ණය ගෙවීම හේතුවක් කර ගනිමින් සංවර්ධන ව්‍යාපෘති නතර කරන්නේ නෑ | දිනමිණ

ණය ගෙවීම හේතුවක් කර ගනිමින් සංවර්ධන ව්‍යාපෘති නතර කරන්නේ නෑ

සමාජ මාධ්‍ය ජාලාවල ඇති ශානි-රංජන් හඬපට ගැන නීතිය ක්‍රියාත්මක කළ යුතුයි
- රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා

ණය ගෙවීම හේතු කරගෙන රජයේ සංවර්ධන ව්‍යාපෘති නතර කිරීම සඳහා කිසිදු චක්‍රෙල්කයක් නිකුත් කර නොමැති බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

ණය කොපමණ අරන් තිබුණ ද එය අභිබවා රටේ සංවර්ධනයත් , ජාතික ආදායම වැඩි කිරීමේ වගකීමත් රජයට තිබෙන බව ඒ මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යයාලයේ දී ඊයේ (06) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීවේ ය.

රජයේ ඉදිකිරීම් සම්පූර්ණයෙන් ම නවත්වන්න උපදෙස් දී තිබෙනවා කියා වෙබ් අඩවිවල සඳහන් වී තිබුණා. නමුත් එහෙම දෙයක් සිදුවී නැහැ. රජයේ ඉදිකිරීම් , සංවර්ධන කටයුතු අලුතින් අය-වැයක් ගෙනෙන තුරු නවත්වා අති බවක් කියනවා. නමුත් එලෙසෙ කිසිදු චක්‍රලේඛයක් නිකුත් කර නැහැ. එය අමූලික බොරුවක් . මේ වසරේ ඩොලර් බිලියන 4.8ක ණයක් ගෙවන්න තිබෙන නිසා එයට සමඟාමීව මේවා නැවැත්විය යුතුයි කියා සඳහන් වෙනවා. ගිය ආණ්ඩුව ණය ගත්තත් ඊට පෙර ණය ගත්තත් වර්තමානයේ අපි ආවාට පසුව එම ණය ප්‍රමාණය නිසා සංවර්ධන කටයුතු කරන්න බැහැයි කියා ප්‍රකාශයක් කරන්න බලාපොරොත්තු වන්නේ නැහැ.

පසුගිය කාල පරිච්ඡේදය පුරාම පසුගිය ආණ්ඩුව කළේ ණය ගත් නිසාම අපි අමාරුවේ වැටුණා ඉන් නිදහස් වන තුරු කිසිවක් කරන්න බැහැයි කියන, අදහස ඒ අය දුන්නා. නමුත් ණය කොපමණ අරන් තිබුණ ද එය අභිබවා ගිහින් සංවර්ධනයත් , ජාතික ආදායම වැඩි කිරීමේ වගකීමත් අපට තිබෙනවා.

මේ අවුරුද්ද තමයි වැඩිපුරම ණය ගෙවන්න තිබෙන අවුරුද්ද. ඩොලර් බිලියන 4.8ක ණයක් ආණ්ඩුවට ගෙවන්න වී තිබෙනවා. ඒ විතරක් නොවේ , රජයේ මුළු ණය ප්‍රමාණය බිලියන 12,863ක් එහි දේශීය ණය බිලියන 6523 හා විදේශීයව බිලියන 6399ක ණය ප්‍රමාණයක් තිබෙනවා. ණය ගෙවීම අපට විශාල බරක්. නමුත් එයට අපි විසඳුම් සොයනවා.

මේවනවිට ලංකාව කෙටි ආදායම් මාර්ග ගන්න ක්‍රමයක් ලෙස සංචාරක කර්මාන්තයට මුල් තැනක් දී තිබෙනවා. ලංකාව ප්‍රධාන සංචාරක රටවල් අතරටත්, වනජීවි අංශය පළමු ස්ථානයටත් නම් වී තිබෙනවා. රටේ ජාතික ආරක්ෂාව අපි සකස් කර තිබීම වැදගත් වෙනවා. ඉහළ මට්ටමේ ආරක්ෂා විද්‍යාතනයක් පිහිටුවන්න කටයුතු කර තිබෙනවා. ආරක්ෂාව සම්බන්ධව පුහුණුවෙන්න ලෝකයම පිළිගන්නා විද්‍යාතයනක් පිහිටුවනවා. එහි පරමාර්ථය වන්නේ ජාතික ආරක්ෂාවයි.

රටින් ත්‍රස්තවාදය තුරන් කිරීම, මත්උවදුර විනාශ කිරීම, ජනජීවිතය සුරක්ෂිත කිරීම, ළමා හා කාන්තා හිංසනය නැවැත්වීම අරමුණු වෙනවා. මෙය කඩිනමින් ක්‍රියාත්මක කරන්න ගිය වසරේ දෙසැම්බර් 8වැනි දා අමාත්‍ය මණ්ඩලය තීන්දුවක් අරන් තිබෙනවා. ඒ ඔස්සේ විදේශ ආයෝජකයන්ට මෙරටට පැමිණෙන්න පුළුවන් පැහැදිලි වාතාරවණයක් අපි ඇති කර තිබෙනවා. ඒ නිසා ජාතික ආදායම වැඩි කිරීම සම්බන්ධව ප්‍රශ්නයක් මතු වන්නේ නැහැ. සෘජු විදේශ අයෝජන වැඩිකරගැනීම, අපනයන ආදායම වැඩි කරගැනීම හා වියදම් අඩු කරගැනීම සඳහා ක්‍රියාමාර්ග අපි අරගෙන තිබෙනවා.

ජනාධිපති තුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කිසිම ආකාරයක දේශපාලනික ප්‍රහාරයක් එල්ල කරන්න එතුමා කටයුතු කළේ නැහැ. නමුත් ජනාධිපති තුමා සිය රාජාසන කතාවේදී ජාතීන් , ආගම් , භාෂාවන් අමතක කරයි කියා අද පුවත්පතක සටහන් වී තිබුණා. එතුමා කිව්වේ රජුන් තනන්නන් මේ මැතිවරණයේ දී ඉවත් වී තිබෙනවා කියායි. ජාතීන් වශයෙන් බෙදා , ජාතීන්ගේ නායකත්වය අරගෙන, ජනතාව විකුණා ආණ්ඩු පාලනය කිරීම කරන්න දෙන්නේ නැහැ කියන දේ එතුමා කිව්වා. මොකද මේ රටේ ජනතාව පැහැදිලි තීන්දුවක් දී තිබෙනවා. ඒ තීන්දුවේදී රජුන් තනන්නන් අවශ්‍ය නැහැ ජනතාව විතරයි අපට අවශ්‍ය කියන දේ පෙන්නුම් කරනවා. එයට ප්‍රධාන හේතුව වන්නේ ජනතාව භාවිතා කර තමන්ගේ දේශපාලන කටයුතු ක්‍රියාත්ම කර ගෙන ගියා. නමුත් එවැනි තත්ත්වයක් නොමැතිව මේ රටේ ජනතාවගේ බලයෙන් ආණ්ඩුවක් පත් කරන්න පුළුවන් කියා මේ රටේ බහුතර ජනතාව තීරණය කර තිබෙනවා. ඒ නිසා ආගම්, භාෂා ගැන කතා කළේ නැහැ කියා සමහර අයට ප්‍රශ්නයක් වී තිබෙනවා. එලෙස කතා කරන්න අවශ්‍ය නැහැ. සියලුම සුළු ජාතී දේශපාලන පක්ෂවලට එකතු වෙන්න , එකතු වී රටේ ඉදිරි ගමනට දායක වෙන්න කියා එතුමා පැහැදිලිව ඉල්ලීමක් කළා. ආගම්වාදයෙන් , ජාතිවාදයෙන් එතුමා කතා කළේ නැහැ. රටේ සුරක්ෂිතතාව , ආර්ථිකය , විනය සඳහා අපි නායකයෙක් පත් කර තිබෙනවා. සුරක්ෂිතතාව ගැන කතා කිරීමේ දී සියලු ජාතීන්ගේ සුරක්ෂිතතාව ආරක්ෂා කිරීම අපේ යුතුකමක්.

ප්‍රතිත්‍රස්ත පනත අහෝසි කිරීම ගැන විවිධ මත ඉදිරිපත් වී තිබෙනවා. මේ පනත අහෝසි කිරීමේ වගකීම අපට තිබෙනවා. ඒ නිසා ඒ පනත අහෝසි කරන්න පසුගිය දිනක තීන්දුවක් ගත්තා. එය වැරැද්දක් නොවේ. එය මේ රටේ ජනතාව බලාපොරොත්තු වූ දෙයක්. මංගල සමරවීර මහතා ඔක්තෝම්බර් 9වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. 2020 ජනවාරි 2 අමාත්‍ය මණ්ඩලයේ දී මෙය අහෝසි කළා. මේ රටේ ජනතාව අතර මතයක් තිබුණා මෙය අහෝසි කළ යුතුයි කියා. එය අපි රජයක් විදිහට සිදු කර තිබෙනවා.

උපාධිධාරීන්ගේ රැකියා ගැටලුව මුල් කරගෙන ජනතා විමුක්ති පෙරමුන ඉදිරියේ දී වර්ජනයක් සිදුකරන්න කටයුතු කරනවා. නමුත් අප රජය යටතේ සියලු උපාධිධාරීන්ට රැකියා ලබාදෙන්න විධිමත් ක්‍රමවේදවයක් තිබෙනවා. ඒ ඔස්සේ අපි කටයුතු කරනවා. වර්ෂය අනුව උපාධිධාරීන්ට රැකියා ලබාදීම සිදු කරනවා. වර්ෂානුකූලව රැකියා ලබාදීම සිදුවනවා නම් කවුරුත් පාරට බහින්න අවශ්‍ය වන්නේ නැහැ.

රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීම් සම්බන්ධව දේශපාලනික ඇඟිලි ගැසීම් නැහැ. රන්ජන් රාමනායක මහතාගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධව අරලියගහ මන්දිරයේ හෝ ජනාධිපති කාර්යයාලයේ සම්බන්ධයක් නැහැ. පොලීසියේ රාජකාරිය ඒ අය සිදු කරනවා. මේ නඩු දැමීම් සිදුකළේ මිරිහාන පොලීසිය. ඒ නිසා ඒ සම්බන්ධව වෙනත් ආයතනයක් ක්‍රියාත්මක වෙලා නැහැ. නීතියට අනුව ක්‍රියාත්මකවීම පොලීසියේ කාර්යයක්. පොලිසියේ කාර්යය නිසි ආකාරව ක්‍රියාත්මක කරයි කියා අපි බලාපොරොත්තු වෙනවා. ඊට වඩා ඒ සම්බන්ධව ඇඟිලි ගසන්න බලාපොරොත්තු වන්නේ නැහැ. එය තමයි මේ රජයේ ප්‍රතිපත්තිය සහ අවශ්‍යතාව වෙලා තිබෙන්නේ. වැරැදි දේවල්වලට යොමු වූ අයට විරුද්ධව නඩු දාන්න අවශ්‍යයි. පරීක්ෂණ කරන්න අවශ්‍යයි. ඒ සඳහා තරාතිරමක් තිබෙන්න බැහැ. නමුත් ඒ සම්බන්ධව දේශපාලන ඇඟිලි ගැසීමක් කරන්න කිසිසේත් ම සූදානම් වී නැහැ.

බලශක්ති රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා - සමාජ මාධ්‍යජාලාවල රන්ජන් රාමනායක මහතා සහ සීඅයිඩී ප්‍රධානී ශානි අබේසේකර මහතා අතර සිදුවූ හඬ පටයක් අාසන්න ලැබෙනවා. අද හඬපට 4ක් ඉදිරිපත් කරනවා. ඉදිරියේ දී අධිකරණ විනිසුරුවරුන් සමඟ සිදු කර තිබෙන සාකච්ඡා ඇතුළත් තවත් හඬපට කිහිපයක්ම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේවා යහපාලන ආණ්ඩුව නීතිය විනාශ කර , අධිකරණය ඉතාම අසරණ තත්ත්වයට පත් කරපු බවට සාක්ධි කියන දේ රටට ජනතාවට තේරෙනවා. ඒනිසා මෙම හඬ පට සම්බන්ධව කට උත්තර ගෙන විමර්ශන කරන්න අවශ්‍යයි. අධිකරණ විනිසුරුවරුන්ට දුරකථන ඇමතුම් ලබාදී බලාපොරොත්තු වන්නේ විභාගවන නඩු වල සැකකරුවන් හිරගෙදර යවන්නයි. රන්ජන් , හිරුණිකා , ශානි අබේසේකර යන තුන්දෙනා හැදුවේ දුමින්ද සිල්වාව හිරේ යවන්නයි . එකම ලෙඩේ තිබෙන්නේ කියනවා. ඒ තමන්ට විරුද්ධ අය හිරේ දාන්නයි. රන්ජන් අධිකරණයට අපහාස කර නඩු 2ක් තිබෙන කෙනෙක්.

නියෝජ්‍ය අමාත්‍යධූරය නළුකම සමඟ රඟපාලා. ඒවාගේම ශානි අබේසේකර තවම පොලිස් සේවයේ සිටිනවා. ඔහු මේ සිදුවීම්වලට සම්බන්ධයි. ඒ නිසා ශානි අබේසේකර සහ රන්ජන් රාමනායක මහත්වරුන් සම්බන්ධ මේ හඬපට සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරන්න කියා පොලිස්පතිතුමාට කියනවා. අසාධාරණයට ලක්වූවන්ට සාධාරණය ඉටු කරන්න අවශ්‍යයි. මේ විමර්ෂන සිදුකරගෙන යාමේ දී තව කොපමණ බලපෑම් සිදුවී තිබේද කියා එළියට එයි. ඒ නිසා මධ්‍යස්ථව කටයුතු කරන පොලිස් නිලධාරීන් යොදවා මේ හඬපට සම්බන්ධව විමර්ශන සිදුකරන්න , සාධාරණය ඉටු කරන්න මැදිහත්වෙන්න කියා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගැමැති මහින්ද රාජපක්ෂ මහත්වරු ඇතුළු අපේ රජය ප්‍රජාතන්ත්‍රවාදය රජකරවන රටක් බවට පත් කර තිබෙනවා. ඇයි අපි එහෙම කියන්නේ, පාඨලී චම්පික රණවක මහතාව අත්අඩංගුවට ගත්තා , පසුව ඇප දී නිදහස් වුණා. එය අධිකරණ තීන්දුවක්. රාජිත සේනාරත්න මහතාව අත්අඩංගුවට ගත්තා , උසාවියේ දකින්නවත් ලැබුනේ නැහැ රෝහලේ සිටිය දී ඇප ලැබුණා. එයත් අධිකරණ තීන්දුවක්. රන්ජන් රාමනායක මහතාව අත්අඩංගුවට ගෙන ඇප ලැබුණා. එයත් අධිකරණ තීන්දුවක්. ඒ තමයි ප්‍රජාතන්ත්‍රවාදය. අධිකරණයට බලපෑම් කළේ නැහැ.

යහපාලන ආණ්ඩු සමයේ දී බැසිල් රාජපක්ෂ මහතා පලාත් පාලන ආයතන වලට බට බෙදුවා කියා කඩුවෙල උසාවියෙන් බන්ධනාගාර ගත කර මාස 2ක් සිටියා. නමුත් ඒ තීන්දුව දේශපාලනිකයි. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මාස එකහාමාරක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනවා පසුව නිදොස් කොට නිදහස් වෙනවා. විමල් වීරවංශ , උදය ගම්මන්පිල යන මහත්වරු අත්අඩංගුවට ගන්නවා. අපි හැමෝටම නඩු පිට නඩු වැටෙනවා. මේවා දේශපාලනික බලපෑම් මත සිදු වූ දේවල්.

සුහද ගම්ලත්, දිල්රුක්ෂි ඩයස් යන අයට බලපෑම් කරනවා. යහපාලන ආණ්ඩුවේ ඇමැතිවරු සීඅයිඩී, එෆ්සීඅයිඩී නිලධාරීන් ගෙන්වා කියනවා පුද්ගලයන්ව හිරගෙදර දාන්න කියලා. ඇමැතිවරු තීරණය කරනවා කාටද නඩු දාන්නේ කියා.

රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියනවා සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂ නායකකම දුන්නේ නැත්නම් වෙනම සන්ධානයකින් ඉදිරි මැතිවරණයට එනවා කියා. එජාපය ඇතුළේ අද මහ බෙදීමක් ඇති වී තිබෙනවා. පාර්ලිමේන්තුව පටන් ගත් පළමු දවසේ සජිත් ප්‍රේමදාස මහතා ළඟින් වාඩිවෙන්නවත් රනිල් වික්‍රමසිංහ මහතා කැමති වුණේ නැහැ. නායකයා සහ නියෝජ්‍ය නායකයා අතර තිබුණ අරගලය අද ප්‍රසිද්ධියේ පෙන්නුම් කරනවා.

චන්දිමා කරුණාරත්න

නව අදහස දක්වන්න