ඕනෑම දියුණු රටක් සමඟ සමව සිටගත හැකි ආර්ථිකයක් ගොඩනැඟීමේ ක්‍රියාවලිය ඇරැඹේ | දිනමිණ

ඕනෑම දියුණු රටක් සමඟ සමව සිටගත හැකි ආර්ථිකයක් ගොඩනැඟීමේ ක්‍රියාවලිය ඇරැඹේ

ගෙවුණු දින 50ක ජනපති වැඩපිළිවෙළ

දේශීය අභිමානය හා ස්වෛරීභාවය සුරකිමින් ඕනෑම රටක් සමඟ සමව ගනුදෙනු කළ හැකි ගෞරවාන්විත පාලනයක් ස්ථාපනය කරන බවට ජානාධිපතිවරයා අට වැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභාවාරය විවෘත කරමින් සහ ‘සෞභාග්‍යයේ දැක්ම‘ ප්‍රතිපත්ති ප්‍රකාශය සභාගත කරමින් ප්‍රකාශ කළේය.

ඒ වෙනුවෙන් තීන්දු තීරණ රැසකට පසුගිය දින 50 තුළ එළැඹ තිබේ.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමයට සහ ලෝක ඉල්ලුමට ගැළපෙන ශ්‍රම බළකායක් බිහි කිරීමේ අරමුණින් තීන්දු තීරණ රැසක් ගෙන ඇති අතර, පාසල් මට්ටමේ සිටම ඒවා සැලසුම් කර තිබීම විශේෂත්වයකි.

එහි ප්‍රථම අදියර වන්නේ,

පාසල් දහසක් ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීම

උසස් පෙළ සමත් සියලු සිසුන්ට සරසවි වරම් සහතික කිරීම අධ්‍යාපනයෙන් පිරිපුන් පරපුරක් රටට දායාද කිරීමේ අමුණින් ගත් වැදගත් තීන්දුවකි.

උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් නොලබන තරුණ තරුණියන් වෘත්තීය පුහුණුව සමඟ ඉංග්‍රීසි භාෂාව හා තොරතුරු තාක්ෂණය මුසු කරගත් සුහුරු තාක්ෂණවේදීන් බවට පත් කිරීමේ කඩිනම් වැඩපිළිවෙළක් දියත් කර තිබේ.

ඉතා දිළිඳු පවුල්වල කිසිදු සුදුසුකමක් නොලත් තරුණ තරුණියන්ට කාර්ය සාධන බළකායක් යටතේ රැකියා ලක්ෂයක් බිහි කරමින් ආර්ථික වශයෙන් නඟා සිටුවීමේ වැඩපිළිවෙළ ජනවාරි 15 වැනිදා සිට ක්‍රියාවට නැංවීමට නියමිතය.

ඉදිරි කාලසීමාව තුළ හෙද පාඨාමාලා හදාරණ අය සහ ගුරු පුහුණුව ලබන අය උපාධි අවස්ථා දක්වා රැගෙන යෑමට සැලසුම් සකස් කෙරෙමින් පවතී.

අධ්‍යාපනය පිළිබඳ කාර්ය සාධන බළකායක් පිහිටුවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා සැලසුම් සහගතව හා විනිවිද භාවයකින් යුතුව සිදු කිරීමට පියවර ගෙන තිබේ.

ජාතික ආරක්ෂක විද්‍යායතනයක් ස්ථාපනය කොට ජාතික ආරක්ෂාව පිළිබඳ ඉහළ මට්ටමේ පාඨමාලා සකස් කිරීමට කෙටුම්පත් සකසා ඇත.

රටේ දියුණුවට බලපාන වැදගත්ම අංශය වන්නේ රාජ්‍ය සේවයයි. විධිමත්, කාර්යක්ෂම සහ සඵලදායී රාජ්‍ය සේවයක් උදෙසා ජනාධිපතිවරයා තීන්දු තීරණ රැසක් ගත්තේය.

පොදු ජන ජීවිතයට ඉතා සමීප සේවාවන් සපයන ආයතන කිහිපයක ජනාධිපතිවරයා නිරීක්ෂණ චාරිකාවන්හි නිරත වූයේ ඒවායේ කටයුතු විධිමත් කිරීමේ අරමුණිනි.

රාජ්‍ය ආයතනවලට ප්‍රධානීන් පත් කිරීමේ දී විශේෂ විද්වත් කණ්ඩායමකින් යුත් කමිටුවේ නිර්දේශ ලබා ගැනීම

රාජ්‍ය ආයතනවල ජනාධිපතිවරයාගේ හා විෂය භාර ඇමැතිවරුන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය වෙනුවට රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කිරීම

රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ වැටුප් සංශෝධනය, ලක්ෂ 20ක් වූ ටෙලිකොම් සභාපති වැටුප ලක්ෂ දෙක හමාරක් දක්වා අඩු කිරිම

රාජ්‍ය ආයතන ප්‍රසම්පාදන ක්‍රියාවලිය පූර්ණ විනිවිදභාවයෙන් සිදු කිරීමට උපදෙස් දීම

රාජ්‍ය ආයතනවල අනවශ්‍ය සියලු උත්සව නතර කිරීමට උපදෙස් දීම

සේවයට බඳවා ගැනීමේ දි සියලු දිස්ත්‍රික්ක සමව ආවරණය වන පරිදි සුදුස්සන් තෝරා පත්වීම් ලබාදීමට සැලසුම් කිරීම

රාජ්‍ය සේවය වෙනුවෙන් ගත් වැදගත් තීන්දු තීරණ අතර වේ.

දේශීය කෘෂිකර්මාන්තය දියුණු කරමින් අපේ උරුමය සහ අනන්‍යතාව මත ගොඩනැඟෙන ආර්ථික ප්‍රතිපත්තියකට ජනාධිපතිවරයා මුල් තැන දී තිබේ.‍

රුපියල් මිලියන 300 නොඉක්මවන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විසින් ලබාගෙන ඇති ණය ආපසු අය කර ගැනීමේ දී ඇපයට තබා ඇති දේපළ වෙන්දේසිය වහාම අත්හිටුවන ලෙස උපදෙස් දීම.

සරුංගල්, පහන් කූඩු වැනි නිෂ්පාදන පිටරටින් ආනයනය පාලනය කිරීමට නීති සැකසීම.

රාජ්‍ය ආයෝජන, ජාතික සංවර්ධන සැලසුම්, ප්‍රසම්පාදන ව්‍යාපෘති විශ්ලේෂණ සහ කළමනාකරණ අංශ කාර්යක්ෂම කිරීමට ජාතික ප්‍රතිපත්ති හා ක්‍රම සම්පාදන කාර්යාංශයක් පිහිටුවීම. 

කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධනය සඳහා ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් අන්තර් අමාත්‍යාංශ කාර්ය සාධන බළකායක් ස්ථාපනය කිරීම.

දේශීය කර්මාන්ත සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍ය මිල පාලනය ඉලක්ක කර ගනිමින් වැලි පස් හා මැටි ප්‍රවාහනය සඳහා වූ බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීම.

සාම්ප්‍රදායික සුළු කර්මාන්ත ක්ෂේත්‍රයේ නිරත කර්මාන්තකරුවන්ට අමුද්‍රව්‍ය ලබා ගැනීමේ දී සිදු වූ අපහසුතා වැළැක්වීමට අදාළ සංශෝධන හඳුන්වා දීම.

මසකට රුපියල් මිලියන 21ක කුලියක් ගෙවූ කෘෂිකර්ම අමාත්‍යාංශය පෞද්ගලික ගොඩනැගිල්ලෙන් ඉවත් කොට ගොවිජන මන්දිරයට රැගෙන යෑම.

තිරිඟු පිටි ඒකාධිකාරය නිසා පීඩාවට පත් ජනතාවට සහනයක් ලෙස සෙසු ආනයනකරුවන්ට ද තිරිඟු පිටි ගෙන්වීමට ඉඩ ප්‍රස්ථාව සැලසීම.

ගම්මිරිස්, කුරුඳු ඇතුළු සුළු අපනයන භෝග ආනයනය නතර කිරීම.

ඉදිරි කන්නයේ සිට අස්වනු මිලදී ගැනීම විද්‍යානුකූල ක්‍රමවේදයකට

දිවයින පුරා වී ගබඩා පහසුකම් පුළුල් කිරීම සහ විනාශවී යෑමට ඉඩ හැර ඇති ගබඩා ප්‍රතිසංස්කරණය ඒ අතර වේ.

රටට සහ ජනතාවට හිතැති රාජ්‍ය පාලනයක් වෙනුවෙන් ද ජනපති ලබාදුන් ආදර්ශයන් බොහෝය.

කලින් පැවති ආණ්ඩු විවේචනය නොකර නව රජයේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව ඉදිරියට ගෙන යෑම.

රාජ්‍ය මාධ්‍ය ස්වාධීන ආයතන බවට පත් කිරීම.

ජනාධිපති කාර්ය මණ්ඩලය හා පරිවාර රථ සීමා කිරීම සහ ජනාධිපති නිල නිවස ලෙස තමන්ගේ පදිංචි නිවසම තෝරා ගැනීම.

භාරකාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය 16කට සීමා කරමින් අනාගත ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය සීමා කරන බවට ජනතාවට දෙන පොරොන්දුව.

මහජන මුදලින් සංවර්ධනය කෙරෙන මාර්ග සඳහා දේශපාලනඥයන්ගේ රුව සහිත නාම පුවරු වෙනුවට මාර්ගයේ නම සහිතව රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කිරීමට උපදෙස් දීම.

තම ධුර කාලය තුළ පාර්ලිමේන්තු සැසිවාර ආරම්භ කිරීමේ දී සිදුවන මුදල් නාස්තිය වළක්වාලමින් හමුදා උත්තමාචාර වැනි දේ අවලංගු කිරීම.

පොදු ජන යහපත වෙනුවෙන් වැදගත් තීන්දු තීරණ රැසකට එලැඹ තිබේ.

පළමු වතාවට නිවසක් මිලදී ගැනීමේ දී සහන පොලියක් සහිත දිගුකාලීන ණය ප්‍රදානය.

අනුකූලතා සහතිකය (COC) එක් දිනක දී නිකුත් කිරීම.

නිවාස හෝ සුළු ව්‍යාපාර ඉදිකිරීමේ දී නිසි පරිදි සම්පූර්ණ කර ඇති සැලසුම් එක් දිනක දී අනුමත කිරීම.

මාර්ග තදබදයට විකල්පයක් ලෙස කි. මී. ලක්ෂයක අන්තර් විකල්ප මාර්ග ජාලයක් සකස් කිරීමට කෙටුම්පත් සැකසීම.

දුරකථන ගාස්තු මත අය කර තිබූ බද්ද 25% කින් පහත දැමීම.

15% වැට් බද්ද 8% දක්වා පහත හෙළීම.

ආපදා අවස්ථාවල සහන සැලසීමට බාධා වන චක්‍ර ලේඛන සංශෝධනය කිරීමට උපදෙස් දීම.

රක්ෂිතවල වාසය කරන පිරිස් සුදුසු ස්ථානවල පදිංචි කිරීමට පියවර ගැනීම.

සැහැල්ලු වාහන සඳහා රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේ දී අක්ෂි පරීක්ෂාව පමණක් සිදු කිරීම.

දිවයින පුරා කුඩා නගර අලංකාරවත් ලෙස නවීකරණය කොට සංවර්ධනය කිරීමට පියවර ගැනීම.

ජනවාරි 01 දා සිට මාධ්‍යවල ප්‍රචාරය වන ගීත සඳහා අදාළ ගායක ගායිකාවන්ට කර්තෘ භාග ගෙවීම ආරම්භ කිරීම.

පාතාලය හා මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායට බලය දීම.

ඉන්දියාව, චීනය සේම ලෝකයේ බලවත් රාජ්‍යයන්ට අප කෙරෙහි විශ්වාසය තබා අපගේ අනන්‍යතාවට ගරු කරමින් ආයෝජන කිරීමට ආරාධනා කිරීම.

පළාත් නවයේ ආරක්ෂාව සම්බන්ධ විශේෂ වගකීම හමුදාවට භාර කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම.

පරිසර පවිත්‍රතාව පොලිසියේ සහ සෙසු කණ්ඩායම්වල අවධානයට ලක් කිරීම සඳහා වන ක්ෂණික වැඩපිළිවෙළ.

ස්වාධීන ආර්ථික ප්‍රතිපත්තියක් කරා සියලු දිස්ත්‍රික්කයන්හි ඇති ආයෝජන අවස්ථා හඳුනාගෙන ඒ සඳහා අවසර දීම රජය මගින් සිදුකර විදෙස් ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමේ වැඩපිළිවෙළක් සැකසීම.

එම්සීසී ගිවිසුම පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යයනයක් සිදුකොට නිර්දේශ ඉදිරිපත් කිරීමට විද්වත් කමිටුවක් පත් කිරීම.

රටට එරෙහිව ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන දහසකට අධික සංඛ්‍යාවක් නියාමනයට පියවර ගැනීම.

නව අදහස දක්වන්න