තාක්ෂණික කමිටුවක අනුමැතියෙන් තොරව හිටපු සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් ටී ෂර්ට් සකස් කරලා | දිනමිණ

තාක්ෂණික කමිටුවක අනුමැතියෙන් තොරව හිටපු සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් ටී ෂර්ට් සකස් කරලා

අසේල කුරුළුවංශ

හිටපු සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් සමන් ප්‍රියන්ත බණ්ඩාර මහතා අලුතින් සමෘද්ධි පත්වීම් ලබාදීම සඳහා විධිමත් තාක්ෂණික කමිටුවක අනුමැතියෙන් තොරව ටී ෂර්ට් 126,000ක් සකස් කර තිබෙන බව සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන (බැංකු, කාර්යාල හා ක්ෂේත්‍ර) නිලධාරීන්ගේ සංගමයේ සභාපති එන්. ඒ. එම්. අයි. පී. අබේසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවැසුවේ මහනුවර උඩරට කලා සංගම් ශාලාවේ දී ඊයේ (07) පැවති මාධ්‍ය හමුවකදීය. එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

තාක්ෂණ නිලධාරීන් හෝ මාණ්ඩලික නිලධාරීන් වෙනුවට මේ කමිටුවට පත් කර තිබෙන්නේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ හෙන්චයියන්. පසුගිය යහපාලන ආණ්ඩු සමයේ සමෘද්ධි දෙපාර්තමේන්තුවේ මහා පරිමාණ වංචා සහ දූෂණ බොහොමයක් සිදුව තිබෙනවා. ඊට අධ්‍යක්ෂ ජනරාල්වරයාත්, ඇමැතිවරයාත්, ඔහුගේ ගෝල බාලයනුත් වග කිව යුතුයි.

වත්මන් ආණ්ඩුව පත්ව මාසයක පමණ කාලයක් ගතව ගිය ද තවමත් මේ චෝදනා ලත් අධ්‍යක්ෂ ජනරාල්වරයා තනතුරේ රැඳී සිටිනවා. පසුගිය ආණ්ඩුව බලයේ රඳවා ගැනීමට සමෘද්ධි දෙපාර්තමේන්තුවේ මුදල් වැය කරමින් දේශපාලන කටයුතුවල නිරත වූ අධ්‍යක්ෂ ජනරාල්වරයා අදටත් තනතුරේ රැඳී සිටිමින් කරන්නේ ඔහුගේ පාලනයට එරෙහි පිරිස් මර්දනය කිරීමයි.

මේ ආණ්ඩුව බිහි කරන්න අසීමිත කැපවීම් කළ සංගම් අතර සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන (බැංකු, කාර්යාල හා ක්ෂේත්‍ර) නිලධාරීන්ගේ සංගමය ද සිටිනවා. එසේ තිබිය දී දෙපාර්තමේන්තුව විනාශ කරන්නට ක්‍රියා කළ පුද්ගලයකු තවමත් නතතුරේ රැඳී සිටීම කනගාටුවට කරුණක්. ඔහුට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාවටත්, ප්‍රසම්පාදන කමිටුවටත්, ශ්‍රී ලංකා ප්‍රසම්පාදන කොමිසමටත් පැමිණිලි කර තිබෙනවා.

අමාත්‍යාංශ ලේකම්වරියට මේ අධ්‍යක්ෂ ජනරාල් සමඟ වැඩ කටයුතු කරගෙන යෑමේ අපහසුතාවක් නිර්මාණය වී තිබෙනවා. කඩිනමින් මොහු වෙනුවට වෙනත් අයකු පත් නොකළහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අකමැත්තෙන් වුව ද යෑමට සිදු වෙනවා. මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන් බොහෝ දෙනකු දෙපාර්තමේන්තුව අතහැර යෑමට තරම් මොහුගේ අත්තනෝමතික පාලනය හේතු වූණා.

චක්‍ර ලේඛන අභියෝගයට ලක් කරමින් අරලියගහ මන්දිරයේ දී සමෘද්ධි පත්වීම් 5000ක් දීමට මොහු පසුගිය කාලයේ කටයුතු කළා. මේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ඇමැති දයා ගමගේ මහතාගේ හොර නඩය එකතු වී කළ දූෂිත ක්‍රියා සම්බන්ධ ලිපිගොනු මිටි ගණන් තිබෙනවා.

නව අධ්‍යක්ෂ ජනරාල්වරයකු නම් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් යොමු කර සති දෙකක පමණ කාලයක් ගතව තිබුණත් මේ පත් කිරීම ප්‍රමාද වීමෙන් අධ්‍යක්ෂ ජනරාල්වරයා තම අකටයුතුකම් තවත් වේගයෙන් සිදු කරමින් සිටිනවා. රැකියා ලක්ෂයක් දුප්පත්ම දරුවන්ට ලබා දෙන බවට ජනපති කරන ප්‍රකාශය දිවි නැඟුම පනත හරහා ඉටු කරන්නට සමෘද්ධිය සූදානම්. නමුත් මේ දූෂිත අධ්‍යක්ෂ ජනරාල් සමඟ ඒ කටයුත්ත කළ නොහැකියි.

පරිගණක ක්‍රියාකරු සහ වැඩබලන සමෘද්ධි කළමණාකරු කියා හොර පත්වීම් පසුගිය ආණ්ඩු සමයේ මොහු ලබා දුන්නා. සමෘද්ධි දෙපාර්තමේන්තුවේ නීත්‍යානුකූල නොමැති තනතුරුවලට පත් කිරීම් කර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ කළමනාකරු නැමති නීත්‍යානුකූල නොවන පත්වීමේ නමින් නීතිපති දෙපාර්තමේන්තුවට ලිපි පවා යොමු කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් සමෘද්ධි කම්කරු සංගමයේ ලේකම් ශාන්ත බණ්ඩාර, සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන (බැංකු, කාර්යාල හා ක්ෂේත්‍ර) නිලධාරීන්ගේ සංගමයේ භාණ්ඩාගාරික ආර්. ඩී. කේ. සේනාධීර, ලේකම් එම්. වී. බස්නායක මහත්වරු ද මේ අවස්ථාවට සහභාගි වූහ.

 

නව අදහස දක්වන්න