යුරෝපයේ හොඳ හිත! | දිනමිණ


 

යුරෝපයේ හොඳ හිත!

යුරෝපා සංගමයේ තානාපතිවරු පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී සාකච්ඡා කළහ. මේ සාකච්ඡාවේදී ජනාධිපතිවරයාගේ ආර්ථික දැක්ම හා ප්‍රතිපත්ති ප්‍රකාශනය ද රාජ්‍ය පාලනය ද තානාපතිවරුන්ගේ පැසසුමට ලක් වී ඇත. ගෝඨාභය මහතා ජනාධිපති පදවියේ දිව්රුම් දීමෙන් පසු ජාතිය අමතා කළ දේශනය ද ඉහත නියෝජිතයන්ගේ අවධානයට ලක් වී ඇත. ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රොමේනියාව යන රටවල් නියෝජනය කරන යුරෝපීය සංගමයේ තානාපතිවරු ද, යුරෝපීය සංගමයේ තවත් නිලධාරීහු පිරිසක් ද මෙලෙස ජනාධිපතිවරයා හමු වී සාකච්ඡාවට එක්වූහ. මේ සෑම රාජ්‍යයක්ම ආර්ථික වශයෙන් ස්ථාවරය.

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහි දී කියා ඇත්තේ ශ්‍රී ලංකාව දෙස ධනාත්මකව බැලීම වැදගත් බව ය. යුරෝපා සංගමය යනු ලෝක ආර්ථිකය, ලෝක දේශපාලනය, ලෝක වෙළෙඳාම හසුරවනු ලබන දැවැන්ත ආයතනයකි. යුරෝපා පාර්ලිමේන්තුව, යුරෝපා වෙළෙඳ හවුල, යුරෝපා කොමිසම, යුරෝපා මහ බැංකුව, යුරෝපා ආයෝජන බැංකුව වැනි ආයතන මීට නිදසුන් ලෙස දැක්විය හැකිය. මේ ආයතන ලෝක ආර්ථිකයට දක්වන දායකත්වය අති මහත් බව අමුතුවෙන් කිව යුතු නැත. යුරෝපය හැඳින්වෙන්නේ ධනවත් මහද්වීපය හැටියට ය. යුරෝපයේ රටවල් විසි අටක් ඍජු ලෙස මේ සංවිධානයට අයත් ය. එහි ප්‍රධාන තේමාව වන්නේ සාමය හා සංවර්ධනය යන්නය.

යුරෝපා සංගමය හඳුන්වන තවත් නාමයක් වන්නේ ලොව වැඩිපුරම ආධාර සපයන්නා ලෙස ය. නොදියුණු රටවල දිළිඳුකම පිටුදැකීමට, තිරසර සංවර්ධනය ඇති කිරීමට, ආර්ථිකය වර්ධනයට, මානව හිමිකම් සුරක්ෂිත කිරීමට, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට, නීතියේ පාලනය ගොඩනැඟීමට යුරෝපා සංගමය නිරන්තරයෙන්ම ආධාර කරනු ලැබේ. ශ්‍රී ලංකාව යුරෝපා සංගමය සමඟ සබඳතා ආරම්භ කර ඇත්තේ 1970 ගණන්වල සිටය. එදාට වඩා අද වන විට එම සංගමය හැම අතකින් ම ශක්තිමත් ය. හැම අතකින් ම ස්ථාවර ය. යුරෝපා සංගමයෙන් අපේ දියුණුවට ලබාගත හැකි ආධාරය හා සහයෝගය ඉමහත්ය. එය ලබා ගැනීම සඳහා නායකයන් හා රජය බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුව තිබේ.

ජනාධිපතිවරයා ඉහත නියෝජිතයන් සමඟ කළ සාකච්ඡාවේදී වැදගත් කරුණු ගණනාවක් ප්‍රකාශයට පත්කර තිබේ. ඉන් එක කරුණක් වන්නේ දහතුන්වන ව්‍යවස්ථාවේ ඇති ඇතැම් විධි - විධාන ප්‍රායෝගික නොවන බව ය. නිදසුනක් ලෙස පළාත් සභාවලට පොලිස් බලතල ලබාදීම සඳහන් කර ඇත. පළාත් සභා සඳහා වෙනම පොලිස් බලතල ලබාදීම රටේ ඒකීයත්වයට හා භෞමික අඛණ්ඩතාවට තර්ජනයකි. බලය බෙදීම සිදුවිය යුත්තකි. එහෙත් එය සිදුවිය යුත්තේ ජාතික ආරක්ෂාවට හා රටේ ඒකීයත්වයට පහරක් එල්ල නොවන අයුරින් ය. ජනාධිපතිවරයා මේ තත්ත්වය යුරෝපා සංගමයේ නියෝජිතයන් හමුවේ මැනැවින් විවරණය කර තිබේ. අප කුමන ලෝක සංවිධානයක් සමඟ සාකච්ඡා කළද අපගේ ස්වාධීනතාව හා නිදහස ආරක්ෂා කර ගත යුතුය. කොන්දේසිවලට යටත්වීම සුදුසු දෙයක් නොවේ.

ජනාධිපතිවරයාගේ විවරණ හා විග්‍රහ තානාපතිවරුන් පිළිගත් බවක් පෙනෙන්නට තිබේ. ඒ සමඟම ජනාධිපතිවරයා බලයට පත් වී කෙටි කාලයක් තුළ ගෙන ඇති පියවර එම තානාපතිවරුන්ගේ පැසසුමට ලක් වී ඇත. රාජ්‍ය අංශයේ දූෂණ - වංචා - අක්‍රමිකතා හා නාස්තිකාර වියදම් නතර කිරීමට රාජ්‍ය නායකයා ගෙන ඇති පියවර වැදගත් බව ඉහත තානාපතිවරුන් වටහාගෙන ඇත. එලෙසම ජනාධිපතිවරයා සිය ඡන්ද සටන මෙහෙයැ වූ ආකාරයද යුරෝපීය නියෝජිතයන්ගේ අගය කිරීමට ලක් වී ඇත. ගෝඨාභය මහතා සිය ඡන්ද ව්‍යාපාරයේදී මඩ ප්‍රහාරවලින් දුරස් විය. අභියෝග කිරීමෙන් ඉවත් විය. මඩ ප්‍රහාර හා අභියෝග කිරීම් වෙනුවට රට ගොඩනඟන වැඩසටහන් හඳුන්වා දීමට හා ඊට අදාළ මහජන අදහස්වලට ඇහුම්කන් දීමටත් ඔහු කාලය කැප කළේය. එයින් සංකේතවත් වන්නේ මහත්මා දේශපාලනයකි. යුරෝපා සංගමය වැනි සංවිධාන මහත්මා දේශපාලනයට කැමැති ය.

ජගත් ආයතන ලෝකයේ විවිධ රටවල් දෙසට අවධානය යොමු කරන්නේ එම රටවල පාලකයන්ගේ ස්වාභාවය හා රාජ්‍ය පාලනයේ ස්වාභාවය සැලැකිල්ලට ගනිමින් ය. ප්‍රයෝගකාරී ලෙස හැසිරෙන නායකයන්ට ජගත් ආයතනවල සහයෝගය ලැබෙන්නේ නැත. ආර්ථිකය දිනෙන් දින පහළට ඇද වැටෙන රටවල්වලට ද යුරෝපා සංගමයේ සහයෝගය ලැබෙන්නේ නැත. කිසියම් රාජ්‍යයක් තාවකාලික ආර්ථික පසුබෑම් සටහන් කරන්නට පුළුවන. එහෙත් දිගින් - දිගට ම ආර්ථිකය පිරිහෙන්නේ නම්; ඊට නායකයන් මෙන් ම රජය ද වගකිව යුතුය. එබඳු රාජ්‍යයන් තවදුරටත් එකී පාලන ක්‍රමයේම රැඳී සිටිමින් ආර්ථිකය කම්බස් කරන්නේ නම්; එබඳු රටවල් අසාදු ලේඛනයට ඇතුළත් කිරීම යුරෝපා සංගමයේ ද සිරිත වෙයි. අද පවතින ආර්ථික හා දේශපාලනික තත්ත්වයට අනුව ශ්‍රී ලංකාව යනු යුරෝපා සංගමයේ පිළිගැනීමට ලක් වූ රාජ්‍යයෙකි.

රටකට හුදෙකලාව දියුණු විය හැකි තත්ත්වයක් නැත. සෑම රාජ්‍යයක් ම ගෝලීයකරණ ක්‍රියාවලියට යටත් ය. ඒ අනුව රටේ දියුණුව තීරණය කරන වැදගත් සාධකයක් ලෙස විදේශ ප්‍රතිපත්තිය හැඳින්විය හැකි ය. ගෝඨාභය රාජපක්ෂ මහතා අනුගමනය කරන්නේ කිසිදු රාජ්‍යයකට ගැති නොවන විදේශ ප්‍රතිපත්තියක් බව පෙනෙයි. කලාපීය බලවතුන් මෙන්ම ලෝක බලවතුන් ද අපගේ හිතවතුන් බවට පත්කර ගත යුත්තේ ඔවුන්ට ගැති නොවන අතර ය. එය රටේ අනාගතය සුරක්ෂිත කරන හොඳම පිළිවෙත වෙයි.

 

නව අදහස දක්වන්න