විපක්ෂය බොරු බිල්ලෙක් මවාපාමින් අධිකරණයේ ස්වාධීනත්වයට අගෞරව කරනවා | දිනමිණ

විපක්ෂය බොරු බිල්ලෙක් මවාපාමින් අධිකරණයේ ස්වාධීනත්වයට අගෞරව කරනවා

අනුර ප්‍රේමලාල්

වත්මන් රජය යටතේ නීතිය සහ අධිකරණ පද්ධතිය ස්වාධීනව ක්‍රියාත්මක වන බවත්, නීත්‍යානුකුලව සිදු කරන අත්අඩංගුවට ගැනීම් කෙරෙහි රජයේ කිසිදු මැදිහත් වීමක් සිදු නොකරන බවත්, මෙය රජය විසින් කරන ක්‍රියාවක් බවට ජනතාව තුළ වැරැදි මතයක් නිර්මාණය කරමින් බොරු බිල්ලන් මවා පෑමට යෑමෙන් විපක්ෂය නීතියේ සහ අධිකරණයේ ස්වාධීනත්වයට අගෞරව කරමින් සිටින බවත් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කරයි.

රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ඉකුත් දා (05) පැල්මඩුල්ල, ගොඩගම ප්‍රදේශයේ පැවති පාක්ෂික හමුවකට එක් වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය ඇමැතිවරයා මෙසේ ද කීය.

වත්මන් ආණ්ඩුවේ ජනතාවාදී වැඩපිළිවෙළ ඉවසා දරා ගත නොහැකි විපක්ෂයේ ඇතැම් පිරිස් රජය පිළිබඳ ජනතාව තුළ වැරැදි මතයක් නිර්මාණය කිරීමට උත්සාහ කරනවා. පසුගිය රජය සමයේ එක්සත් ජාතික පක්ෂය දේශපාලන පළිගැනීම් වෙනුවෙන් නීතිය නවන්න කටයුතු කළ ආකාරය හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් සහ දිල්රුක්ෂි ඩයස් රටට ම හෙළි කළා. අත්අඩංගුවට ගන්නේ කවුද? ගන්නේ කොහොමද? මේ දේවල් එදා තීරණය ක‍ළේ අරලියගහ මන්දිරයේ දී. ඒ විතර ද ඒ පිළිබඳ නඩු අහන්න විශේෂ අධිකරණ පිහිටුවීමට කටයුතු කළා. දේශපාලන පළිගැනීම් සඳහා එජාප රජය නීතිය කොතරම් අවභාවිත කළාද කියනවා නම් ඇප ලබා ගැනීමට හෝ නොහැකි වන ලෙස පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනු කිරීමට පවා ක්‍රියා කළා. එජාපය එදා වගේම නීතියේ අධිපත්‍යයට අගෞරව කරන්න වර්තමානයෙත් කටයුතු කරනවා. නීතිය ආරක්ෂා කරන අංශවල වගේම අධිකරණය තුළ කටයුතු කරන්නේත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාල සීමාවේ පත් කළ නිලධාරීන්මයි. අඩුම තරමේ වත්මන් රජය ඒ නිලධාරීන් වෙනස් කරන්නවත් කටයුතු කළේ නෑ. එහෙම තිබෙද්දී තමයි විපක්ෂය මෙවැනි බොරු චෝදනා රජයට එල්ල කරමින් ජනතාව තුළ වැරැදි මතයක් ඇති කරන්න හදන්නේ. සාධාරණ හේතු කාරණා අනුව අත්අඩංගුවට ගැනීම් සිදු කරන එක, නීතිය ක්‍රියාත්මක කරන එක ආණ්ඩුවක කටයුත්තක් නොවෙයි. ඒකට වෙන් වූ ස්වාධීන ආයතන තිබෙනවා. ඒ හරහා සිදු වන ස්වාධීන පරික්ෂණ සහ නීතිමය ක්‍රියාවලියක් තිබෙනවා. මේ පිළිබඳව හරිහැටි අවබෝධයක් නොමැති පිරිස් කරන බොරු චෝදනාවලට රැවටෙන්න තරම් මේ රටේ ජනතාව නුගත් පිරිසක් නොවන බව කිව යුතුයි.

එළැඹෙන මහ මැතිවරණයට විපක්ෂයට වේදිකාවල කියන්න සටන් පාඨයක් වත් නැතිව යන බව දැනගෙන වැරැදි මත සමාජ ගත කරන්නයි ඔවුන් උත්සාහ ගනිමින් ඉන්නේ. අපි ඔවුන්ට කියනවා ජනතාව රවට්ටන දේශපාලනයක් කරන්න එපා. නීතිය පිළිබඳ තිබෙන ගරුත්වය කෙලෙසන්නත් එපා කියලා. ජනතාවගෙන් අපි ඉල්ලන්නේ මේ රට ගොඩගන්න පුළුවන් හොඳම අවස්ථාව මේක. ක්‍රමයෙන් ඉදිරියට යන මේ රට ආ පස්සට හරවන පාප කර්මයට ඔබ දායක වෙන්න එපා කියලා. ශක්තිමත් පාර්ලිමේන්තුවක් ඇති කර රටට, ජාතියට ආදරේ කරන නායකයෙක් සමඟ රට ගොඩගැනීමේ මානුෂීය මෙහෙයුමට එකතු වන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

නව අදහස දක්වන්න