නාවික සෙබළු සහභාගී වූ මාධ්‍ය හමුවේ සීඩී උසාවිය ඉල්ලයි | දිනමිණ


 

නාවික සෙබළු සහභාගී වූ මාධ්‍ය හමුවේ සීඩී උසාවිය ඉල්ලයි

සුභාෂිණී සේනානායක

2008 – 2009 කාලයේදී තරුණයන් 11 දෙනකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව මේ වනවිට ඇප මත සිටින නාවික සෙබළුන් වන එම්. මෙන්ඩිස්, කස්තුරිගේ ගාමිණි යන දෙදෙනා මාධ්‍ය හමුවකදීය අදහස් දැක්වූ සංරක්ෂණ නොකළ සීඩී තැටි අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (8දා) නියෝග කළේය.

ඇප මත සිටිමින් නඩුකරයක් සම්බන්ධයෙන් අදහස් දැක්වීම ට අදාළව රහස් පොලිසිය ගොනු කළ නඩුවක් කැඳවූ අවස්ථාවේ මේ නියෝගය සිදු කළ මහේස්ත්‍රාත්වරයා නඩුව ලබන ජනවාරි මස 21 කැඳවන ලෙසත් එදිනට අධිකරණයේ පෙනීසිටින ලෙසත් සැකකාර නාවික හමුදා නිලධාරීන් දෙදෙනාට නියෝග කළේය.

ඇප කොන්දේසි කඩ කර ඇති බව විමසා බැලීම සදහා ඊයේ (08දා) අධිකරණයේ පෙනී සිටින ලෙස ඔවුන්ට නිකුත් කර තිබූ නොතිසියට අනුව ඔවුන් අධිකරණයේ පෙනී සිටියේය.

තම සේවාදායකයින් මාධ්‍ය හමුවේදී කිසිවක් ප්‍රකාශ කර නැති බවත් ඔහුගේ බිරිඳ මාධ්‍ය හමුවේ අදහස් ප්‍රකාශ කර ඇති බවත් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ කියා සිටි අතර රහස් පොලිස් නිලධාරීන් අවශ්‍ය ආකාරයට සාක්ෂි ලබා දෙන්නේ නම් ඔවුන් පවුල් පිටින් විදෙස් ගත කරන බවට දන්වා ඇති බවත් ඒ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම වෙත දන්වා ඇති බවත් කියා සිටියේය.

සිද්ධියට අදාළව මේ වනවිට සීඩී පට තුනක් ලැබි ඇති බවත්, තවත් සීඩී පටයක් ලැබිය යුතු වන බවත් රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

 

නව අදහස දක්වන්න