පිළිරූවලට දෑතින් ජීවය කවන පැතුම් ශ්‍රීපාල් | දිනමිණ


 

පිළිරූවලට දෑතින් ජීවය කවන පැතුම් ශ්‍රීපාල්

හුස්ම හැර අන් සියලු දේ ලබා දෙමින් නිර්මාණශීලීව සජීවී පිළිරුවක් නිර්මාණය කරන්නට හැක්කේ අති දක්ෂයකු ට පමණි. පැතුම් ශ්‍රීපාල් පිළිරූ සඳහා දෑතින් ජීවය කවන දක්ෂ නිර්මාණ ශිල්පියෙකි.

ළමා වියේ සිට පෞරාණික නිර්මාණ කෙරෙහි ආශක්ත වූ පැතුම් ඒ පිළිබඳව දිගින් දිගටම හදාරමින් විවිධ අත්හදා බැලීම් කරමින් මූර්ති නිර්මාණ ශිල්පය වෙත අවතීර්ණ වී තිබේ. උසස් පෙළ විභාගයෙන් පසු බටලීය ජාතික කෞතුක වස්තු අනුරූ පාසල තුළින් නවීන සහ සාම්ප්‍රදායික චිත්‍ර කැටයම් සහ මූර්ති පිළිබඳව අධ්‍යාපනය හැදෑරූ පැතුම් එය සිය වෘත්තිය බවට පත්කර ගෙන හමාරය.

" කැටයම් සහ මූර්ති ශිල්පියෙකුට වැඩිපුරම නිර්මාණ කටයුතු සඳහා අවස්ථාව තිබෙන්නේ බෞද්ධ විහාරස්ථාන ආශ්‍රිතව. එයට අමතරව සර්වාගමික සිද්ධස්ථාන ආශ්‍රයෙන් මූර්ති නිර්මාණය සඳහා අවකාශය තිබෙනවා. මේ කටයුතුවලට අමතරව මා විසින් මියුරල් නිර්මාණ සහ උද්‍යාන සහ ගෙවතු අලංකරණ සඳහා නිර්මාණ සකස් කරනවා.

කුඩා පිළිරූ නිර්මාණ කෙරෙහි සංචාරක ආකර්ෂණය නිරන්තරයෙන්ම හිමිවනවා. ඒ ඔස්සේ හොඳ වෙළෙඳ පොළක් සකස් කර ගන්නටත් හැකියාව තිබෙනවා."

පැතුම් ශ්‍රීපාල් ගේ මූර්ති කලාව විවිධ පරාස ඔස්සේ විසිරී ගොස් තිබේ. විහාර සහ දේවාල සඳහා මූර්ති නිර්මාණය කිරීමට අමතරව ඔහු පැරණි පිළිරූ නැවත ප්‍රතිසංස්කරණය කිරීම ද සිදුකරයි. එයට අමතරව වර්තමානයේ ජීවත් වන සුවිශේෂී පුද්ගලයින්ගේ පිළිරූ ඔහු විසින් නිර්මාණය කර තිබේ. මේ සියල්ල සමග චිත්‍රපට සහ ටෙලි නාට්‍ය ගණනාවක් සඳහා සහය කලා අධ්‍යක්ෂවරයෙකු වශයෙන් මූර්ති ශිල්පයෙන් දායක වන්නට ඔහුට හැකියාව ලැබී ඇත.

"ඉරු දේව, කුසුමාසන දේවි, ශ්‍රී සිද්ධාර්ථ ගෞතම, රාවණා, ගැමුණු මහරජ, ශ්‍රී වික්‍රම ආදී නිර්මාණ බොහෝ ගණනකට මගේ මේ හැකියාව උපයෝගී කරගෙන දායක වන්නට මට හැකි වුණා. සීනිගම තොටගමුව සුභද්‍රාරාම විහාරය සහ පොල්පිතිගම, කරඳගොල්ල ආරණ්‍යවල මේ වන විට විශාල ප්‍රතිමා නිර්මාණ කිරීමට සූදානමින් සිටිනවා."

අතීතයේ මූර්ති ශිල්පියකුට සමාජය තුළ හිමි වී තිබූ ස්ථානය වර්තමානය වන විට අහිමි වී ගොස් ඇති බව පැතුම් ගේ අදහසයි.

"ලෝකය පුරා මූර්ති කලාවට ඇත්තේ ඉහළ වටිනාකමක්. රාජ්‍ය අනුග්‍රහය ඉහළින් ලැබෙන, ධනවතුන් බිහිකරන, ලෝකය පුරා පිළිගැනීමක් හිමිවන හොඳ වෘත්තියක් ලෙස ලෝකයේ මූර්ති කලාව තිබෙන තත්ත්වය ඉතාම ඉහළයි. නමුත් ලංකාවේ මූර්ති කලාව තිබෙන්නේ ඉතාම පහල තැනක. නිර්මාණයක් රසවිඳීමට හැකියාව ඇති රසඥතාවයක් ප්‍රජාව තුළ නොමැතිවීම සහ ප්‍රමිතියෙන් යුක්ත නිර්මාණයක් අලෙවි කර ගැනීමට අවශ්‍ය කරන පසුබිම සකස් වී නොතිබීම මෙයට හේතුවක්. නිර්මාණකරණය පිළිබඳව හරි හැදෑරීමකින් තොර පුද්ගලයන් විසින් සිදුකරන අවරගණයේ නිර්මාණ ඉතා අඩු මුදලකට අලෙවි වීම නිසා උසස් නිර්මාණ වෙත වෙළෙඳපොළ වටිනාකමක් ලැබීම ඇණහිටි තිබෙනවා. "

සාම්ප්‍රදායික කලාවක් සහ රටක අනන්‍යතාවය බඳු මෙබඳු කලාවක් අභාවයට යාමට නොදී රැකගැනීම සඳහා බලධාරීන් වෙත යෝජනා කීපයක් ඉදිරිපත් කිරීමටද පැතුම් අමතක කළේ නැත.

"රාජ්‍ය මට්ටමේ මැදිහත් වීමකින් යුතුව ශිල්පීන්ගේ කුසලතාව පිළිබඳව පැහැදිලි අධ්‍යයනයකින් පසුව ඔවුන්ට සහතිකයක් නිකුත් කිරීම මගින් උසස් මට්ටමේ නිර්මාණ සිදුකල හැකි පිරිසක් හඳුනා ගැනීමට හැකියාවක් ලැබෙනවා. එසේම ව්‍යාපාර දියුණු කර ගැනීමට අවශ්‍ය ණය පහසුකම් ආදිය ලබාදීම සහ විදේශීය ශිෂ්‍යත්ව ලබා දීමත් වටිනා කටයුත්තක්. මූර්ති ශිල්පය ඇතුළු කලා කෘති පිළිබඳව සමාජය තුළ වන දුර්මත ඉවත් කරමින් ඒ කෙරෙහි නව පරපුරක් නැඹුරු කරවීම අධ්‍යාපන ක්‍රමය තුළින් සිදු කළ හැකිනම් එයත් ඉතාම වටිනවා."

පොලොන්නරුවේ අවුකන පිළිමය තරම් වටිනාකමකින් යුතු විශාල ප්‍රතිමාවක් රටට දායාදයක් ලෙස ඉදිකර දීම පැතුම්ගේ අනාගත අභිප්‍රායයි. මූර්ති කලාවට අමතරව රංගනයට ද දස්කම් දක්වන පැතුම් ශ්‍රීපාල් කලා ලෝකය තුළ හෙට දිනයේ සිය නම ඉහළ තැනක රැඳවීමේ අපේක්ෂාවෙන් පසුවේ.

දිල්රූ ජයසේකර

නව අදහස දක්වන්න