දිගු ඉනිමකට පිතිකරුවන් පුහුණු කිරීම මට ඇති ලොකුම අභියෝගයයි | දිනමිණ

දිගු ඉනිමකට පිතිකරුවන් පුහුණු කිරීම මට ඇති ලොකුම අභියෝගයයි

ක්‍රීඩාංගණයෙන් පිටතට පන්දුව යොමු කළ හැකි ආකාරයේ විශාල පහරවල් ගැසිය හැකි පිතිකරුවන් සිටියත්, ඉනිමක් ගොඩ නගා ගත යුතු ආකාරය පුරුදු කිරීම පුහුණුකරු ලෙස තමාට ඇති විශාලතම අභියෝගය බව ඉන්දියාව හමුවේ දෙවැනි විස්සයි20 තරගයෙන් කඩුලු 7ක පරාජයක් අත් විඳීමෙන් පසුව ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර් ප්‍රකාශ කළේය.

ඉන්ඩෝර් හී පෙරේදා රාත්‍රියේ පැවැති දෙවැනි විස්සයි20 තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය පිලේ නායක විරාත් කෝලිගේ ඇරියුමෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කළේ ලකුණු 142ක් පමණි. ඉන්දීය පිල ඕවර 2කුත්, පන්දු 3ක් ඉතිරිව තිබියදී තරගය ජයගත්තේ කඩුලු 3ක් පමණක් වැය කරමිනි.

වසර 7කට පසුව පළමුවරට තරගයෙන් පසුව පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වූ මිකී ආතර් කියා සිටියේ තරග සැලසුම පිළිබඳ ක්‍රීඩකයන් දැනුවත් කරමින් ඔවුන්ට විශාල ඉනිමක් ක්‍රීඩා කළ යුතු ආකාරය පුහුණුකරු කිරීම තමාට ඇති විශාලතම අභියෝගය වනු ඇති බවය.

‘අපේ කණ්ඩායම තරුණ ක්‍රීඩකයන්ගෙන් සමන්විත වුණත් දස්කම් අතින් ඉහළ තත්ත්වයකයි ඉන්නේ. එය මගේ සතුටට කරුණක්. ක්‍රීඩාංගණයෙන් පිටතට පන්දුව යොමු කිරීමට හැකියාව ඇති පිතිකරුවන් සිටිනවා. නමුත් අපේ ශක්තිය පාවිච්චි කළ යුතු ආකාරය ඉගෙනගත යුතුයි. එය අභියෝගයක් වේවි. විස්සයි20 ලෝක කුසලානයට තවත් ඉතිරිව ඇත්තේ මාස අටක් පමණයි. අපිට හොඳ ක්‍රීඩකයන් සිටිනතුරු, ආත්මාර්ථකාමී නොවන ක්‍රීඩකයන් සිටිනතුරු,, වගකීම් අකුරටම ඉටු කරමින් ඉලක්කයට යා හැකිවේවි.’ ශ්‍රී ලංකා පුහුණුකරු එසේ කීවේය.

මේ තරගයේදි ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ අවිශ්ක ප්‍රනාන්දු සහ ධනුෂ්ක ගුණතිලක ඕවර 4කුත්, පන්දු 5ක් ඇතුළත ලකුණු 38ක් රැස් කිරීමට සමත්වූවත් එතෙක් හොඳින් පන්දුවට පහරදෙමින් සිටි අවිශ්ක දැවී ගියේ වොෂින්ටන් සුන්දර්ගේ පළමු ඕවරයේදිම වැරදි පහරකට යාමෙනි. මුළු ලකුණු සංඛ්‍යාව 54කදි ගුණතිලක ලකුණු 20කට දැවී ගියේ නව්දීප් සයිනිගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙනි. අංක 3 පිතිකරු ලෙස පිටියට පැමිණි කුසල් ජනිත් ලකුණු 34ක් රැස් කරමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත්වූවත් ඔහුගේ සුපුරුදු ක්‍රීඩා රටාව දක්නට නොලැබිණි. හයේ පහර 3ක් එල්ල කළත් ඔහුගේ ඉනිමට පන්දු 28ක් වැය විය. භානුක රාජපක්ෂ සහ දසුන් ශානක අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාම නිසා ඕවර 17ක් නිමාවෙද්දි ශ්‍රී ලංකා පිල ලබා සිටියේ කඩුලු 6කට ලකුණු 117ක් පමණි. එහෙත් ධනංජය ද සිල්වා ලකුණු 17ක් රැස් කරමින් ද, වනිඳු හසරංග පන්දු 10කදි හතරේ පහර 3ක් සමග නොදැවී ලකුණු 16ක් රැස් කරමින් ද ශ්‍රී ලංකා ඉනිම ලකුණු 142 දක්වා තල්ලු කරගෙන ගියහ.

‘අපේ පිතිකරුවන් හොඳ ආරම්භයක් ගත්තත්, එය ප්‍රමාණවත් වුණේ නෑ. කාට හරි ලකුණු 60ක්, 70ක් හෝ 80ක් රැස් කළ යුතුව තිබුණා. ඉනිම අතරතුර අපි පන්දු 49ක් නිදැල්ලේ යැව්වා. ඒක හොඳටම වැඩියි. හොඳ කණ්ඩායම් මෙවැනි තරගවලදි පන්දු 25කට වඩා අපතේ යවන්නේ නෑ. එහෙම වුණානම් අපිට ලකුණු 170ක් විතර රැස් කරන්න තිබුණා.’ මිකී ආතර් එසේ කීවේය.

කඩුලු අතර දිවායාමත්, පන්දුවට පහරදිම පිතිකරුවන් අතර සාර්ථකව හුවමාරු නොවීමත් නිසා ශ්‍රී ලංකා පිල දැඩි පසුබෑමකට ලක්විය. නියමිත ඉලක්කය කරායාමට පිටියට පිවිසි ඉන්දීය පිල පළමු කඩුල්ලට ඕවර 9කුත්, එක් පන්දුවක් ඇතුළත ලකුණු 71ක් රැස් කළේය. ලෝකේෂ් රාහුල් ලකුණු 45ක් රැස් කරද්දි ශිකර් ධවාන් ලකුණු32කින් දායකත්වය ලබා දුන්නේය. දෙදෙනාම දැවී ගියේ වනිඳු හසරංගගේ පන්දු හමුවේය. අංක 3 පිතිකරු ශ්‍රෙයාස් අයියර් ලකුණු 34ක් ලැබූ අතර නායක විරාත් කෝලි සමග එක්ව තුන්වැනි කඩුල්ලට ලකුණු 51ක සම්බන්ධතාවක් ද ගොඩ නැගුවේය. පන්දු 17කදී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමග නොදැවී ලකුණු 30ක් රැස් කළ කෝලි සිය කණ්ඩායම ජයග්‍රහණය දක්වා රැගෙන ගියේය.

පන්දු යැවීමේදි ශ්‍රී ලංකා පිලේ විශාලතම බලාපොරොත්තුවක් වූ නායක ලසිත් මාලිංගට මේ තරගයේදි කිසිදු අභියෝගයක් එල්ල කිරීමට නොහැකි විය. ඔහුගේ ඕවර 4න් ඉන්දීය පිතිකරුවෝ ලකුණු 41ක්ම උදුරා ගත්හ.

ආබාධයකට ලක්වීම නිසා ඉසුරු උදානට පන්දු යැවීමට නොහැකි වීමත් ශ්‍රී ලංකා පිලට අවාසියක් විය.

‘කණ්ඩායමට හොඳ නායකත්වයක් අවශ්‍යයි. හොඳ මගපෙන්වීමක් අවශ්‍යයි. තනතුරට පත්වෙද්දි මා ලබා සිටි අත්දැකීම් ඉවහල් කරගෙන කණ්ඩායම සාර්ථකත්වය කරා ගෙනයාමට මම බලාපොරොත්තු වෙනවා. මම ක්‍රීඩකයන්ගේ විවේකාගාරයේදි කිව්වේ අපි කොහොමහරි විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබන්න ඕනා කියලයි. ඒ නිසා මේ ඉදිරි කාලය ක්‍රීඩකයන්ට සෑහෙන්න දුෂ්කර වේවි.’ ඔහු කියා සිටියේය.

නව අදහස දක්වන්න