සියක් දහසක් කතා සැඟවූ ලෝරිස් පාරේ කෞතුකාගාරය | දිනමිණ


 

සියක් දහසක් කතා සැඟවූ ලෝරිස් පාරේ කෞතුකාගාරය

කාංචනා අමිලානි

කාර්යබහුල මාර්ග තීරුවකි, ලෝරිස් මාවතය, අංක 58 ය. එතැන සැඟවී සිටි කලාගාරය පසුගිය දෙසැ;12දා මහජනතාව වෙත විවෘත වූයෙන් මහල් 17ක් ඔබ්බෙන් ස්ථානගත කර ඇත්තේ මොනවාදැයි සොයා බැලිය හැකි විය. 'ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය' තමන්ටම අනන්‍ය නූතන හැඩයක් දැරූවකි. එකී නූතන හැඩය තාවකාලිකව දරා සිටින්නේ කලම්බු ඉනොවේෂන් ටවරයයි. ඔවුන්ට අනුව 'යම් භෞතික සැකැස්මක බිඳ වැටීමෙන් අධික හා අතිරික්ත දැනුම් ස්කන්ධයක් බිහි වන අතර, එම අතිරික්තය ප්‍රදර්ශනය කරන අයුරු, සංවිධානය කරන අයුරු, ලැයිස්තුගත කරන අයුරු හා තේරුම්ගත හැකි අයුරු ප්‍රශ්න කිරීමට මෙමඟින් උත්සාහ කෙරේ.' එනම් ඔවුන්ගේ උත්සාහය ඉතිහාසය තුළ සැඟව යන්නට තැත් දරන නූතන හා සමකාලීන කලා ඉතිහාසය වාර්තා කිරීමට තැත් කිරීමයි. සැබැවි; ලාංකිකයාට සමකාලීන ඉතිහාසය ඇතුළත සැඟවී යන්නට ප්‍රයත්න දරන කලාත්මක ප්‍රකාශන මේ යැයි එකතුවක් ඇත්තේ නැත. නතර වුණු තැනින් ලිහීගිය දම්වැල් පුරුක් ඇමිණීම කළ යුතුය. ඒ පුරුක් ඇමිණීමේ රාජකාරිය ඔවුන් කොතෙක් දුරට ඉ‍ටු කර ඇත්දැයි විමසීමට නම් කලාගාරයට පිවිස පළමු, දෙවැනි, තෙවැනි සහ සිව්වැනි ගැලරිවල ස්ථානගත කලා කෘති සමඟ නිහඬ සංවාදයක යෙදිය යුතුය.

පළමු ගැලරිය 'රට, නිවහන, භූමිය' යි. එක් පසෙක කැසී මචාඩෝ ය. අනෙක් පසින් චන්ද්‍රගුප්ත තේනුවර ය. කැසී මචාඩෝ මුල්ලිවායික්කාල් ප්‍රදේශයෙන් සොයාගත් ඡායාරූප ඇල්බම ඡායාරූප 14 න් නිරූපිතය. යුද්ධයකි පසුව සාමාන්‍ය ජනතාවගේ ජීවිතය කෙබදුදැයි වටහා ගැනීමට මේ ඡායාරූප ප්‍රමාණවත් නොවුණද ඉන් ඇති කළ බලපෑමෙන් අංශුමාත්‍රයක් තේරුම් ගැනීමට උදව් ලබා දෙයි. 'බැරලිසම් ‍ටුවරිස්ට් මැප්' ඉදිරිපත් කරන චන්ද්‍රගුප්ත තේනුවර එහි කොළඹ නගරයේ එවකට ස්ථාපිත සෑම හමුදා හා පොලිස් මුරපොළක්ම සලකුණු කර ඇත. ඊට අමතරව කැමෆ්ලාජ් මෝස්තරවලින් පාට කළ බැරල්වලින් සමන්විත සීමාවක්ද ලකුණු කර ඇත. ඔහුද යුද්ධය තම මාතෘකාව ලෙස ගෙන ඇත. මුහන්නද් කාදර් තම කලා කෘති නම්කර ඇත්තේ 'ජී.පී.එස් ඩ්‍රෝවින්ග්; ජැෆ්නා ‍ටු ඩෙල්ටා' නමිනි. ඔහුගේ ක්‍රමවේදය අපූරුය. තමන් ගමන් කරන මාර්ගයේ ඇති බාධක, අවහිරතා ආදිය කීමට ඔහු තමන්ගේ ස්කෙච් පොතෙහි පෑනට නිදහසේ සැරිසරන්නට හැකි සේ අල්ලාගෙන ගමන් කිරීම ‍තෝරාගෙන ඇත. ගමන අවසන සිතුවමේ නිමාවයි.

අපට ස්ටීවන් චැම්පියන් වෙත හැරෙන්නට සිදුවන්නේ ඉන් පසුවය. 'ලංකා 1986-1992' නම් ඡායාරූප එකතුවේ අන්තර්ගත සේයාරූ කිහිපයක් මෙහි ප්‍රදර්ශිතය. 1986-1992 කාල වකවානුවේ කොළඹ ජීවිතය ඔහුගේ සේයාරූ උපුටන අනුව මෙබඳුය. 1991 කොළඹදී පැවැත්වුණු නිදහස් දින සැමරුමේ කළු-සුදු ඡායාරූපයකි; 1991 දී ශාන්ත පීතර විද්‍යාල ආදි සිසු හමුවක නර්තනයේ යෙදෙන පිරිසකි; 1991 දී 'ප්‍රයිවට් ලෙසන්' සිනමාපටය ප්‍රදර්ශනයට සිනමාහළක ඇලැවූ පෝස්ටරයක් ඉදිරිපිට පෝලිමේ සිටින පුරුෂයන්ය. 'ඡන්දය වර්ජනය කරන්නට දඩුවම මරණයයි' සඳහන් පෝස්ටරය සහිත ඡායාරූපය 1989 ගත්තකි. මේ සියල්ලම කළු-සුදු ඡායාරූපයි. මතුපිට අර්ථය හාරාගෙන ඇතුළට කිඳබැස නව අරුතක් සොයාගන්නට බල කරන්නේ ඔහු සේයාරූවලට ලබාදෙන මාතෘකාවලිනි.

සුප්‍රකට ඕබ්‍රේ කොලට් සම්මුඛ වන්නේ ඊළඟ නැම්මේදීය. හෙතෙම ඉදිරිපත් කරන්නේ ඔහුගේ ජීවිත කාලය තුළ ප්‍රකාශිත, ඔහුගේ චිත්‍ර අඩංගු පළමු සහ එකම කෘතියයි. 'සිලෝන් සින්ස් සෝල්බරි-පාර්ට් වන්: අ හිස්ට්‍රි ඉන් කාටූන්ස්' ලෙස එය නම් කර ඇත. නමුත් අවාසන්නවන්ත ලෙස මෙහි දෙවැනි කොටසක් කිසිදා පළ වී නොමැත. දේශපාලනික කා‍ටුන් ශිල්පියකු ලෙස නමක් දිනා සිටි ඕබ්‍රේ කොලට් '43 කණ්ඩායම' ආරම්භක සාමාජිකයකුද වේ. කලාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත්තේ 'ටයිම්ස් ඔෆ් සිලෝන්' විසින් ප්‍රකාශිත පළමු මුද්‍රණයේ පොතකි. එය මෙල්බර්න්හි පෞද්ගලික එකතුවකින් සොයාගනු ලැබූවකි.

කිංග්ස්ලි ගුණතිලක ගෙන එන්නේ සිරගත කළ සිංහල-ඉංග්‍රීසි ශබ්දකෝෂයකි. භාෂාවේ අසමත්කම මෙහිදී ඔහු මතු කිරීමට උත්සාහ කර ඇත. භාෂාව සිරගත කිරීම වඩාත් ප්‍රශ්නකාරීය; ඒ තරමටම බරපතලය. 1956 අංක 33 දරන නිල භාෂා පණත මෙහිදී ඔහු ප්‍රශ්න කිරීමකට ලක් කරයි. කලාව වඩාත් බලපෑම් සහගත ලෙස යොදාගැනීමේ වුවමණාව මෙහිදී ඔහු මතුකර දක්වයි. මේ බහුතර කලා කෘතිවලින් අපට බල කරන්නේ මතුපිට දැකීමෙන් සෑහීමකට පත්ව ඒ අසල අලවා ඇති තොරතුරු පත්‍රිකාවෙන් සැනසීමට නොවේ. යටි අරුත් සොයා, ගෙදර වැඩ කරමින් යම් බුද්ධිමය කලාපයක් අවදි කරවා ගැනීමටය.

'ද වන් ඉයර් ඩ්‍රෝවින් ප්‍රොජෙක්ට්: මැයි 2005-ඔක්තෝබර් 2007' සාමූහික ක්‍රියාවකි. 2009 දී ටොරොන්ටෝවේ පළමුව ප්‍රදර්ශනය කළ මේ සාමූහික සිතුවම් ව්‍යාපෘතිය හතර දෙනෙකුගේ සිතුවම් හුවමාරුවකි. නිශ්චිතවම කිවහොත් මාස 29කි, සති 52කි, සිතුවම් 52කි. මුහන්නද් කාදර්, ටී.ෂනාතනන්,චන්ද්‍රගුප්ත තේනුවර සහ ජගත් වීරසිංහ ඇඳි සිතුවම් 52 ප්‍රදර්ශනයට තවා ඇත්තේ සිතුවම් පොතෙහි අදාළ පි‍ටුව පෙනෙන සේ හරවා තැබීමෙනි. එකිනෙක සිතුවම් අනෙක් සිතුවම්වලට යම් බලපෑම්කාරී හැසිරීමකින් පසුවන බවක් සූක්ෂමව නිරීක්ෂණය කළ පසු සොයාගත හැකිය. එසේම යම් කාල රේඛාවකට යටත්ව ඇඳි පමණින් එකිනෙක අතර සාම්‍යයක් ද තිබෙන-නොතිබෙන බවක් සොයාගත හැකිය. මේ කලාත්මක උභ‍තෝකෝටිකය යළි-යළිත් නැ‍රැඹීමෙන් ලෙහා ගත හැක්කක් වනු ඇතැයි හඟිමි.

ලකී සේනානායක 'නෝවෙයාර් ඊස් නව් හියර්' ටයර්මය ස්වරූපයෙන් ප්‍රකාශිතය. එය කියවාගත යුත්තේ නිර්මිත වසර සමඟය. කළු ජූලියට වසර දෙකකට පසුව එනම්, 1985 දී නිමවන ලද්දකි. මෙය 'වචන සමඟ කරන හාස්‍යජනක සෙල්ලමක්' ලෙස තොරතුරු පොත් පිංචෙහි දක්වා තිබුණි. වචන සමඟ හාස්‍යජනක සෙල්ලම් කිරීමට කළු ජූලියෙන් වසර දෙකක් උකුත් වූ තැන ලකී සේනානායක තීරණය කිරීම කොයිතරම් උත්ප්‍රාසාත්මක්ද? ප්‍රචණ්ඩත්වය සහ කෲරත්වය ටයර්මය වචන රවුමකින් කීම කෙතරම් සූක්ෂමද? කලා කෘතියකට ඔබේ සිතීමේ කලාපය කොතරම් පුළුල් කළ හැකිද?

දෙවැනි ගැලරිය; 'මම, බැල්ම, පෙනී සිටීම' ය. එහි අර්ජුන ගුණරත්නගේ 'මී. මයිසෙල්ෆ් ඇන්ඩ් අයි' උදෘතයෙන් බිත්තියක් දිගට එක පෙළට එල්ලා ඇති ආලේක්‍ය සිතුවම් මාලාවකි. ඇත්තේ පැති පෙනුමකි. තමන්ට තමන් සම්මුඛ වන ආකාරයකි. මෝගල් ක්ෂුද්‍රරූපී සිතුවම් කලාවට සාම්‍යයක් පෙන්වයි. තමන්ට තමන් සම්මුඛ වීමේ ඇත්තේ කුමණාකාර හැඟීමක් විය හැකිද? එහි උත්ප්‍රාසයක්, භ්‍රාන්තියක් සහ වේදනාවක් නැතැයි කාට නම් සහතික විය හැකිද!

ඩබ්ලිව්. ජෙ. බී. බීලිං ද '43 කණ්ඩායමේ' ආරම්භක සාමාජිකයෙකි. මාතෘකාවක් නැති මේ ඡායාරූප සතරෙහි පළමු වැන්නේ ලයනල් වෙන්ට්ද, දෙවැන්නේ ඔහුගේ නැන්දණිය වූ එතල් ස්වොන්ද, තෙවන්නේ ඇත්තේ පළමු සහ දෙවැනි සේයාරූ එක මත එක තබා සකසාගත් වෝටර්මාක් මාදිලියේ අලුත් සේයාරුවකි. සිව්වැන්නේ ඇත්තේ ඩබ්ලිව්. ජේ. බී. බීලිංගේ සෙල්‍ෆි ඡායාරූපයකි. 1930 වැනි කාලයක සෙල්‍ෆි ඡායාරූපයක් ගැනීමට නූතනවාදී වීමට ඔහුට හැකිවීම මහත් පුදුමය උපදවන්නකි. ඔහු තම ද්විත්ව කාච පරාවර්තක කැමරාව මතට තමන්ගේ හිස පහත් කරගෙන කණ්ණාඩියක් ඉදිරියේ හිටගෙන සිටී. ඈතක වෙනත් තරුණයකු ද හිටගෙන සිටින අතර ඔහුගේ සුරතේ ආලෝක මීටරයකි. බීලිංගේ දෑස ඡායාරූපය නරඹන්නා සමඟ කිසිවිට සම්මුඛ නොවූවත් ඈත සිටින තරුණයාගේ දෑස නරඹන්නා සමඟ සම්මුඛ වේ. බැල්ම මූලික කරගෙන ගොඩනැඟී ඇති මේ ඡායාරූප මාලාව ඇතුළත පෙනෙන දේට හාත්පසින්ම වෙනස් යමක් සඟවා ඇතැයි සැකයක් උලුප්පවන සුළුය. හරියටම ප්‍රහේලිකාමය සිතුවමක් වැනිය. දැකීම එතරම් සරල නොවන බව ද මේ කියන්නේ? දැකීමක, නැ‍රැඹීමක ඇත්තේ නොකියූ කතන්දරයක් පමණක්ම නොව තේරුම්ගත නොහැකි ප්‍රහේලිකාමය අභ්‍යන්තරයක්ද!

'ඩූ නොට් මෙෂර් මී' ටී.පී.ජී. අමරජීවගේ සිතුවමකි. එය 1972 දී ගනු ලැබූවකි. සිවිල් යුද සමයේ එල්.ටී.ටී.ඊ ය විසින් බලහත්කාරයෙන් තරුණ, තරුණියන් බදවා ගැනීම හෙතෙම මේ ඡායාරූපයෙන් නිරූපණය කිරීමට උත්සාහ ගෙන ඇත. 'මාව මනින්න එපා' කියන ඔහුගේ බැල්ම ඡායාරූපය අල්ලා ගැනීමට අසමත්ය. ඒ වෙනුවට ඔහුගේ නිරුවත් උඩුකය සහ අපැහැදිලි මුහුණ දැක ගත හැකිය. ජනවාර්ගික බෙදීම ප්‍රතික්ෂේප කරන්නේ යම් සේද හේ ඡායාරූපයට තම බැල්ම ලබාදීමද ප්‍රතික්ෂේප කරයි. ඒ යම් මානසික ජයග්‍රහණයක් නොවන්නේද, එසේත් නැත්නම් ඡායාරූප ශිල්පියාට ඔහුගේ බැල්ම කිසිවිටෙකත් අල්ලා ගැනීමට වුවමණා වූවාද?

අනෝලි පෙරේරාට ද උක්ත බැල්ම විෂයෙහි බලපෑම්කාරී ඡායාරූප ගැනීමේ වුවමණාවක් ඇති සැටියකි. මනාව හැඳ පැළඳගත් කාන්තාවන් ඡායාරූපයට පෙනී සිටී. එහෙත් තම වරලස මුහුණ වැසෙන සේ දමාගෙනය. ඔබට ඇගේ බැල්ම අහිමිය. එක් ඡායාරූපයක පමණක් සාරි නො ඇඳි තරුණියක් මුහුණ පෙන්වාගෙන බිම වාඩිවී සිටියි. සාරි ඇඳි සෙසු ගැහැනුන් දෙදෙන සුපුරුදු ලෙස කොණ්ඩයෙන් මුහුණු වසාගෙනය. අනෝලි පෙරේරාට මේ සේයාරූ ගැනීමට බලපෑම් කර ඇත්තේ ඇගේ මුතුන්, මිත්තණියන්ගේ ඉපැ‍රැණි ආලේඛ්‍ය සේයාරූ බව ඈ පැහැදිලි කර ඇත. මේ අතීත සේයාරූවල සිටින පුද්ගලයන් ඉතා ක්‍රමවත්ව හැඳ පැළැඳ, අතිශය ක්‍රමවත්ව අසුන්ගෙන කැමරාව දෙස හැඟීම් විරහිතව බලා සිටි බව ඈ සිහිපත් කරයි. ඒනයින් ගත්කළ හැඟීම් විරහිතකම සහ මුහුණ නොපෙනීම අතර ඇත්තේ යම් කෲර සමානකමකි. හුදෙක් යම් වස්තුවක් ලෙස පෙනී සිටීමේ කෲරත්වයට ඈ විරුද්ධ වන්නේ වී ඇත්තේ මේ ආකාරයෙනි.

සුජීවා කුමාරි ගේ ' ලිවින්ග් ස්කල්පචර්', ප්‍රදීප් චන්ද්‍රසිරිගේ 'බ්‍රෝකන් හෑන්ඩ්ස්' මෙන්ම රුහානි පෙරේරාගේ 'සම්වෙයාර් බිට්වීන් ටෲත් ඇන්ඩ් ඉට්ස් ටෙලින්ග්' බැල්ම ගැන සමාන මෙන්ම වෙනස් කතන්දර විදහා දක්වයි. ගොඩ්වින් ආර්.කොන්ස්ටන්ටයින් ගේ 'බ්‍රෝකන් පැල්මයිරා' අභිවාහ්‍ය කලා කෘතියකි. සහ මනෝරි ජයසිංහගේ 'සේෆ්ටි පින්' අවදානම සහ අනතුර සේම ආරක්ෂක බව හා සැනසිල්ල පිළිබඳ එකිනෙකට අභියෝග කරන කලා කෘතියකි. විශේෂයෙන්ම හැට්ටාක‍ටුවලින් තනන ලද දරුවන් නලවන තොටිල්ල එහි උපරිම තලයයි.

නූතන හා සමකාලීන කලා කෞතුකාගාරයක සිතුවමක හෝ ගංගාවක ගිලෙන්නා සේ ගිලීගොස් නොයෙක් අබලි ද්‍රව්‍ය අතින් ගෙන මතුපිටට පැමිණ ඒවා විස්තර කිරීම මගේ කාරිය නොවේ. එහෙත් එකී අබලි ද්‍රව්‍ය සහ මෘදු කුරුලු පිහා‍ටු තිබූ තැන් පිළිබඳ යම් ඉඟියක් දීම මගේ කාර්යයයි. ඒ ඉඟි ඔස්සේ අබලි ද්‍රව්‍ය, කුරුලු පිහා‍ටු සේම තියුණු ඉඳික‍ටු, සැත් පිහි සොයාගැනීම ඔබ සතුය. දොර‍ටුව විවරය; උකටලී නොවනු; වහා පිටත් වනු!!!

 

කලාගාරය සඳුදා සිට බදාදා තෙක් වසා ඇති අතර බ්‍රහස්පතින්දා සිට ඉරිදා තෙක් උදෑසන 11.00 ට විවෘත වේ. සිකුරාදා පමණක් රාත්‍රී 8.00 වන තෙක් විවෘත අතර සෙසු දිනවල සවස 5.00ට වසා දැමේ. ඇතුළු වීම නොමිලේ වන අතර www.mmca-srilanka.org වෙත පිවිස වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.

 

 

 

නව අදහස දක්වන්න