‘ගම්පෙරළිය’ වැඩසටහනේ වංචා දූෂණ සොයන්න කැබිනට් අනු කමිටුවක් | දිනමිණ

‘ගම්පෙරළිය’ වැඩසටහනේ වංචා දූෂණ සොයන්න කැබිනට් අනු කමිටුවක්

බුද්ධිකා ඉඹුලාන

ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී පසුගිය ආණ්ඩුව මඟින් සිදු වූ බව කියන නොයෙකුත් ආකාරයේ වංචා දූෂණ සොයා බැලීමේ කැබිනට් අනු කමිටුවක් පත් කිරීමට ආණ්ඩුව තීරණය කැර තිබේ.

 පසුගිය දා (2) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට තමන් ඉදිරිපත් කළ යෝජනාවක් අනුව මෙම තීරණය ගෙන ඇති බව ඊයේ (7) ධීවර හා ජලජ සම්පත් අැමැති ඩග්ලස් දේවානන්ද මහතා සඳහන් කෙළේය.

ගම්පෙරළිය වැඩසටහන ක්‍රියාත්මක කළ කිළිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් කළ පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් සොයා බලා අනාවරණය කරගත් තොරතුරු සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය වෙත කරුණු දැක්වූ බවද ඒ මහතා මහතා සඳහන් කෙළේය.

එක් ඡන්ද කොට්ඨාසයකට රුපියල් මිලියන 300 බැගින් කිළිනොච්චිය දිස්ත්‍රික්කයට ලබා දී ඇති මුදල් අයථා ලෙස පරිහරණය කිරීමේ සිද්ධි කිහිපයක් එහිදී අනාවරණය කැර ගැනීමට හැකි වූ බවද අැමැතිවරයා පැවසීය. යහපාලන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ගත් තීරණයකට අනුව රටේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම, ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය කිරීම සහ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා 2018 වසරේ ආරම්භ කරන ලද ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්ෂේත්‍ර 12ක් ආවරණය වන පරිදි සෑම ඡන්ද කොට්ඨාසකම ක්‍රියාත්මක කෙරුණි.

නව අදහස දක්වන්න