එජාප නායකයන්ගේ ඇඳිවත ගැළවෙන රන්ජන්ගේ හඬපට මාධ්‍යයට ලැබී අවසන් | දිනමිණ

එජාප නායකයන්ගේ ඇඳිවත ගැළවෙන රන්ජන්ගේ හඬපට මාධ්‍යයට ලැබී අවසන්

උපාලි කරුණාරත්න

රන්ජන්ගේ දුරකතන සංවාද හේතුවෙන් හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමේට කියා සහතිකයක් පිවිතුරු හෙළ උරුමය ජනතාවට ලබාදෙන බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

මන්ත්‍රීවරයා එසේ ප්‍රකාශ කළේ පෙරේදා (07) පිටකෝට්ට පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා මෙසේද කීය.

19 වන සංශෝධනය ගෙනැවිත් අධිකරණය ස්වාධීන කළ බවට පුරාජේරු කියූ ඇතැම් එක්සත් ජාතික පක්ෂ නායකයන්ගේ රෙදි ගැළවෙන රන්ජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද තොගයක් මේ වන විට මාධ්‍යයට ලැබී අවසන්. ජ්‍යෙෂ්ඨ ලැයිස්තුවේ යට සිටින නඩුකාරවරියන් දේශපාලකයන් සතුටුවන තීන්දු ලබා දී ' අනේ අනික් අයට උඩින් මට උසස්වීමක් දෙන්නකෝ ' කියා බැගෑපත්වන ආකාරය මේ සංවාද තුළ පවතිනවා. ඒ වගේම දුමින්ද සිල්වාගේ නඩු තීන්දුව දීමට පෙර ශානි අබේසේකර දන්නෙ කොහොමද?. පද්මිණී විනිසුරුවරිය සහ තවත් විනිසුරුවරයෙකු දුමින්දට දඩුවම් දෙන බවත් ශිරාන් රණසිංහ විනිසුරුවරයා දුමින්දව නිදහස් කරන බවත් ශානි විසින් රන්ජන්ට කියනවා. එතකොට මම ශිරාන්ට කතා කරන්නදැයි රන්ජන් අහනවා. කතා කිරීමට අනවශ්‍ය බවත් එවැනි තීන්දුවක් හොඳ බවත් ශානි පවසනවා. එහෙම නම් දුමින්ද සිල්වාට ලබා දුන් තීන්දුව අධිකරණයේ තීන්දුවක් නොව දේශපාලකයන් සහ විමර්ශන නිලධාරීන් එක්ව සැකසූ තීන්දුවක් බව දැන් පැහැදිලියි.

දුමින්ද සිල්වා දැන් වසර හතරක් සිරගෙදර දඩුවම් විඳිනවා. ඔහුව දැන් නිදහස් කළත් ඔහුගේ ජීවිතයේ අහිමි වුණු වසර හතර යළි ලබා දෙන්න පුළුවන්ද?. ප්‍රංශයේ මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා නොකළ වරදකට වසර විස්සක සිර දඩුවම් විඳිනවා. ඔහුගේ පෙම්වතිය අයිතිකර ගන්න තමයි පාලකයා ඔහුව වරදක පටලවන්නේ. ඔහු සිර දඩුවමින් පසු අහන්නෙ තමන්ගේ ජීවිතයේ නැති වුණු වසර විස්ස දෙන්න පුළුවන්ද කියා. දුමින්ද සිල්වාත් හිරෙන් නිදහස් වී පැමිණ එම ප්‍රශ්නයම අහන්න පුළුවන්.

විනිසුරවරයෙකු සමඟ කවුරු හෝ නඩුවක් පිළිබඳව කතා කරන්න එනවා නම් එය විනිසුරුවරයා ප්‍රතික්ෂේප කළ යුතුයි. ප්‍රතික්ෂේප කරන විටත් බලපෑම් කරනවා නම් අධිකරණ සේවා කොමිසමට බලපෑම් කරන්න ඕනෑ. විනිසුරුවරුන් තීන්දු දෙන්නේ දේශපාලකයන් සහ විමර්ශන නිලධාරීන් සමඟ සාකච්ඡා කරලා නම් කුමට එරට අධිකරණය, නීතිය සහ විනිසුරුවන් කියා අපට අසන්න සිද්ධ වෙනවා. පද්මිණී වැනි විනිසුරුවරියන් ඉන්නෙ ඉතාම අතලොස්සක්. නමුත් ඒ අතලොස්ස විසින් අධිකරණයේ ගෞරවය බරපතළ ලෙස විනාශ කරනවා.

රන්ජන්ගේ මේ සිද්ධියත් සමඟ පෙනී යන්නේ එය මෙරට ඉතිහාසයේ අධිකරණයට එල්ල වූ ලොකුම කළු පැල්ලමක් ලෙසයි.අධිකරණය පිළිබඳව ජනතා විස්වාසය යළි ඇතිවීමට නම් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර පසුගිය වසර පහේ අධිකරණයට සහ අපරාධ විමර්ශනයට සිදුවී ඇති දේශපාලන බලපෑම් හෙළි කරගත යුතුයි. දේශපාලන බලපෑම් කළ පුද්ගලයන්ට මෙන්ම ඒවාට සිය කැමැත්තෙන් යටත් වූ පුද්ගලයන්ට දඩුවම් කරන්න ඕනෑ. ජනතාවට සාධාරණයක් ඉටුවීමට නම් පසුගිය වසර පහේදී ශානි විමර්ශන සිදුකළ නඩු වගේම පද්මිණී තීන්දු දුන් නඩු යළි විභාග කළ යුතුයි. එසේ නොකළොත් බොරු වැරැදිවලට සිර දඩුවම් විඳින සමාජයෙන් අපහාස විඳින දේශපාලන දඩයමේ ගොදුරු බවට පත් වූවන්ට සිදු වන්නේ බලවත් අසාධාරණයක්. මතක තියා ගන්න. අතිවිශාල දුරකතන සංවාදවලින් තවම එළියට ආවේ විස්සකට අඩු ප්‍රමාණයක්.

පොලිස් අත්අඩංගුවට පත් වූ රන්ජන්ගේ දුරකතන සංවාද මාධ්‍යයට ආවේ කොහොමද කියා ඇතැමුන් ප්‍රශ්න කරනවා. ඒවා පොලීසියට දුන් පුද්ගලයාම තමයි සමාජ ජාලාවලට මුදා හැරියේ. රන්ජන් සෑම දුරකතන ඇමැතුමක්ම ස්වයංව පටිගත වන ඇප් එකක් දුරකතනයේ දාගෙන සිටිනවා. දුරකතනයේ ඉඩ මදි වූ විට එම සංවාද හාඩ් ඩිස්ක්වලට සී.ඩී තැටිවලට පිටපත් කරනවා. මේ ගැන දන්නා මිත්‍රයෙක් තමයි ඒවා පිළිබඳව හෙළි කරන්නේ. මේවා අත්අඩංගුවට ගන්නයි පොලිසිය රන්ජන්ගේ නිවස වට කරන්නේ. නිල් චිත්‍රපට සහ බලපත්‍ර නැති පිස්තෝලය පරීක්ෂාවේදී සොයා ගත් අතුරු සිල්ලර කාරණා. රන්ජන්ගේ දුරකතන සංවාද කලින් සමාජ ජාලාවලට මුදා හැරියා නම් ඔහු ඒවායේ මුල් පිටපත් සියල්ල විනාශ කරනවා. එම නිසා රන්ජන්ගේ දුරකතන සංවාදවල මුල් පිටපත් පොලිසිය අත්අඩංගුවට ගත්තාට පසුව අදාළ පුද්ගලයා ඒවා ජනතාවට හෙළි කළා. මේ වන විට රන්ජන් රාමනායක මන්ත්‍රීතුමාත් මේ පුද්ගලයා කවුරුන්දැයි කියා හිස ගිනිගෙන සොයනවා. ඔහු තමයි මේ සිද්ධියේ පළමු සාක්ෂිකරුවා වන්නේ. මේ සිද්ධිය නිසා ප්‍රථම වතාවට අධිකරණයට දේශපාලන බලපෑම් තිබෙන බව නිත්‍යානුකූලව සවිමත්ව ඔප්පු වෙනවා. මේ සිද්ධිය මෙරට අධිකරණ ඉතිහාසයේ නව පිටුවක්, නව සන්ධිස්ථානයක් හැරවුම් ලක්ෂයක් බවට බවට පත්වේවි.

ලෝකය පුරා අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව කතා කරන විට මේ සිද්ධිය උදාහරණයට ගනීවි. මේ සිද්ධිය නිසා ලෝක අවධානය අප රටට යොමුවෙයි කියා අප සිතනවා. රන්ජන් මේ වන විට නීතිඥයෙකු නොවුණේ ජාතියේ වාසනාවට.

ඉදිරියේදී රටට ගැළපෙන ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේදී ස්වාධීන අධිකරණ ක්‍රමයක් ඇතිකළ යුතුයි.

පක්ෂයේ නියෝජ්‍ය ජාතික සංවිධායක යසපාල කෝරලයේ මහතා-

රන්ජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද හෙළිවීමත් සමඟ ඇතැම් පුද්ගලයන් පිළිබඳව අපට කනගාටුවක් ඇති වෙනවා. එහි කියවෙන විනිසුරුතුමිය නිර්දෝෂී නම් ඒ පිළිබඳව පොලීසියට පැමිණිලි කළ හැකියි. එහෙම නැත්නම් අප ඒ සම්බන්ධව පැමිණිලි කරනවා. අපේ නායකයා පිළිබඳවත් සඳහන් වෙනවා.

පිවිතුරු හෙළ උරුමයේ අගලවත්ත ආසන සංවිධායක චමිල අමුණුගොඩ මහතාද මේ අවස්ථාවට සහභාගි විය.

නව අදහස දක්වන්න