබඳු කිසිවක්වත් නැතිව විශුද්ධව නිකෙලෙස්ව, තමනට ම ප්‍රදානය කර ගැනීමටය. එසේ ම පුරුෂයන් විසින් ද සිය භාර්යාවනට ප්‍රේම කළ යුතුය. සිය භාර්යාවට ප්‍රේම කරන තැනැත්තා තමාටම ප්‍රේම කරගන්නේය. කවරදාකවත් කිසිම කලෙක තමාගේ ශරීරයට ද්වේශකරගෙන නැත. එසේ නොව, ඔහු එය පෝෂණය කරගෙන ආරක්ෂා කරයි. ක්‍රිස්තුස්වහන්සේ සභාව ගැන සලකන්නේත් එසේම ය. මන්ද එය උන්වහන්සේගේ ශරීරය වන හෙයිනි. අපි එම ශරීරයේ අවයවයෝ වෙමු. මේ නිසා මිනිසෙක් තමාගේ පියා ද මව ද අත්හැර සිය භාර්යාවට ඇලුම් වන්නේය. ඒ දෙදෙන එක් තැනැත්තෙක් වන්නෝය. මෙය මහා අභිරහසකි....” (5:25-32)

“හැම පුරුෂයකුට තමාට මෙන් තම භාර්යාවට ප්‍රේම කළ යුතුය. සෑම භාර්යාවක් ම තම ස්වාමිපුරුෂයාට ගෞරව දැක්විය යුතුය.”

ස්වාමිපුරුෂයකුගේ හා භාර්යාව‍කගේ වගකීම් හා යුතුකම් මනාව පැහැදිලි කරන ශු. පාවුළුතුමා පුරුෂයා භාර්යාවට ප්‍රේම කිරීමත්, භාර්යාව තම ස්වාමිපුරුෂයාට ගෞරවය දැක්වීමේ වගකීමත් අවධාරණය කරයි.

“පියවරුනි, ඔබේ දරුවන් කෝප‍ නොකරන්න. එසේ නොකරන ඔවුන් ක්‍රිස්තියානි විනයෙන් ද, අවවාදයෙන් ද ඇති දැඩි කරන්න.”

(6:4 )

වසර 2000කට පෙර ලියැවුණු මේ ග්‍රන්ථයෙන් දැක්වෙන අදහස් අදටත් එසේම වලංගුය. එහෙයිනි, ශුද්ධවූ බයිබලය විශ්වකාලීන බව පැවැසෙන්නේ.

ශු. පාවුළු තුමාගේ හසුන්පත් සරළය; සුගමය; පැහැදිලි ය. විශේෂයෙන් ඒවා ලියැවී ඇත්තේ එදා සමාජයේ සාමාන්‍ය ජීවිත ගත කරන සංඝයන්ටය. අපිදු මෙම හසුන්පත් පරිශීලනය කර ඒවායින් ගත හැකි පණ්වුඩ ජීවිතයට ලබාගෙන අපේ ජීවිත වඩාත් ලස්සන කර ගනිමු!

ඩික්සන් කොංගනීගේ

- රාගම විශේෂ

නව අදහස දක්වන්න