රාජාසන කතාවේ සුබවාදී දැක්ම | දිනමිණ

රාජාසන කතාවේ සුබවාදී දැක්ම

පාර්ලිමේන්තුව ජනතාවගේ ගෞරවය දිනාගත් ස්ථානයක් බවට පත් කිරීමේ මූලික වගකීම පැවරෙන්නේ මහජන නියෝජිතයන්ටය. ජනපතිවරයාට මේ බව යළි යළිත් සිහිපත් කරන්නට සිදුව තිබෙන්නේ මහජන නියෝජතයින් බොහෝ පිරිසක් තම වගකීම් අමතක කර ඇති බැවිනි. ජනතා ඡන්දය ලබා ගැනීම පිණිස මැතිවරණ කාලසීමාවේදී ගෙන් ගෙට යන අපේක්ෂකයින් මැතිවරණය ජයගත් පසු පැත්ත පළාතක එන්නේ නැත. ජනතා සේවය මහජන නියෝජිතයකුගේ මූලික වගකීම බව ජනපතිවරයා සිහිපත් කරන්නේ නොයෙක් තනතුරු ඔස්සේ හිමිවන වරප්‍රසාද භුක්ති විඳිමින් ජනතා සේවය අමතක කර කටයුතු කරන තැනැත්තන්ටය.

අටවන පාර්ලිමේන්තුවේ සිවුවන සභාවාරය විවෘත කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ රාජාසන කතාව පිළිබඳ සමාජය තුළ මේ වන විටත් විවිධ කතා බහ ඇති වෙමින් තිබේ. එහි ගුණ අගුණ පෙන්වා දෙමින් නොයෙක් අදහස් පළ කරන්නට දේශපාලනඥයෝ කටයුතු කරමින් සිටිති. ඊළඟ මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් ඡන්ද ව්‍යාපාරය මෙහෙයවීමට අපේක්ෂා කරන විපක්ෂ කණ්ඩායම් මෙහි ගුණවලට වඩා අගුණ දකින්නට උත්සාහ කිරීම පිළිබඳ අප පුදුම නොවිය යුත්තේ එය මෙරට දේශපාලන සංස්කෘතියේම කොටසක් බවට පත්ව තිබෙන බැවිනි. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය සභාගත කරමින් ජනපතිවරයා කළ කතාව පිළිබඳ මෙරට පමණක් නොව විදේශිය රටවල උදවිය පවා උනන්දුවක් දැක්වූහ. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ධූරයට පත්වූයේ මෙයට පෙර එම ධූරයට පත්වූ අයට වඩා තරමක් වෙනස් ආකාරයෙනි. මේ සියලු දෙනා ජනතා ඡන්දයෙන් පත්වූ බව සැබෑ වුවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති කරවන්නට තරම් සිංහල බෞද්ධ ජනතාව අතරින් අති බහුතරය මෙයට පෙර කිසිදු ජනපතිවරයකු වෙනුවෙන් මේ ආකාරයෙන් ඡන්දය පාවිච්චි කර නොමැත. ජනපතිවරණයට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා සිංහල ජාතිවාදියකු ලෙස හැඳින්වීමට ඇතැම් පිරිස් උත්සාහ කළ බව රටම දන්නා කරුණකි. තමන් අන්තවාදය පිටු දකින සියලු ජන කොටස් සමඟ එකට එකතුවී රට දියුණු කිරීමට කටයුතු කරන නායකයකු බව එතුමා රාජාසන කතාව මගින් ඔප්පු කර පෙන්නුවේය. එය සැබවින්ම මෙරට සියලු ක්ෂේත්‍ර ස්පර්ශ කරන්නට සමත්වූ පරිපූර්ණ කතාවක් ලෙස හැඳින්වීම නිවැරදිය.

රාජ්‍ය ආරක්ෂාව, ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික සංවර්ධනය හා විනය පිළිබඳව ඒ තුළ මූලිකත්වයක් ලබාදී තිබිණි. පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරු නොයෙක් පක්ෂවලට අයත්ය. ප්‍රධාන පක්ෂ සමඟ ඇතැම් පක්ෂ සන්ධානගතව මැතිවරණයට තරඟ කිරීම තුළින් එම පක්ෂ අතර යම් එකඟතාවන් ගොඩනැඟී තිබේ. ආණ්ඩු පක්ෂය හා විපක්ෂය ලෙස මෙම කණ්ඩායම් පාර්ශව දෙකකට බෙදී පාර්ලිමේන්තුව තුළ කටයුතු කිරීම සාමාන්‍ය තත්ත්වයයි. ආණ්ඩුව සිදු කරන සියලු දේට විරුද්ධ වීම විපක්ෂයේ විලාසිතාවක් බවට පත්වීම නිසා බොහෝ විට මහජන සුබසෙත පිණිස කටයුතු කිරීමේ අවස්ථාව මහජන නියෝජිතයින් තුළින් ගිලිහී යන අවස්ථා දක්නට ලැබේ.

ජනතා සුබසෙත

උත්තරීතර සභාවේ අසුන් ගෙන සිටින මහජන නියෝජිතයින් කුමන පක්ෂයකට අයත් වුවත් සියලු දෙනාගේම මූලික වගකීම වන්නේ මෙරට ජනතාවගේ සුබසෙත පිණිස ක්‍රියා කිරීම බව ජනපති සිය කතාව තුළින් අවධාරණය කළේය. මෙතෙක් පාර්ලිමේන්තුව තුළින් එම කටයුත්ත කොතෙක් දුරට ඉටුවී තිබෙන්නේද යන්න මහජන නියෝජිතයින් තම තමන්ගේ හෘද සාක්ෂියෙන් විමසා බලා තේරුම් ගත යුතුව ඇත. ජනතාව සිය මනාපය ලබාදී මන්ත්‍රීවරු ලෙස පුද්ගලයින් පාර්ලිමේන්තුවට පත්කර එවන්නේ තමන්ගේ ප්‍රශ්නවලට විසඳුම් අපේක්ෂාවෙනි. මැතිවරණ පමණක් ඉලක්ක කර පක්ෂ විපක්ෂ ලෙස කටයුතු කරනු වෙනුවට ඒ බව තේරුම් ගෙන සැවොම රටේ යහපත පිණිස ක්‍රියා කිරීම කාලීන අවශ්‍යතාවකි. ජනපතිවරයා සිය කතාවෙන් මේ සඳහා සියලුම මහජන නියෝජිතයින්ට අවස්ථාවක් ලබාදී තිබේ. එයට ඔවුන් යහපත් ප්‍රතිචාර දක්වනු ඇතැයි ජනතාව අපේක්ෂා කරති.

මෙවර ජනපතිවරණයේදී ජනතාව ඡන්දය පාවිච්චි කළේ මෙරට දේශපාලන සංස්කෘතියේ පැහැදිලි වෙනසක් අපේක්ෂාවෙනි. ජාතිවාදය පදනම් කර ගනිමින් ගොඩනැඟුණු දේශපාලන න්‍යාය පත්‍ර ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ බවත් තවදුරටත් රජුන් තනන්නන්ගේ භූමිකාව රඟ දක්වමින් රටේ දේශපාලනය හසුරුවන්නට කිසිවකුට ඉඩ නොතබන බව බහුතර ජනතාව ඔප්පු කර පෙන්වූ බවත් ජනපතිවරයා පවසයි. මෙම තත්ත්වය මෙයට පෙර පැවැති ජනපතිවරණ සියල්ලේදීම දක්නට ලැබුණු තත්ත්වයකි. ප්‍රධාන පක්ෂවලට නොයෙක් කොන්දේසි ඉරිපත් කරමින් සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් නොමැති පක්ෂ පවා කේවල් කිරීමේ ක්‍රියාවලියක නිරතවූ අතර එය පරාජය කිරීමට හැකි පසුබිමක් නිර්මාණය නොවීම තුළ ඔවුහු තව තවත් කොන්දේසි දැඩි කරන්නට පෙළඹුණහ.

පසුගිය ජනපතිවරණයේදී ද පක්ෂවලින් මේ ආකාර විවිධ ඉල්ලීම් ඉදිරිපත් විය. අසාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කරමින් කේවල් කිරීමේ නිරතවූ පක්ෂවලට මෙවර ජනපතිවරණයේදී බහුතර ජනතාව කදිම පිළිතුරක් ලබාදී තිබේ. එසේ වූ පමණින් එම කණ්ඩායම් ප්‍රතික්ෂේප නොකරන බව කියන ජනපතිවරයා මෙම යථාර්ථය තේරුම් ගෙන දැන් පටු දේශපාලන අරමුණුවලින් හා ජාතින් අතර බේද ඇති කිරීමෙන් ඈත්ව ජාතිය ගොඩනැඟීමේ කර්තව්‍යය වෙනුවෙන් එකට එකතු වන ලෙස ඉල්ලීමක්ද කරයි. ජනපතිවරයා පෙන්වා දෙන පරිදි ජනතා පරමාධිපත්‍යය සුරැකිය හැකි වන්නේ බහුතර ජනතාවගේ අපේක්ෂාවන්ට ගරු කළොත් පමණි.

මෙරට නීති සම්පාදනය කරන්නා වූ උත්තරීතර ස්ථානය ලෙස පිළිගන්නා පාර්ලිමේන්තුව තුළ මහජන නියෝජතියින්ගේ හැසිරීම සම්බන්ධයෙන් ජනතාවට තිබෙන්නේ සුබවාදී ආකල්පයක් නොවේ. පාර්ලිමේන්තු සභා වාර සියැසින් දැක ගැනීමට පැමිණි පාසල් දරුවන් සභා ගැබෙන් ඉවත් කිරීමට පවා කතානායකවරයාට සිදුවූ අවස්ථා පසුගිය කාලයේදී නිතර දක්නට ලැබිණි. ගෞරවණීය පාර්ලිමේන්තුවක් යළි ගොඩනැඟීම කාගේත් සිහිනයක්ව පවතින අවස්ථාවක ජනපතිවරයා සිය රාජ­ාසන කතාව තුළින් ඒ බව කතා කරන්නටද අමතක නොකළේය. ජනතාවගේ සැබෑ ගැටලු සාකච්ඡා කෙරෙන,ජාතික ප්‍රතිපත්ති සංවාදයට බඳුන් වන,ව්‍යවස්ථාවේ වගකීම නිසි ලෙස ඉටුවන ආදර්ශවත් ස්ථානයක් බවට මැතිසබය පත්විය යුතුව තිබෙන බව ජනපතිවරයා ප්‍රකාශ කරන්නේ එබැවිනි. පාර්ලිමේන්තුව ජනතාවගේ ගෞවරය දිනාගත් ස්ථානයක් බවට පත් කිරීමේ මුලික වගකීම පැවරෙන්නේ මහජන නියෝජිතයන්ටය. ජනපතිවරයාට මේ බව යළි යළිත් සිහිපත් කරන්නට සිදුව තිබෙන්නේ මහජන නියෝජතයින් බොහෝ පිරිසක් තම වගකීම් අමතක කර ඇති බැවිනි. ජනතා ඡන්දය ලබා ගැනීම පිණිස මැතිවරණ කාලසීමාවේදී ගෙන් ගෙට යන අපේක්ෂකයින් මැතිවරණය ජයගත් පසු පැත්ත පළාතක එන්නේ නැත. ජනතා සේවය මහජන නියෝජිතයකුගේ මූලික වගකීම බව ජනපතිවරයා සිහිපත් කරන්නේ නොයෙක් තනතුරු ඔස්සේ හිමිවන වරප්‍රසාද භුක්ති විඳිමින් ජනතා සේවය අමතක කර කටයුතු කරන තැනැත්තන්ටය. මෙය ජනතාව කලක පටන් ප්‍රකාශ කරන දෙයකි. ජනපතිවරයාගේ කතාව ඔස්සේ පාර්ලිමේන්තුව පුරා පැතිර ගියේ ජනතා හඬ යැයි පැවසීම වරදක් නැත.

ජාතික ආරක්ෂාව

පසුගිය ජනපතිවරණ වේදිකාවේ ප්‍රධාන මාතෘකාවක් බවට ජාතික ආරක්ෂාව පත්ව තිබිණි. පාස්කු ප්‍රහාරයත් සමඟ රටේ ආරක්ෂාව සම්බන්ධව ජනතාව තුළ බරපතළ සැක මතු විය. බුද්ධි අංශ ජාලය ප්‍රතිසංවිධානය කොට ශක්තිමත් කර තිබෙන බවත් දක්ෂ නිලධාරීන්ට වගකීම් බාරදී තිබෙන බවත් ජනපතිවරයා අවධාරණය කරයි. ජනතාව අපේක්ෂා කරන්නේ මෙයයි. ජාතික ආරක්ෂාව තහවුරු කරනවා කියනු වෙනුවට එය කර තිබෙන ආකාරයද පෙන්වා දීමට ජනපති පියවර ගෙන තිබේ. ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු පසුගිය කාලයේදී අන්තවාදය රට තුළ යම් ආකාරයකට හිස ඔසවන ස්වරූපයක් දක්නට ලැබිණි. මේවා පාලනය කිරීම අත්‍යාවශ්‍ය කාරණයකි.

මත් උවදුරද ඒ හා සමාන ගැටලුවකි.මේවා පිටු දැකීම පිණිස විශේෂ අවධානයක් යොමු කර තිබෙන බව ජනපතිවරයා කියයි. රටේ සම්පත් බෙදීයාමේ විෂමතා පවතින බව කලක පටන් අසන්නට ලැබෙන කතාවකි. එය උතුර දකුණ ලෙස විග්‍රහ කිරීම ඔස්සේ කිසියම් ආකාරයක ජාතිවාදයක් මතු කිරීමට උත්සහ කිරීම පසුගිය කාලයේ දක්නට ලැබිණි. උතුර දකුණ ලෙස නොව දිස්ත්‍රික්ක වශයෙන් ගෙන මේ කාරණය කතා කිරීම වඩා උචිතය. ඒ ආකාරයෙන් බැලූ විට සංවර්ධනයේ ප්‍රතිලාභ බෙදී යෑමේ යම් යම් විෂමතා දැකිය හැකිය. රටේ සෑම ජනකොටසකම සංවර්ධනයේ ප්‍රතිලාභ ගලා යායුතු බවට ජනපතිවරයා කරන ප්‍රකාශය වැදගත් වන්නේ මෙම තත්ත්වය තුළය. ආර්ථිකය වර්ධනයක් ළඟා කර ගැනීම පිණිස සංවර්ධනය කළ යුත්තේ කුමන අංශද ඒ සඳහා අපට තිබෙන සම්පත් මොනවාද ඒවා භාවිත කරන්නේ කෙසේද ආදී කරුණු පිළිබඳ නිසි විශ්ලේෂණයක් සිදුකර තිබෙන බව රාජාසන කතාව තුළින් ගම්‍යවෙයි. පසුගිය ආණ්ඩුව මෙරට මානව සම්පත පිළිබඳ කිසිදු තක්සේරුවක් නොකර භෞතික සම්පත් ගැන පමණක් විශේෂ අවධානයක් යොමු කර කටයුතු කරනු ලැබීය. ජනපතිවරයා මානව සම්පත, භූගෝලීය පිහිටීම හා භෞතික සම්පත් යන අංශ තුන කෙරෙහිම අවධානය යොමු කර තිබේ. රටක් නිවැරදි ලෙස සංවර්ධනය කරා මෙහෙයවීමට නම් මෙම අංශ ත්‍රිත්වය කෙරෙහිම අවධානය යොමු කළ යුතුය.

පුරවැසියන් බලගැන්වීම

සහනාධාර යනු රටට බරකි. සහනාධාර ලබාදී ඡන්ද ගොඩ වැඩි කර ගැනීමට වඩා වැදගත් වන්නේ නිරෝගී පුරවැසියන් සක්‍රීය ලෙස ආර්ථික වැඩපිළිවෙළ හා බද්ධ කර ගැනීමය. ඒ සඳහා ඔවුන්ට අවස්ථා ලබා දීම වැදගත්ය. මේ ආකාරයට පුරවැසියන් බල ගැන්වීම ආර්ථික සංවර්ධන ක්‍රියාවලියේදී සාර්ථක ක්‍රමයකි. රටේ තීරණාත්මක ජන කණ්ඩායම තරුණයින්ය. බොහෝ ආණ්ඩු කළේ ඔවුන් අමතක කර කටයුතු කිරීමය. රට තුළ නොයෙක් කැරලි ඇති වීමටද හේතු වූයේ තරුණ කොටස්වල හැඟීම් තේරුම් ගැනීමට පාලකයින් අපොහොසත් වීමය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ධූරයට පත් කිරීම පිණිස මෙරට තරුණ කොටස් ප්‍රමුඛව කටයුතු කරනු ලැබූහ. ජනපති ධූරයට ගෝඨාභය රාජපක්ෂ මහතා පත්වීමෙන් පසු නගර හා ගම් පුරා ඇති තාප්පවල චිත්‍ර අඳිමින් තරුණයින් පෙන්වා දුන්නේ තමන් තුළ පවත්නා උද්යෝගයයි. ජනපතිවරයා තරුණ ගැටලු හඳුනා ගෙන තිබේ. අද තරුණයින් පෙළන ප්‍රධාන ප්‍රශ්නය විරැකියාවයි. තරුණ තරුණයින් ලක්ෂයකට ඉදිරි මාසයේදී රැකියා ලබා දෙන බව ජනපති කියයි. අධ්‍යාපනය හා ආර්ථිකය තුළ තරුණ තරුණියන්ට අවස්ථා තිබිය යුතුය. ඒවා අහුරා දැමීමෙන් සිදු වන්නේ ඔවුන් කැරලි ගැසීමට පෙළඹීමය. එහිදී උතුරේ තරුණයාගේත් දකුණේ තරුණයාගේත් ප්‍රශ්නය එකකි. තරුණ ප්‍රශ්න පිළිබඳව විධායක ජනපතිවරයා විශේෂ අවධානයක් යොමු කර තිබීම රටේ ඉදිරි ගමනට සුබවාදී බලපෑමක් වනු ඇත්තේය.

හැත්තෑ අටේ ව්‍යවස්ථාව මේවන විට 19 වතාවක් සංශෝධනයට ලක්ව තිබේ. වසර හතළිහක පමණ කාලයකදී මේ ආකාරයෙන් සංශෝධන ගණනාවක් ගෙන ඒමට සිදු වීම තුළින් පෙනී යන්නේ එය රටේ අවශ්‍යතා අනුව ගොඩනැඟී නොමැති බවයි. අවසන් වරට ගෙනා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් රටේ අර්බුද ගණනාවක් නිර්මාණය විය. විධායක ජනපති සතු බලතල යම් ප්‍රමාණයකට හීනවී අගමැතිවරයාගේ බලතල ඉහළ ගියේය. මේ නිසා බල කේන්ද්‍රයක් හඳුනා ගැනීමට නොහැකි වීමේ පසුබිමක් නිර්මාණය විය.විධායකය හා ව්‍යවස්ථාදායකය අතර ගැටුම් නිර්මාණය වූයේ මේ නිසාය. පාස්කු ප්‍රහාරයේ වගකීම පැවරෙන්නේ කාටද යන්න සොයාගැනීමට නොහැකි තරමට මෙම ගැටලුව දුරදිග ගියේය. හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අතර බලය සම්බන්ධයෙන් ඇතිවූ අර්බුද අවසන් ප්‍රතිඵලය වූයේ රට විවිධාකාරයෙන් අර්බුද කරා ගමන් කිරීමය.

අද වන විට විධායක ජනපති හා අගමැති ධූරයන්හි ගෝඨාභය රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ යන සොහොයුරන් කටයුතු කරන නිසාත් ඔවුන් අන්‍යෝන්‍ය අවබෝධයෙන් ක්‍රියා කරන නිසාත් අර්බුදයක් දක්නට නොමැති වුවත් වෙනත් දෙදෙනෙකු එම තනතුරුවලට පත්වුව හොත් මේ ආකාරයෙන් කටයුතු සිදු වෙතැයි අපේක්ෂා කළ නොහැකිය. මේ නිසා ව්‍යවස්ථා සංශෝධනයක අවශ්‍යතාව රට හමුවේ තිබෙන බව අප තේරුම් ගත යුතුව ඇත. ජනපති බලතල අඩුකර නාම මාත්‍රික ජනපතිවරයෙක් සහ එම බලතල ජනපතිට ලබාදී තවත් බලසම්පන්න අගමැතිවරයෙක් පත්කර ගන්නවාද නැතහොත් විධායක ජනපති සතු බලතල පෙර පැවැති තත්ත්වයට ගෙන එනවාද කියන කාරණය වෙනම සාකච්ඡා කළ යුතුය.

ව්‍යවස්ථා වෙනසක අවශ්‍යතාව

ජේ.ආර්. ජයවර්ධන මහතාගෙන් ආරම්භ වූ විධායක ජනපති ධූරය මෙතෙක් දරා ඇති පුද්ගල කාලසීමාවන් සැලකීමේදී 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ පවතින අර්බුදය යම් ප්‍රමාණයකට තේරුම් ගැනීමට පුළුවන. ජනපති ධූරයේ ජේ.ආර් ජයවර්ධන මහතා දෙවරක් කටයුතු කළේය. ආර්. ප්‍රේමදාස මහතා පළමු වාරය අවසන් වීමට පෙර මිය ගියේය. ඩී.බී විජේතුංග මහතා ජනපතිවරණයටකට තරග නොකළේය. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මෙන්ම මහින්ද රාජපක්ෂ මහතාද දෙවරක් එම ධූරයේ කටයුතු කළහ. මෛත්‍රිපාල සිරිසේන මහතාට ජනපති ලෙස කටයුතු කරන්නට හැකි වූයේ එක් වාරයක් පමණි. ඔහුට යළි තරග කිරීමට පවා හැකියාවක් නොලැබිණි. එසේ වූයේ ව්‍යවස්ථා සංශෝධනය මගින්ම ජනපති හා අගමැති අතර අරගලයකට මඟ පාදා තිබූ බැවිනි. 

අපේ රටේ සුරක්ෂිතතාව, ස්වෛරීත්වය, ස්ථාවරභාවය හා ඒකීයභාවය ආරක්ෂා කර ගැනීමට නම් දැනට පවතින ව්‍යවස්ථාවට වෙනස්කම් කළ යුතු බව ජනපති අදහසයි. අන්තවාදයේ බලපෑමට නිරන්තරව යටපත්වන අස්ථාවර පාර්ලිමේන්තුවක් රටට අවශ්‍ය නැති බවද ඔහු පවසයි. මෙම අන්තවාදය යැයි කියන වචනයේ වැරදි කොනකින් අල්ලා ගත් පිරිස් ඒ පිළිබඳ විවේචන ඉදිරිපත් කිරීමෙන් පෙනෙන්නේ ඔවුන් වල්ගය පාගා ගෙන ඇති බවයි. පවතින මැතිවරණ ක්‍රමය යටතේ ඉතා අඩු ඡන්ද ප්‍රමාණයකින් පවා මහජන නියෝජිතයෝ පත් වෙති. පාර්ලිමේන්තුව තුළ බහුතරය සකස් කර ගැනීමට යාමේදී සහයෝගය ලබා දීමට කුඩා පක්ෂ නොයෙක් කේවල් කිරීම් කිරීමට පෙළඹීම සම්බන්ධ අත්දැකීම් මෙරට ජනතාවට ඕනෑවටත් වඩා තිබේ. එලෙසින්ම මුදල් හෝ වෙනත් වරප්‍රසාද වෙනුවෙන් විපක්ෂයෙන් ආණ්ඩු පක්ෂයටත් ආණ්ඩු පක්ෂයෙන් විපක්ෂයටත් යන මන්ත්‍රීවරු සිටිති. මෙම පසුබිම තුළ අගමැතිවරයාට පාර්ලිමේන්තුව තුළ බහුතරයක් ගොඩනගා ගැනීම පිණිස නොයෙක් බලපෑම්වලට ලක්වීමට සිදුවීම රටම දන්නා සත්‍යයකි. ජනපතිවරයා අන්තවාදීන් ලෙස හඳුන්වන්නේ මෙම කණ්ඩායම් මිස දෙමළ හෝ මුස්ලිම් ජනතාව නොවේ. මෙවැනි අයගේ බලපෑමට ලක් නොවුණු ස්ථාවර පාර්ලිමේන්තුවක් රටට අවශ්‍ය බවට තර්කයක් නොමැත. පාර්ලිමේන්තුව අස්ථාවර වීමෙන් වැඩි බලපෑමක් එල්ල වන්නේ මන්ත්‍රීවරුන්ට නොව මහජනතාවටය. තමන් පත්කර එවූ පිරිස් තමන් වෙනුවෙන් කටයුතු නොකිරීමෙන් පීඩාවට පත්වන්නේ ඔවුන්ය. ජනතාව අස්ථාවර පාර්ලිමේන්තුවක් අපේක්ෂා කරන්නේ නැත. මෙරටට ඇදී එන ආයෝජන නතර වීමටද එය හේතුවක් වනු ඇත.මේ නිසා අස්ථාවර පාර්ලිමේන්තුවක් බිහි වීමට හේතුවන මැතිවරණ ක්‍රමය යම් ආකාරයක සංශෝධනයකට ලක් කිරීම කෙරෙහි ජනපති අවධානය යොමුව තිබීම සුබවාදී ලක්ෂණයකි.

අසේල කුරුළුවංශ

නව අදහස දක්වන්න