2025 දී කෘෂි අපනයන ආදායම බිලියන 100ක් කරනවා | දිනමිණ

2025 දී කෘෂි අපනයන ආදායම බිලියන 100ක් කරනවා

රුපියල් බිලියන 65ක් වන වත්මන් කෘෂි අපනයන ආදායම 2025 වර්ෂය වන විට රුපියල් බිලියන 100 දක්වා වැඩි කිරීම අපේක්ෂාව බව වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම කැබිනට් අමාත්‍ය රමේෂ් පතිරණ පවසයි. රටේ ගොවි ජනතාව බල ගැන්වීම ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ ප්‍රධාන අපේක්ෂාවක් බවත් පැවසූ ඇමතිවරයා මෙසේද පවසා සිටියේය .

ශ්‍රී ලාංකික ජනතාවගේ අක්මුල් විහිදී තිබෙන්නේ කෘෂිකර්මය මතයි එය ශක්තිමත්ව බල ගැන්වීම ජාතික යුතුකමක් හා වගකීමක් . එය නැවතත් ස්ථාපික කිරී මට සෑම පියවරක්ම ගැනීමට කටයුතු කරනවා. කුළුබඩු ඇතුළු අපනයන කෘෂිබෝග සඳහා නව වෙළෙඳපොළ අවස්ථා පුළුල් කිරීම, මේ සම්බන්ධව කටයුතු කරන රටේ අනිකුත් ආයතනවලින් ලැබිය යුතු අන්තර් සහයෝගිතාව ලබාදීමට මෙන්ම ඉහළ තාක්ෂණයෙන් හා ගුණාත්මයෙන් හෙබි කුළුබඩු නිෂ්පාදනය සඳහා හැකි සෑම පියවරක්ම ගැනීම ආර්ථික අභියෝගය හමුවේ අත්‍යවශ්‍ය පියවරක්Ó යනුවෙන් ඇමතිවරයා පවසා සිටියේ වසර 2020 දී ක්‍රියාත්මක කිරීමට යෝජිත අපනයන කෘෂි බෝග සංවර්ධන සැලැස්ම පිලිබඳ ගැටඹේ පිහිටි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ පසුගියදා පැවතී සාකච්ඡාවේදීය. එසේම දැනට අත්හිටුවා තිබෙන වගා ආයෝජන ආධාර වැඩසටහන ඉදිරියේදී යළිත් ක්‍රියාවට නැගීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ද අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය. 

මෙහිදී තවදුරත් අදහස් දැක් වූ අමාත්‍යවරයා, පසුගිය කාල වකවානුව තුළදී කුරුඳු හා ගම්මිරිස් බෝගයන්හි මිල අඩුවීමට හේතු ද අදාල නිලධාරීන්ගෙන් විමසා සිටියේය. ඉන්දියාව, මෙක්සිකෝව වැනි මධ්යටම ආදායම් ලබන රටවලට කුළුබඩු අපනයනය කිරීමට අමතරව ජපානය , ඇමෙරිකාව වැනි රටවල් තුළ නව වෙළෙඳපොළවල් හඳුනා ගැනීමේ ක්‍රමවේද තිබේද යන්න සොයා බැලිය යුතු බවටද උපදෙස් දුන්නේය .

ඉහළ ආදායම් ලබන රටවලට කුළුබඩු අපනයනය කිරීමේදී ගුණාත්මකභාවය හා ප්‍රමිතීන් පිළිබඳ සැලකිලිමත් විය යුතු බැවින් කුරුඳු වැනි අපනයන කෘෂි බෝග සඳහා කුරුඳු අපනයනකරුවන් සමඟ සාකච්ඡා කොට ගැසට් පත්‍රයක් ඉදිරියේදී නිකුත් කිරීමට ක්‍රියාමාර්ග ගත යුතු බවද ප්‍රකාශ කළේය. එසේම කොකෝවා වාර්ෂිකව මෙට්රියක් ටොන් 5000ක් පමණ මෙරටට ගෙන්වීම සඳහා රුපියල් කෝටි 350ක් පමණ වාර්ෂිකව වියදම් වන බැවින් ක්‍රනුකූලව මෙම ආනයනය අඩු කළ යුතු බවත් කොකෝවා වගාවට ජනතාව මීට වඩා යොමු කළ යුතු බවත් පෙන්වා දුන්නේය. එසේම දෙස් විදෙස් සංචාරකයන්ගේ අවධානය යොමු වන කුළුබඩු උයන්ද නිසි ප්‍රමිතියකට අනුව නිර්මාණය කිරීමට අවධානය යොමු කිරීම කෙරෙහිද අමාත්‍යවරයාගේ අවධානය මෙහි දී යොමු විය.

එසේම ඉදිරියේදී කුළුබඩු ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ක්‍රියාමාර්ග රැසක් ගැනීමට අදහස් කරන බවත් දේශීය කුළුබඩු නිෂ්පාදනවල නිෂ්පාදන ප්‍රවර්ධනය , ගුණාත්මය වැඩි කිරීම හා වෙළෙඳපොළ ප්‍රවර්ධනය කෙරෙහි තවදුරටත් සැලකිලිමත් විය යුතු බවද ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට සහභාගි වු අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ද අදහස් දක්වමින් කියා සිටියේ අපනයන කෘෂිබෝගවල ආදායම වැඩි කිරීමටත් ගොවියාගේ අතමිට සරු ආර්ථිකයක් බිහි කිරීමටත් කටයුතු කරන බවයි. ගොවි ජනතාවට තව දුරටත් මහ මග උද්ඝෝෂණ කිරීමට ඉඩ නොතබන බව පැවසු අමාත්‍යවරයා කෘෂි අපනයන ආදායම ඉහළ නංවා ගැනීමට ගොවි ජනතාවට අවශ්‍ය සහනාධාර ලබාදීමට කටයුතු කරන බවද පැවසීය. වත්මන් රජය ගොවි ජනතාවගේ අනාගතය වෙනුවෙන් කිසිදු රජයක් නොගත් තීන්දු තීරණ රැසක් මේ වන විටත් ගෙන තිබෙන බව පැවසූ අමාත්‍යවරයා රු.400ට විකුණා ගත නොහැකිව තිබු ගම්මිරිස් කිලෝව රු.800ට අලෙවි කර ගැනීමට ක්‍රියාමාර්ග ගත් බවද පැවසීය. මේ වනවිට ආනයනය තහනම් කර ඇති කුළුබඩු බෝග වැවීම සඳහා කටයුතු කළ යුතු බවත් එසේ නොකළහොත් එම බෝග යළිත් විදේශ රටවලින් ආනයනය කිරීමට සිදුවිය හැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අම්පාර , පොළොන්නරුව වැනි දිස්ත්‍රික්කවල වගා නොකරන කුඹුරු ඉඩම් විශාල වශයෙන් තිබෙන බවත් මේ ඉඩම් පිළිබඳ කිසිවෙකුගේ අවධානයක් මෙතෙක් යොමු වී නොමැති බවත් මේවා අපනයන කෘෂිබෝග වගාව සඳහා සුදුසු බැවින් ජල සම්පාදනය ක්‍රම යටතේ වගා කිරීමට ඇති හැකියාව පිළිබඳ අවධානය යොමු කරන ලෙසත් පැවසිය.

මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍යංශයේ අතිරේක ලේකම් සී. සී මුහන්දිරම්ගේ, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ. පී. හීන්කෙන්ද, අධ්‍යක්ෂ (සංවර්ධන) ජනක ලින්දර මහතා ඇතුළු අධ්‍යක්ෂවරු හා දෙපාර්තමේන්තුවේ නිලධාරීහු රැසක් සහභාගි වුහ.

දිශාන්ති නිරෝෂා කොඩිතුවක්කු

නව අදහස දක්වන්න