පුද්ගල ඉල්ලීම් ඉටු කළ යහපාලන ආණ්ඩුවේ ක්‍රියා කලාපයන්ට රනිල් ඇතුළු පිරිස වගකිව යුතුයි | දිනමිණ

පුද්ගල ඉල්ලීම් ඉටු කළ යහපාලන ආණ්ඩුවේ ක්‍රියා කලාපයන්ට රනිල් ඇතුළු පිරිස වගකිව යුතුයි

විවිධ පුද්ගලයන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට ක්‍රියාත්මක වූ යහපාලන ආණ්ඩුවේ ක්‍රියා කලාපයන් සඳහා රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස වගකියන්න අවශ්‍ය බව කර්මාන්ත රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසී ය.

ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීවේ ය.

2019 නොවැම්බර් මාසයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයේ කොටස්කරුවන් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස අපි විශාල කැපවීමක් සිදු කළා.

ශ්‍රීලනිප ය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහය නිසා ලක්ෂ 17ක් පමණ ඡන්ද එකතු කරගන්න හැකි වුණා. නිවැරැදි තීන්දුව නිවැරැදි අතට ගන්න පුළුවන් වීම ගැනශ්‍රීලනිප ය ලෙස අපි සතුටු වෙනවා. එදා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා නොවුනා නම් රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් , ආර්ථිකයේ කඩා වැටීමට , ජාතික සම්පත් විකුණන තිබූ අවධානමට , රටට ජාතියට ආදරය නොකරන පිරිසක් බලයට පත්වීමට ඉඩ තිබුණා.

අද බිලියන ගණනක් ජනතාව , ග්‍රාමීය මට්ටමේ ජනතාවගේ සංවර්ධන ව්‍යාපෘති සඳහා විශාල මුදල් ප්‍රමාණයක් ගෙවන්න සිදු වී තිබෙනවා. මාර්ග සංවර්ධන අධිකාරිය සදහා පමණක් බිලියන 35ක් 40කට අධික ප්‍රමාණයක් ගෙවන්න තිබෙනවා. ග්‍රාමීය මට්ටමේ කුඩා කර්මාන්තුකරුවන් , ව්‍යසායකයන් අද කඩා වැටීමකට ලක්වී තිබෙනවා. ඔවුන් ණයකරුවන් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වියදම් අඩු කරගෙන කටයුතු කිරීම සඳහා ජනාධිපතිවරයා වශයෙන් ආර්ශයක් දී තිබෙනවා . අද රාජ්‍ය ආයතන වල ජනාධිපතිවරයාගේ අමාත්‍යවරුන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කිරීම නවත්වා තිබෙනවා. ඒ නිසාම විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරි වී තිබෙනවා. ජනාධිපතිවරයා භාවිතා කරන වාහන 03ක් පමණයි. සම්බන්ධීකරණ ලේකම්වරු පත් කිරීමද සම්පූර්ණයෙන්ම එතුමා නවතා තිබෙනවා. පාර්ලිමේන්තුවේ ආරම්භක දිනය පවා එතුමා ඉතා සුවිශේෂී ආකාරයකට සිදුකළා. ඒවාගේම ජනතාවට ප්‍රශ්න පැනනැගී තිබෙන ආයතන වන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැනි ආයතන වල පැවැති ගැටලු වලට විසඳුම් ලබාදීමට මේවනවිට කඩිනම් පියවර ගෙන තබෙනවා. ඉතිහාසයේ නොකරපු වැරදි නැවත නොකරන ආණ්ඩුවක් බවට පත් කරන්නටත් ජාතික බලවේගයන්ට ඉඩ නොතබන ආණ්ඩුවක් ලෙසත් අපි කටයුතු කරනවා.

ඒවාගේම ශ්‍රීලංකා නිදහස් පක්ෂය තුළ පවතින යම් යම් ප්‍රශ්න විසඳාගෙන ඉදිරියට යන්න අවශ්‍ය කටයුතු සිදු කරනවා.

උපාධිධාරීන් 54 000 කට රැකියා අවස්ථා ලබාදීමට කටයුතු කරනවා. දේශපාලන ඇගිලි ගැසීම් නොමැතිව ඒ කටයුතු සිදු කරනවා. මේ රටේ සියලු උපාධිධාරීන්ට රැකියා අවස්ථා ලබාදීමට ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබෙනවා. ඒ වාගේම පවතින අධ්‍යාපන ක්‍රමයේ වෙනස්කම් විශාල ප්‍රමාණයක් සිදුකරන්නත් ඉඩ තිබෙනවා. රැකියා අවස්ථාවන්ට ගැළපෙන ආකාරයට උපාධි නිර්මාණය වීමේ අවශ්‍යතාවය පවතිනවා. අධි ශ්‍රේණිධාරී විදුහල්පතිවරු සහ වැඩබලන විදුහල්පතිවරු ස්ථීර විදුහල්පතිවරු ලෙස පත්කරන්න ක්‍රියා කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්ත මහතා ,

අධිකරණයට බලපෑම් කරන්න දේශපාලඥයන්ට බැහැ. ඒ නිසා මේ සිදුවීම් පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් සිදු කර ජනතාව තුළ අධිකරණ පද්ධතිය කෙරෙහි විශ්වාසය ඇති කරන්න කටයුතු කළ යුතු යි. නිතියේ ආධිපත්‍ය නැතිවුවහොත් එය රටේ ආර්ථිකයටත් බලපානවා.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තුනෙන් දෙකක බහුතර බලය ලබාගෙන ජනාධිපතිවරයාට අවශ්‍ය ආකාරයට කටයුතු කරගෙන යාමට අවශ්‍ය සහය අපි ලබාදෙනවා. ඒ සඳහා අපි කැපවී කටයුතු කරනවා.

ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය ,

අධිකරණ පද්ධතියේ විශ්වාසය නැති වුවහොත් රටේ ආර්ථිකය , සමාජ සංවර්ධනයට එය බලපානවා. රට කඩා වැටීමට ලක් වෙනවා. ඒ නිසා අගතියට පත් පාර්ශවයට සාධාරණය කරන්න මැදිහත් වෙන්න අවශ්‍යයි. පාතාල කටයුතු , නිති විරෝධී ක්‍රියාවන්ට දේශපාලන බලය යොදාගෙන කරන දේවල් අනුමත කරන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය , ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර , අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර ඉදිරි වැඩපිළිවල තහවුරු කළ යුතු වෙනවා.

රෝයල් පාර්ක් සිදුවීමේදී ජනාධිපති සමාව හිමි වූයේ කමිටුවකින් ලබාගත් නිර්දේශයකට අනුවයි. දුමින්ද සිල්වා මහතාගේ නඩි විභාගය සාධාරණව සිදුවුණාද නැද්ද කියන දේ ගැටලුවක් තිබෙනවා.

එහිදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දුන් දයාසිරි ජයසේකර මහතා ,

පසුගිය කාලයේදී අග්‍රවිනිශ්චකාරවරු පත් කරද්දී තමන්ගේ කැමැත්ත පරිදි ජ්‍යේෂඨත්වය ගෙනාවා. අධිකරණ සේවා කොමිෂන් සභාව මේ පිළිබඳව පරීක්ෂණයක් කළ යුතු යි.

පසුගිය කාලය පුරාවට සිදුකර තිබෙන පත් කිරීම පිළිබඳව පරීක්ෂණයක් සිදු කරන්න අවශ්‍ය යි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ගෝඨාභය මහතාට ලබාදීම සිදුවුයේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත් තීරණයට අනුවයි. ඒ වෙනුවෙන් පක්ෂයේ සංවිධායකවරු කටයුතු කළා. ගෝඨාභය රාජපක්ෂ මහතා පක්ෂ 17 ගිවිසුමට එළැඹුනා. ඒ ගිවිසුමට අනුව පක්ෂයේ නම ශ්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධානය ලෙසත් ලකුණ පුටුව බවත් සඳහන්වෙනවා. සමහරු අප අතර අසමඟිය ඇතිවන දේවල් ක්‍රියාත්මක කරනවා. නමුත් අපි ඒවාට ඉඩ තබන්නේ නැහැ. ඊට අදාළ ඉදිරි පියවර සම්බන්ධව පක්ෂ නායක රැස්වීමේදී පියවර ගනියි.

දුමින්ද සිල්වා මහතාගේ නඩුවේදී තීන්දුව ඉතාම බලවත් තීන්දුවක්. නමුත් ඒ තීරණය සඳහා විනිශ්චකාරවරු විවිධ බලපෑම් වලට හසුවී තිබෙන බව හෙළි වෙනවා. ඒ අනුව දුමින්ද සිල්වා මහතාට ඒ නඩු තීන්දුව ලැබුණේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ ඇමැතිවරුන්ගේ ඉල්ලීමකට යි. වින්දිතයන්ට සාධාරණය ඉටු කරන්න අවශ්‍ය යි. මේ වාගේ තව කීදෙනෙකුගේ නඩු කටයුතු වලට බලපෑම් සිදු කරඇතිද? දුමින්ද සිල්වා මහතාගේ නඩුව සඳහා තිබෙන අවසාන විකල්පය වන්නේ ජනාධිපති සමාව ලබාදීම පමණයි.

චන්දිමා කරුණාරත්න 
ඡායාරූපය - දුෂ්මන්ත මායාදුන්න

නව අදහස දක්වන්න