හමුදා මලල ක්‍රීඩකයාට 15ක පිරිසක් පහර දීලා | දිනමිණ

හමුදා මලල ක්‍රීඩකයාට 15ක පිරිසක් පහර දීලා

ශ්‍රී ලංකා යුද හමුදා බලසේනා මූලස්ථාන මලල ක්‍රීඩා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයකු වන ප්‍රදීප් බන්දුල සෝමරත්න මහතාට පහළොස් දෙනකුගෙන් පමණ යුත් කණ්ඩායමක් පහරදීම නිසා එම ක්‍රීඩකයා ගම්පොල ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බව ගම්පොල පොලිසිය සඳහන් කරයි. ගම්පොල ‍සිංහපිටියේ කෙසෙල්වත්ත මාර්ගයේ ලැන්ටන් හිල් සී ගම්මානයේ ඔහුගේ නිවෙසට පැමිණ ඇති එම පිරිස ප්‍රදීප් සෝමරත්නට හා ඔහුගේ පියාට දරුණු ලෙස පහරදී ඇති අතර මොහුගේ මවට හා ගැබිනි බිරියට එම පහර වැදී ඇති බව මොහු පවසයි.

මාර්තු 22 පැවැත්වීමට නියමිත යුද හමුදා අන්තර් රෙජිමේන්තු මාර්ග බාධක තරඟය නියෝජනය කිරීමට තේරීපත්වී ඇති මොහු තේරීම් තරගයකට සහභාගී වී කිලෝමීටර් 2ක් දිවීම සිදු කර නිවෙසට පැමිණ සිටියදී මේ පහරකෑමට ලක්ව ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ. මේ පහරදුන් අයගෙන් 7 දෙනෙකු හඳුනාගෙන ඔවුන්ගේ නම් ගම් පැමිණිල්ලේ සඳහන් කොට ඇති අතර ඔවුන් ගම්පොල රාහින්මලේ පදිංචි බවද දන්වා තිබේ. මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් සිදු කර ඇති ගම්පොල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. සම්පත් වික්‍රමරත්න මහතා සැඟවී සිටි සැකකරුවන්ගෙන් එක් අයකු ඊයේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දිසා විනිසුරු ශ්‍රිනිත් විජේසේකර මහතා ඔහු අද (09) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරනු ලැබීය.

ගම්පොල සමූහ සුරංග දිල්හාන් 
ඡායාරූපය ගම්පොල සමූහ

නව අදහස දක්වන්න