අඩු අවධානයෙන් ලොකු අවදානමක් | දිනමිණ

අඩු අවධානයෙන් ලොකු අවදානමක්

රථය නවත්වා තැබීමේදී එහි යට ඇතිවන තෙල් පැල්ලම් ද රියැදුරන්ගේ අවධානය එතරම් යොමු කර ගන්නා කාරණාවක් නොවේ. නමුත් මෙම තෙල් පැල්ලම් ඇසුරෙන් රථයෙහි යම්කිසි තැනක කුමක් හෝ ගැටලුවක් නිර්මාණය වී ඇත්දැයි සොයා ගැනීමට මූලික හේතු සාධක සපයයි. මේ පිළිබඳ අවධානය නොදක්වා බැහැර කර දැමීම අනතුරකට හේතුවක් විය හැකිය. සියලු පාරිසරික තත්ත්වයන් හිතකර ආකාරයට සකස් කර ගැනීමට රියැදුරකුට හැකියාව නොමැති වුවත් තමාට මුහුණ දීමට ඇති අවදානම ගැන හොඳ අවබෝධයකින් සහ අවදියකින් පසු වීම රියදුරකුට කළ හැකි කාර්යයකි.

ප්‍රවාහනය සඳහා රථවාහන යොදාගැනීම පිළිබඳ සංකල්පය අතීතයේ සිටම මිනිසා සතුව පැවති බවට උදාහරණ බොහෝ ය. තාක්ෂණය භාවිතයෙන් රථවාහන නිෂ්පාදනය කිරීමට බොහෝ කාලයකට පෙර සතුන් උපයෝගී කරගනිමින් භාණ්ඩ ප්‍රවාහනය සහ ගමනාගමනය සඳහා අවශ්‍ය වන රථවාහන නිෂ්පාදනය කරගැනීමට මිනිසා සමත් විය. කටයුතු පහසු කරගැනීම සඳහා වාහනයක අවශ්‍යතාව කෙමෙන් දැඩි වී ප්‍රවාහනය අද වන විට ලෝකයේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්වී තිබේ.

අතීත මිනිසා ගමනක් යාම සඳහා වැය කරන ලද දින, සති, මාස වර්තමානය වන විට පැය, මිනිත්තුවලට පරිවර්තනය වී ඇත්තේ නවීන රථ වාහන බිහිවීම හේතුවෙනි. මිනිසාගේ මූලික අවශ්‍යතාවයක් තරමටම අත්‍යාවශ්‍ය අංගයක් බවට පත්වී ඇති ප්‍රවාහනය, වර්තමානය වන විට යුද්ධයකට එහා ගිය භයානක තත්වයක් නිර්මාණය කර ඇති බව මාර්ග අනතුරු හේතුවෙන් සිදුවන ජීවිත හානි සහ ආබාධිත තත්ත්වයන් පිළිබඳව සංඛ්‍යාලේඛන පරීක්ෂාකර බැලීමේදී පෙනීයයි.

ජීවිතය පහසුකරන අත්‍යවශ්‍ය අවශ්‍යතාවයක් එතරම් භයානක තත්වයක් නිර්මාණය කිරීමට බලපා ඇති හේතු සාධක රාශියකි. රථවාහන අනතුරකදී මූලිකව සියලු දෙනාගේ ඇඟිලි දිගු වන්නේ රථය ධාවනය කරන රියදුරු වෙතටය. රියදුරු සෑම අවස්ථාවකම වැරදි පුද්ගලයා බවට නම් කෙරුණත් යම් යම් කරුණු කාරණා පදනම් කරගනිමින් එසේ වැරදිකරුවකු බවට පත් වීම විටෙක අසාධාරණයකි. රියදුරුගේ ගැටලු සහගත අවස්ථාවන්ට අමතරව යම් යම් පාරිසරික සාධක, තාක්ෂණික ගැටලු ආදී බොහෝ දේ රිය අනතුරු කෙරෙහි බලපෑමක් බවට පත්වෙයි. පාරිසරික සාධක සහ අනෙකුත් දෑ පිළිබඳ විමසීමට පෙර රියදුරකු දැන සිටිය යුතු දේ පිළිබඳ කතාබහ කිරීම කාලෝචිත බව හැඟෙන්නේ, දිනෙන් දින ඉහළ යන අනතුරු සංඛ්‍යාව අවම කර ගැනීම සඳහා රියදුරන් ඇතුළු සමස්ත ප්‍රජාවම දැනුවත්ව සිටිය යුතු නිසාය.

රිය ධාවනයට පෙර රියදුරු දැන සිටිය යුතු කරුණු මෙන්ම සපුරා තිබිය යුතු සුදුසුකම් බොහෝය.

රියැදුරුගේ සුදුසුකම්

රථයක් මහමගට දැමීමට නම් රියදුරුට වලංගු අවසර පත්‍රයක් තිබිය යුතුය. එසේම රිය ධාවනය කරන මොහොතේ අසනීප හෝ වෙහෙස, නිදිමත, තෙහෙට්ටුව ආදිය නො තිබිය යුතු අතර අන්තරායකර ඖෂධ හෝ මත් ද්‍රව්‍ය භාවිතයෙන් තොරව සිටීම මෙන්ම රථයේ ගමන, ගමන් කරන මාර්ගය හා යම් තරමක තාක්ෂණික දැනුමක් ද රියදුරු සතු විය යුතුය.

අසනීප තත්ත්ව රිය ධාවනය කෙරෙහි ඍජු බලපෑම් එල්ල කරයි. දීර්ඝ කාලීනව බලපාන යම් කායික හෝ මානසික ව්‍යාකූල තත්ත්වයන් ඕනෑම පුද්ගලයකු ගේ මානසික ඒකාග්‍රතාව බිඳ දමයි. වාහන ධාවනයේදී මනස නිරවුල් වීම අත්‍යවශ්‍ය කාරණයකි. එයට අමතරව ක්ෂණිකව ඇතිවිය හැකි මීමැස්මොරය, පාචනය, හදවත් රෝග වැනි අසනීප තත්ත්ව නොසිතූ මොහොතක අනතුරක් නිර්මාණය කරන්නට ඉවහල් වේ. එබඳු රෝග පිළිබඳව කලින් දැනුවත් වී සිටීම රියදුරකු විසින් කළ යුතු අනිවාර්ය කාර්යයකි. යම් යම් දේශගුණික සහ පාරිසරික තත්වයන් යටතේ ද සිරුරේ සැඟව ඇති ඇතැම් රෝග මතුවීමට ඉඩ තිබේ. වසරකට වරක් හෝ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය වී සිය සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබාගෙන සිටීම මගින් සිදුවිය හැකි මහා විනාශයක් වළක්වා ගන්නට රියදුරකුට හැකියාව ලැබේ.

එසේම රියදුරු සතුව නිතර දර්ශනය විය හැකි තැනක රැඳවූ හදිසි සම්බන්ධතා අංක සටහනක් තිබිය යුතුය. හදිසියේ ඇතිවන හෘදයාබාධ තත්ත්වයකදී විනාඩි 12 ක කාලයක් තුළ ප්‍රතිකාර නොලද පුද්ගලයකුට ඉන් ඉදිරියට විනාඩි විස්සක් දක්වා කාලය තුළ ප්‍රතිකාර ලැබුවත් නැවත ජීවත් වීමට සිදු වන්නේ සදාකාලික තත්වයක් සමගය. එවන් රෝගයක් වැලඳුණු වහා උපකාර අවශ්‍ය වේ. එබැවින් එබඳු රෝගයක මූලික ලක්ෂණ පිළිබඳ රියැදුරකු දැනුවත්ව සිටිය යුතුය. රිය ධාවනයේ දී පපුවේ හරි මැදින් හෝ පිට මැදින් ඇරඹෙන වේදනාවක් උරහිස දෙසට ගමන් කරනවා දැනෙන්නේ නම් හෝ අපහසුතාවයක් සමග දහදිය දමන්නට පටන් ගත්තා නම් හෘදයාබාධයක පෙර ලකුණු විය හැකි බැවින් ආරක්ෂිතව රථය නවත්වා වහා උපකාර පැතිය යුතුය. එසේම එවැනි සංකූලතාවයක් දැනුණු විගස ඇස්ප්‍රින් පෙති දෙකක් හෝ cardiprin පෙති 4 ක් පානය කිරීම මගින් ක්ෂණික තාවකාලික සහනයක් හිමිවේ.

දියවැඩියා රෝගී තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයකු කෝමා තත්වයට පත් වීමේ වැඩි අවදානමක් තිබේ. රියදුරකුට එවන් තත්වයකට මුහුණ දෙන්නට සිදු වුවහොත් එයින් ඉතා විශාල විනාශකාරී තත්වයක් නිර්මාණය වීමට ඉඩ තිබේ. ආඝාතය ද එතරම්ම භයානක තත්වයකි. රෝගී තත්වයන් සුළු කොට බැහැර නොකළ යුතුය. රියදුරකුට කෙටි කාලයකට වරක් වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම අත්‍යාවශ්‍ය වන්නේ ඉහත හේතු සාධක නිසාය. රියදුරු බලපත්‍රය ලබා ගන්නා විට නැවත වෛද්‍ය පරීක්ෂණයකට භාජනය විය යුතු කාල සීමාව වසර 5ක් ලෙස දක්වා ඇතත් අවම වශයෙන් මාස හයකට වරක්වත් සම්පූර්ණ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය වී වෛද්‍ය වාර්තාවක් ලබාගත හැකි නම් එය ඉතා වැදගත්ය.

නිරෝගී සිරුරක් පවත්වාගෙන යාම සෑම පුද්ගලයකුම කළ යුතු කාර්යයකි. රියදුරු වෘත්තිය වැනි වගකීම් සහගත සහ අනතුරුදායක රැකියාවක නිරත වන පුද්ගලයකු එය අත්‍යවශ්‍යයෙන්ම කළ යුතු බැවින් නිසි පරිදි ව්‍යායාම සහ ආහාර පාලනය ආදිය ගැන සැලකිලිමත් විය යුතුය.

රිය ධාවනයේ දී ඖෂධ භාවිතා කිරීම ද අවධානය දැක්විය යුතු තවත් කරුණකි. විශේෂයෙන්ම වේදනානාශක සහ නිද්‍රාජනක ඖෂධ භාවිත නොකර සිටීම, අසනීපයකට ප්‍රතිකාර ගැනීමේදී සිය රැකියාව පිළිබඳ වෛද්‍යවරයා දැනුවත් කිරීම, එසේම ලබාදෙන ඖෂධ නියමිත වෙලාවට සහ නියමිත මාත්‍රාව අනුව ගැනීම වැදගත්ය.

ටයර් සහ ලාම්පු

රථවාහන අනතුරු සඳහා වන හේතු අතරින් ඇතැම් විට වැරදි අවබෝධය නිසා හෝ අවධානයට ලක් නොවීම නිසා සිදුවන වැරදිවල බලපෑම ඉතා ඉහළය. බස් රථ අනතුරුවලින් සියයට දාහතරක් සිදුවන්නේ එහි ප්‍රධාන විදුලි ලාම්පු ඇසුරෙන් ඇතිවන ඇස් ගිනිකණ වැටීම් තත්ත්වය යටතේ බව බොහෝ දෙනෙක් නොදන්නා කාරණාවකි. විශේෂයෙන්ම බස්රථවල ප්‍රධාන විදුලි ලාම්පු පිහිටා ඇත්තේ කාර්, වෑන්, ත්‍රීවීල් ආදී වෙනත් වාහනවල රියදුරන්ගේ ඇස් මට්ටමෙනි. මේ හේතුවෙන් සිදුවන අනතුරු අවම කිරීම සඳහා ප්‍රධාන විදුලි ලාම්පු සකස් කිරීමේදී නිතරම එය නියමිත කෝණයට වඩා ඉහළට එසවීමෙන් වැළකිය යුතුය. ඒ පිළිබඳව නිසි අවබෝධයක් නොදැක්වීමෙන් සිදුවන්නේ මාර්ගයේ ඉදිරියෙන් පැමිණෙන වාහනවල රියදුරන්ගේ ඇස්වලට සිදුවන බලපෑම හේතුවෙන් අනතුරක් සිදුවීමේ හැකියාව ඉහළ යාමය.

රියෙහි පැති ලාම්පු දෙකද ආකාර දෙකකට සකස්කර තිබේ. වම්පස ලාම්පුව වැඩි කෝණයක් රථයෙන් පිටතට ආලෝකය විහිදීම සහ දකුණු පස පැති ලාම්පුව එතරම් දුරක් ඉවතට විහිදී නොයෑම දක්නට ලැබේ. එසේ සකස් කිරීමට හේතුවී ඇත්තේ වම් පසින් පැමිණෙන කිසියම් වස්තුවක් ඉතා ඉක්මනින් වාහනය වෙත ළඟාවීමට ඇති හැකියාවත් දකුණු පසින් එසේ ළඟා වීමට ඇති හැකියාව අඩුවීමත් හේතුවෙන් වම්පසට වැඩි ආලෝකයක් අවශ්‍ය වීම නිසාය.

රථය නවත්වා තිබීමේදී එහි යට ඇතිවන තෙල් පැල්ලම් ද රියදුරන්ගේ අවධානය එතරම් යොමු කර ගන්නා කාරණාවක් නොවේ. නමුත් මෙම තෙල් පැල්ලම් ඇසුරෙන් රථයෙහි යම්කිසි තැනක කුමක් හෝ ගැටලුවක් නිර්මාණය වී ඇත්දැයි සොයා ගැනීමට මූලික හේතු සාධක සපයයි. මේ පිළිබඳ අවධානය නොදක්වා බැහැර කර දැමීම අනතුරකට හේතුවක් විය හැකිය.

සියලු පාරිසරික තත්ත්වයන් හිතකර ආකාරයට සකස් කර ගැනීමට රියැදුරකුට හැකියාව නොමැති වුවත් තමාට මුහුණ දීමට ඇති අවදානම ගැන හොඳ අවබෝධයකින් සහ අවදියකින් පසු වීම රියදුරකුට කළ හැකි කාර්යයකි.

රථයේ ටයර් සහ රෝද රියදුරා අවධානය අඩුවෙන්ම දක්වන ස්ථානයයි. ටයර් ගෙවීම් පිළිබඳ හොඳ අවධානයක් දැක්විය යුතු සේම ටයර්වල වායු පීඩනය පිළිබඳවද දැඩි අවධානයක් යොමු කළ යුතුය. රථයෙහි රෝදවල සුළං ධාරිතාව සමග එහි දරාගැනීමේ ශක්තිය බැඳී ඇති බව රියදුරකු දැන සිටිය යුතු තවත් වැදගත් කාරණාවකි. 10% කින් සුළං පීඩනය අඩුවන විට දරාගැනීමේ හැකියාව 20% කින් අඩු වීම හේතුවෙන් ටයර් ගෙවීමේ ප්‍රතිශතය ඉහළ යයි. අවධානයෙන් ගිලිහී යන මෙවැනි සුළු හේතු කාරණා බරපතළ තත්ත්වයන් කෙරෙහි බලපාන අතර ආර්ථිකමය වශයෙන් පාඩු ද සිදු කරයි. ධාරිතාව නිසි පරිදි පවත්වාගෙන යමින් වැඩි කාලයක් ප්‍රයෝජනයට ගත හැකි ටයර් නොසැලකිලිමත් බව හේතුවෙන් ගෙවී යාම නිසා ඒවා නැවත මාරු කිරීමට දරන්නට සිදුවන පිරිවැය සුළං පිරවීම සඳහා ගත කරන කාලයට සහ පිරිවැයට වඩා බෙහෙවින් ඉහළ අගයක් ගනී. සතියකට වරක් හෝ රථයෙහි සියලු ටයර් සඳහා සුළං පිරවීම සිදු කළ යුතුය.

ගෙවුණු ටයරවල නැවත කට්ටා කපා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා සුදුසුකම් ඇති ආයතන වෙත පමණක් ටයරය රැගෙන යා යුතුය. එසේ නොකර කට්ටා කපන ප්‍රමිතියකින් තොර ස්ථාන වෙත රැගෙන යාමෙන් එම කාර්යය නිසි අයුරින් සිදු නොවීම හේතුවෙන් ගැටලු නිර්මාණය වේ.

රියැදුරු අසුන

දැනට ආනයනය කරන බස් රථ බොහෝමයක රියදුරු අසුන තාවකාලිකව සකසන ලද ප්‍රමිතියෙන් තොර වූවකි. රිය ධාවනය කරන විට රියදුරු අසුන නිවැරදි ප්‍රමිතියකින් යුක්ත විය යුතුය. එසේම එහි අසුන්ගෙන රථයෙහි පයින් ක්‍රියා කරවිය යුතු කොටස් නියමාකාරයෙන් ක්‍රියා කරවීම සඳහා අවශ්‍ය කරන හැකියාව අනිවාර්යයෙන්ම තිබිය යුතුය. එසේම දෑතින් සුක්කානම ක්‍රියාත්මක කරවීම සඳහාද අපහසුවකින් තොරව හැකියාවක් තිබිය යුතුය. දෙපා හිරි වැටීම ආදී අපහසුතාවයන්ට ලක් වීමට ඉඩ ඇති ආකාරයෙන් සකස් වූ රියදුරු අසුන් භාවිතා කිරීමෙන් නොසිතූ අනතුරුවලට මුහුණ දෙන්නට සිදුවේ. තිරිංග පද්ධතිය කෙරෙහි ද ඉතා දැඩිව අවධානය යොමු කිරීම අත්‍යවශ්‍යය. 

රියදුරකු විසින් නොසළකා හරින අතිශය භයානක කොටසක් ලෙස blind spot හැඳින්විය හැක. ඇතැම් විට රියදුරකු මේ පිළිබඳව නොදන්නවාද විය හැකි අතර රථවාහන අනතුරුවලින් සියයට දහයකට හේතුවන පැති කණ්නාඩි සහ ඒ හරහා දර්ශනය වන ඉඩ පරාසය හරහා නිර්මාණය වන blind spot පිළිබදව රියදුරකු අනිවාර්යයෙන්ම දැන සිටිය යුතුය. රියදුරා ඉදිරිය බලා සිටියදී සහ පැති කණ්ණාඩියෙන් බැලීමේදී නොපෙනෙන දර්ශන පරාසය blind spot ලෙස හැඳින්වේ. blind spot එක තුළ ඇති කුඩා හෝ විශාල ඕනෑම වස්තුවක් රියදුරාට නොපෙනීම හේතුවෙන් අනතුරක් නිර්මාණය විය හැකිය. මෙහි ඇති අනතුරුදායක ම තත්ත්වය වන්නේ ඇතැම් විට විශාල වාහනයක් වුවත් මෙම blind spot එක තුළ තිබීම නිසා පැති කණ්ණාඩියට නොපෙනීමයි. මෙවන් අවස්ථාවල සිදු කළ යුත්තේ පැති කණ්ණාඩිය කෙරෙහි අවධානය යොමු කරන අතරම හිස හරවා අනතුරුදායක යමක් එහි ඇත්දැයි නිශ්චිතවම දැන ගැනීමය.

රිය ධාවනයෙහිදී ජංගම දුරකථන භාවිතය අතිශයින් අවදානම් කාරණාවකි. දුරකතන ඇමතුම් ගැනීම සඳහා භාවිතා කරන ලද ජංගම දුරකථන මෑතක් වන විට රියදුරන් රථය ධාවනය කරන මොහොතේ පවා සමාජ ජාලා වෙබ් අඩවි, යූ ටියුබ් වීඩියෝ ආදිය නැරඹීම සඳහා භාවිතා කරන බව දක්නට ලැබේ. භාවනාවකටත් වඩා අතිශයින්ම අවධානයෙන් සහ ඒකාත්මික සිතකින් කළයුතු කාර්යයක් වන වාහන ධාවනය අතරතුර මෙවැනි අපරික්ෂාකාරී ක්‍රියාවලීන් හි යෙදීම හේතුකොටගෙන එහි ඇති අනතුරුදායක බව වඩාත් දියුණු වේ.

රථවාහන අනතුරු අවම කිරීම සඳහා රියදුරා සහ රථය යම්තාක් දුරට පාලනය කළ හැකි නමුත් පරිසරය හෝ එහි ක්‍රියාත්මක වන පුද්ගලයන් සහ අනිකුත් දෑ පාලනය කිරීම කළ නොහැකිය. එම නිසා රියදුරුගේ පාලනය අතිශයින්ම වැදගත් කරුණකි. ජීවිත රක්ෂණයක් ඕනෑම මොහොතක කළ හැකි නමුත් කිසිවකුට ජීවිතයක වටිනාකම නිවැරදිව තක්සේරු කළ හැකි නොවේ. ජීවිතයක් ලක්ෂ 5කට හෝ 6කට තක්සේරු කර තිබේනම් එම මුදල ලබාගෙන තවත් ජීවිතයක් මිලදී ගන්නට හැකියාවක් තිබිය යුතුය. නමුත් කිසි විටෙක එය කළ නොහැක්කකි.

රියදුරකු විසින් දැනගත යුතු දෑ පිළිබඳ දැනුවත් කිරීම සඳහා තවත් බොහෝ දෑ සඳහන් කළ යුතු වන නමුත් ඒ සඳහා දැනුවත් වන්නට රියදුරකු තුළ සූදානමක් ද තිබිය යුතුය. ජීවිතය නැතිවී යාම හෝ පූර්ණකාලීන ආබාධිත තත්ත්වයකට පත්වීම නැවත සකස් කර ගැනීමට හැකියාවක් නැත. ඕනෑම පුද්ගලයකු ජීවිතය සමඟ පොරබදන්නේ තම ආදරණීයයන් වෙනුවෙනි. ඔවුන්ගේ ජීවිත සුරක්ෂිතතාවය සහ සතුට රැඳී ඇත්තේ සිය ප්‍රවේශම මත බව රියදුරකු මතක තබා ගත යුතුමය අත්‍යවශ්‍ය කාරණයකි.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ දී මාර්ග ආරක්ෂාව පිළිබඳ කොළඹ ජාත්‍යන්තර සමුළුවේ අධ්‍යක්ෂ රෝහිත රත්නවීර මහතා විසින් සිදුකළ බස් රියදුරන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් ඇසුරිනි.

දිල්රූ ජයසේකර

විශේෂ ස්තුතිය 
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ විධායක නිලධාරිනී ශෙරින් අතුකෝරල මහත්මියට

නව අදහස දක්වන්න