හිටපු ක්‍රීඩා ඇමැති හරීන්ට රාජ්‍ය ඇමැති තිලංගගෙන් චෝදනා | දිනමිණ

හිටපු ක්‍රීඩා ඇමැති හරීන්ට රාජ්‍ය ඇමැති තිලංගගෙන් චෝදනා

ක්‍රීඩාව සඳහා අනිසිලෙස බලපෑම් කරමින් දේශපාලනය ක්‍රීඩාව තුළට ගෙන ඒමට හිටපු ක්‍රීඩා ඇමැතිවරයා කටයුතු කළ බවට තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය ඇමැති තිලංග සුමතිපාල මහතා චෝදනා කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ ඊයේ (8) දහවල් පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය ඇමැතිවරයා පැවැසුවේ තමාගෙන් පෞද්ගලිකව පළිගැනීමේ අරමුණින් හිටපු ක්‍රීඩා ඇමැතිවරයා ක්‍රීඩාව සඳහා මෙලෙස අනවශ්‍ය බලපෑම් කළ බවයි.

‘මාගේ කටයුතු දේශපාලන කෝණයෙන් බලපු හිටපු ක්‍රීඩා ඇමැතිවරයා මාව පෞද්ගලිකව ඉලක්ක කරමින් අලුතින් ගැසට් එකක් ගහනවා. මම ප්‍රසිද්ධියේ පාර්ලිමේන්තුවේදීත් ප්‍රකාශ කළා බුකී ව්‍යාපාරවලට මට කිසිම සම්බන්ධයක් නැහැ කියලා. මගේ පවුලේ අයට සම්බන්ධතාවයක් තිබුණා කියලා. බැරිම තැන ගැසට් එකක් ගහනවා පවුලේ අය බුකී ව්‍යාපාරයට සම්බන්ධ නිසා මට ක්‍රිකට් පාලක මණ්ඩලයේ කමිටුවකවත් ඉන්න බැහැ කියලා. ඒක ගහලා දින කිහිපයකින් ක්‍රිකට් පාලක මණ්ඩලයට ලිපියක් එවනවා ඔහු තනි තීන්දුවක් අරන් මට ක්‍රිකට් පාලක මණ්ඩලයේ ධුර දරන්න බැහැ කියලා. ගැසට් එකක් ගැහුවනම් එම ප්‍රකාරව පරීක්ෂණයක් සිදුකර කිසියම් කෙනෙක් වරදක් කර ඇත්නම් පරීක්ෂණය අනුව ක්‍රියාත්මකවී නිර්දේශයක් කළ යුතුයි. ඒ කිසිදෙයක් නොකර තීරණයක් ගන්නවා. ඊට පස්සේ කමිටුවක් පත්කරනවා. අපි එම කමිටුවට මගේ නීතිඥයින් මගින් දැන්වුවා. මාව තෝරා පත්වන්නේ 2016 නිලවරණයෙන් ඒ අනුව 2018 හිටපු සභාපති ලෙස මම විධායක කමිටුවට යනවා. අපේ ව්‍යාවස්ථාවත්, ක්‍රීඩා නීතියත් අනුව පරීක්ෂණයක් සිදුකිරීමේ ක්‍රමයක් තියෙනවා. ඊට පස්සේ ක්‍රීඩා ඇමැතිවරයා පරීක්ෂණයක් කර තීන්දුවක් ගත යුතුයි. එහෙම නොකර ඔහු විසින්ම කමිටුවක් පත්කර ඔහු විසින්ම එහි තීන්දුවත් ගන්නවා. ඒ නිසා මට අසාධාරණයක් අගතියක් වු නිසා මම අභියාචනාධිකරණයේ නඩුවක් පැවරුවා. මේ තීන්දුව අරගෙන තියෙන්නේ සාධාරණ පරීක්ෂණයකින් තොරව කියලා.‘

තමාට ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයා ලෙස විධායක කමිටුව එක්වන්නේ ක්‍රිකට් ව්‍යාවස්ථාව අනුව බවත් ඊළඟ සභාපතිවරයා එම තනතුරෙන් ඉවත්ව යනතෙක් තමාට විධායක කමිටුවේ සිටිය හැකි බවත් ඔහු පැවැසීය.

‘ව්‍යවස්ථාව අනුව ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවසානයට හිටපු සභාපතිවරයාට විධායක කමිටුවේ ස්ථානයක් හිමිවෙනවා. එහි අරමුණ වන්නේ කලින් ගත් තීරණ තීන්දු අදහස් ක්‍රියාත්මක කිරීම සඳහා ඔහුගේ සේවය ලබාගැනීමයි. ඊළඟ සභාපතිවරයා ධුරයෙන් ඉවත්වනවිට විධායක කමිටුවේ එම තනතුර ඔහුට හිමිවෙනවා.’ සුමතිපාල මහතා පැවැසීය.

හිටපු ක්‍රීඩා ඇමැතිවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු පුහුණුකරු අනවශ්‍ය ලෙස ඉවත් කළ බවත්, අසංග ගුරුසිංහ මහතා සිය තනතුර අත්හැර දැමුවේ ක්‍රීඩා ඇමැතිවරයා ක්‍රිකට් ආයතනයේ කටයුතු වලට කළ බලපෑම් මත බවත් ඔහු පැවැසීය.

‘බංග්ලාදේශය වගේ කණ්ඩායමක් ඉදිරියට ගෙනා චන්දික හතුරුසිංහ මහතා අපේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවට ගෙනාවේ. ඔහු එලවන්න කිවුවෙත් ක්‍රීඩා ඇමැතිවරයාමයි. ඔහු නොසුදුසුයි කියලා ක්‍රීඩා ඇමැතිවරයා නියෝග කළා ඔහු අද එලවන්න ඕන. ලංකාවට ආවට පස්සේ සංචිත දෙන්න එපා කියලා. අභ්‍යන්තර ප්‍රශ්නයක් තියෙනවා නම් සාකච්ඡා කරලා ප්‍රශ්න විසදගන්නා තිබුණා. ඒ ඔක්කොම අහෝසි කරලා. ඒ වෙලාවේ වැඩ බලන පුහුණුකරුවෙක් පත් කළා. ඒව සියයට සීයක්ම දේශපාලන ඇගිලි ගැහීම්. අනවශ්‍ය ලෙස ඇගිලි ගැසිම් කරලා කණ්ඩායමේ එකමුතු කම දීර්ඝ කාලීන සැලසුම් විනාශ කරලා දැම්මා.’ රාජ්‍ය ඇමැති තිලංග සුමතිපාල මහතා වැඩි දුරටත් කියා සිටියේය.

නව අදහස දක්වන්න