අධිකරණ කටයුතු හේතුවෙන් වෝහාරික වාර්තාව මන්ත්‍රීවරුන්ට දෙන්න බෑ | දිනමිණ


 

අධිකරණ කටයුතු හේතුවෙන් වෝහාරික වාර්තාව මන්ත්‍රීවරුන්ට දෙන්න බෑ

ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර
සන්ධ්‍යා කරුණාරත්න

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් අධිකරණ කටයුතු ආරම්භ කැර ඇති හෙයින් හා ඉදිරියේදී නීති කටයුතු සපිරීමට ඇති හෙයින් බැඳුම්කර සිද්ධිය අළලා මහ බැංකුව නිකුත් කළ වෝහාරික වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදිය නොහැකි බව කතානායක කරු ජයසූරිය මහතා ඊයේ (07) නිවේදනය කෙළේය.

විනිවිදභාවයෙන් කටයුතු කිරීමට නම් මෙම වෝහාරික වාර්තාව එළිදැක්විය යුතු බවත්, මෙම වාර්තාව කඩිනමින් එළිදැක්වීමට තමන්ට ද අවශ්‍යතාව ඇති නමුත් නීතිපති උපදෙස් නිසා ලබාදිය නොහැකි බවත් පැවසීය.

එනමුත් කෝප් කමිටුව පත්කිරීමෙන් අනතුරුව රහස්‍ය භාවයෙන් යුතුව ඉදිරි කටයුතු කිරීමට කෝප් කමිටුවට ‍අවකාශ ඇති බවත් පෙන්වා දුන්නේය.

මහජනතාව අතර මහත් ආන්දෝලනයකට තුඩු දුන් මහ බැංකු බැඳුම්කර දූෂණයට සම්බන්ධ මෙම වෝහාරික වාර්තාව එළිනොදැක්වීම හොරු ආරක්ෂා කිරීමක් බව ජනතා විමුක්ති පෙරමු‍ෙණ් මන්ත්‍රී බිමල් රත්නායක මහතා එහිදී පැවසීය.

පසුගිය 03 වැනි දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කළ ඉල්ලීමට අනුව වෝහාරික වාර්තාව මන්ත්‍රීවරුන්ට ලබාදීම පිළිබඳව නීතිපතිවරයාගෙන් විමසා සිටි බවත්, ඉදිරි නීති කෘත්‍යයන් සිදුකෙරෙන බැවින් වාර්තාව ලබාදීම යෝග්‍ය නොවන බවට නීතිපතිවරයා ලිඛිතව දැනුම් දී ඇති බවත් කතානායකවරයා නිවේදනය කෙළේය.

වෝහාරික වාර්තාව සම්බන්ධයෙන් කෝප් කමිටුවට තීරණයක් ගතහැකි බවත්, එම කමිටුව පත්කළ පසුව ඒ සම්බන්ධයෙන් බලය රහස්‍යභාවයෙන් යුතුව ක්‍රියාත්මක කරන බවත් කතානායකවරයා පැහැදිලි කෙළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා (ජවිපෙ) -

මහ බැංකු බැඳුම්කර සිද්ධිය මෑත ඉතිහාසයේ ජනතාව අතර වැඩියෙන්ම කතාබහට ලක්වූ මාතෘකාවක් කෝප් කමිටුවේ සාමාජිකයෙක් ලෙස හා බැඳුම්කර පරීක්ෂාවේදී හිටපු සාමාජිකයෙක් ලෙස මම කියන්නේ. මෙය ජනතාව අතර වැඩියෙන් කතාබහට ලක්වූ දූෂණය සිදුවීම. මේ ගැන ජනමාධ්‍යවල ඕනෑ තරම් කතාකරලා තිබෙනවා. කෝප් එක උසාවියක් නෙවෙයි. නමුත් වෝහාරික විගණනයක් කරන්න කිව්වේ එම කමිටුව අධිකරණ නියෝගයක් ඊට නෑ. ලංකාවේ ජනතාවගේ බදු මුදල් මිලියන 900 ක් මීට වැයකර තිබෙනවා. මේ වාර්තාව යම් යම් අය කියවලත් තියෙනවා. අපි ඔබතුමාගෙන් ඉල්ලනවා. මේ වාර්තාවේ තොරතුරු හෙළිවෙලා තිබෙන නිසා එළිදැක්විය යුතුයි. වාර්තාව එළිදැක්වීමෙන් නීති කටයුතුවලට අගතියක් වෙන්නේ නෑ. මේ එළිනොදැක්වීම හොරු ආරක්ෂා කිරීමක්. එමනිසා මහජන මතය යටපත් කරන්න එපා. පාර්ලිමේන්තු ස්වෛරීත්වය මහජන පරමාධිපත්‍ය රැකලා වාර්තාව එළිදක්වන්න. වහාම නියෝග කරන්න කතානායකතුමා නීතිපතිගේ නියෝගවලට යටත් නෑ.

කතානායකතුමා - මේ වාර්තාව පුළුවන් තරම් ඉක්මනින් එළිදැක්වීම මටත් අවශ්‍යයි. එවිට විනිවිදභාවය පේනවා.

එජාප මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා -

මුදල් බලය පාර්ලිමේන්තුව සතුයි. 2015 පසුව බැඳුම්කර මිලියන 10 ක් නිකුත් කරලා තිබෙනවා. පාඩුව රුපියල් බිලියන 12 යි. ඊට පෙර මිලියන 6600 ක බැඳුම්කර නිකුත් කර තිබෙනවා. ඒ නිසා වාර්තාව ඉදිරිපත් කළ යුතුයි.

අජිත් පී. පෙ‍රේරා මහතා (එජාප) -

වෝහාරික වාර්තාව කොප් කමිටුවේ කටයුතු සඳහා ලබාදෙන්න මීට පෙර නීතිපතිතුමා අනුමැතිය ලබා දුන්නා.

සංවර්ධන බැංකු සහ ණය‍ යෝජනා රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා -

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ කෝප් කමිටුවේදී දුරකථන සංවාද කළ සාමාජිකයින්ට ඉදිරි කෝප් කමිටුවකදී කිසිසේත් අවකාශයක් ලබාදෙන්න එපා කියලා අපි ඉල්ලනවා.

නව අදහස දක්වන්න