කෙළවර නොවන ළමා හිංසනය | දිනමිණ

කෙළවර නොවන ළමා හිංසනය

දරු පරපුර අද කවරදාටත් වඩා අද අනාරක්ෂාවට ලක්ව තිබෙන්නේ යැයි කියන්නට පුළුවන. දරුවන්ට සිදුවන හිංසා පීඩා ආදිය වැඩිවෙමින් පවතින බවද පෙනේ. වාර්තා වන හිංසා මෙන්ම නොවන හිංසාද පවතින අතර, සෘජු ලෙස මෙන්ම වක්‍ර ලෙසද දරුවෝ මානසික හා කායික වශයෙන් අපයෝජනයට ලක්වෙති. ග්‍රාම සේවා නිලධාරිනියක් හා ගර්භණී මවක් දැරියකට අමානුෂික ලෙස පහර දීම, මේ ඛේදවාචකයේ ආසන්නතම මාධ්‍ය වාර්තාකරණයයි. වාර්තාකරණයෙන් ඔබ්බට ගොස් දරුවන් රැක ගන්නේ කෙසේද? ඊට පෙළ ගැසිය යුත්තේ කවුරුන්ද? මේ සම්බන්ධයෙන් පියවර නොගතහොත් සිදුවන්නේ කුමක්ද යන්න සම්බන්ධයෙන්, දරුවන්ගේ ගැටලුවලට විවිධාකාර ලෙස සම්බන්ධ වියතුන් දක්වන අදහස්වලට අද දේශපාලන කොලෝසියම වෙන්වේ.

ප්‍රශ්නයට පිළිතුර දැනුම ලබා දීම 
- පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ කථිකාචාරිණී ආචාර්ය කුමාරි තෝරදෙණිය

දරුවන්ගේ අයිතිවාසිකම් සහ ආරක්ෂාව පිළිබඳ බොහෝ නීති රීති මේ වන විට සම්පාදනය වෙලා අවසන්. එක්සත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්තියට අප අත්සන් තැබුවේ 1991දී. දරුවන්ට වද හිංසා කිරීම සහ දරුවන්ගේ නිදහස අහිමි කිරීම ගැන මේ ප්‍රඥප්තියේ 37 වැනි වගන්තියේ සඳහන් වෙනවා. දරුවන් මේ වදහිංසාවලින් බේරා ගන්නේ කෙසේද කියන කාරණාව මෙහි සඳහන් වෙන අතර ඊට එකඟතාව දක්වමින් අපි ඊට අත්සන් කරලා තියෙනවා.

ඊළඟට වැදගත් වෙන්නේ 1998 අංක 50 දරන ළමා ආරක්ෂක අධිකාරී පනත. මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමුවෙන්නේ ළමා අපචාර, අපයෝජන වැළැක්වීම සහ එවැනි දේට ගොදුරුවෙන ළමුන් ආරක්ෂා කරගැනීමයි. ඒ අනුව බලන කොට ළමා ආරක්ෂක අධිකාරිය බිහි වෙලා තියෙන්නෙත් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්.

තව පනතක් 2005දීත් නීතිගත කරනවා. ඒ තමයි අංක 34 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැලැක්වීමේ පනත. එහි දෙවැනි කොටසේ ආ කොටසින් ළමයින් වදහිංසාවලට ලක්වීමේදී ඔවුන්ව ආරක්ෂා කර ගැනීම පිළිබඳ කරුණු දක්වලා තියෙනවා.

ඒ හැරුණම අවසාන වශයෙන් ගත්තොත් පසුගිය වසරේදීත් ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් හදලා තියෙනවා. මේ අනුව බලනකොට දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ නීතිමය රාමු සියල්ල පාහේ සැකසිලා ඉවරයි. මේ අවසාන ප්‍රතිපත්තියෙන් දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ කොටස් හතරකින් කතා කරලා තියෙනවා. මේ සියලු කොටස්වලින් පොදුවේ කියලා තියෙන්නේ වද හිංසාවලට ගොදුරු වෙන වගේම නොවන දරුවන්වත් ආරක්ෂා කරගන්නේ කෙසේද යන්න ගැනයි.

මේ විදියට බැලුවොත් දරුවන්ගේ ආරක්ෂාව ගැන සැකසිය යුතු නීති රීති, ප්‍රඥප්ති සියල්ල සැකසිලා ඉවරයි. නමුත් දිනෙන් දින දරුවන් වද හිංසාවලට ලක්වෙන ප්‍රමාණයත් ඉහළ ගිහින් තියෙනවා. මේ තරම් ආරක්ෂක විධිවිධාන තියෙද්දී, ආයතන තියෙද්දී දරුවන් මේ තරම් වදහිංසාවලට ලක්වෙන්නේ ඇයි කියන ගැටලුව ගැන කථීකාවක් ඇති වීම ඉතා හොඳයි.

එක අතකට අද ජන මාධ්‍ය හුඟක් පුළුල් වෙලා. බොහොම වේගවත්. ඒ නිසා ඉක්මණින් දරුවන්ට වෙන යම් ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වූ සැණින්ම ඒවා ප්‍රචාරය කරනවා. හැබැයි මේ ප්‍රචාරය නිසා දරුවන්ගේ වද හිංසා ඉහළ ගිහින් ඇති බව පෙනෙන්නට තියෙනවා කියලා අපට කියන්න බෑ. මොකද මාධ්‍ය වාර්තා කළත් නැතත් ළමා හිංසා වැඩිවෙලා තියෙනවා. ඇතැම් වද හිංසා කවදාවත් ලෝකයට හෙළිවෙන්නෙත් නෑ. විශේෂයෙන් ගම්බද ප්‍රදේශවල දරුවන්ට සිදුවෙන අපයෝජන වදහිංසා වැඩියි. ඒ වදහිංසා ගැන වාර්තා නොවෙන තරම්.

දරුවන්ට විරුද්ධ වදහිංසා පිළිබඳ මේ තරම් නීතිරීති තිබෙද්දීත් මේ වදහිංසා සිදුවෙන්නේ ඇයි කියන කාරණාව ගැන මුලින්ම අවධානය යොමු කරන්න ඕනේ. සමාජයේදී වගේම නිවෙසේදීත් දරුවා වදහිංසාවලට ලක්වෙනවා. ඒකට එක් ප්‍රධාන හේතුවක් තමයි වර්තමානයේ මානසික රෝග ඉහළ ගිහින් තිබීම. විශේෂයෙන්ම මවුපියන් විවිධ මානසික රෝගවලට ගොදුරු වෙමින් ඉන්නවා. සමහර විට ඒ අය දන්නෙත් නෑ තමන් මානසික රෝගවලට ගොදුරු වෙලා කියලා. එක් පැත්තකින් ඔවුන් හුඟාක් කාර්ය බහුලයි. අපි හිතමු දැඩි ලෙස කාර්ය බහුල මවක් හෝ පියෙක් සිය සේවස්ථානයේදී යම් මානසික පීඩනයකටත් ලක්වෙනවා කියලා. ඔහු හෝ ඇය නිවෙසට යන්නේ මහත් මානසික පීඩනයකින්. මේ පීඩනය මුලින්ම මුදා හැරෙන්නේ තමන්ගේ දරුවන්ට. මොකද තමන්ට එරෙහි වීමට බලයක් හැකියාවක් නැති අසරණම කොටස වෙන්නේ දරුවන්. ඒ නිසා තම පීඩනය ඔවුන් දරුවන් වෙත මුදා හරිනවා. මේ තත්ත්වය දරුවන්ට අතිශය පීඩාකාරීයි. සමහර විට මේ ප්‍රචණ්ඩත්ව මුදා හැරෙන්නේ මානසිකව හෝ ශාරීරිකව වෙන්න පුළුවන්. මොන ආකාරයෙන් වුණත් ඒක දරුවන්ට කෙරෙන වදහිංසාවක්. ඒ නිසා ඉහළ යමින් තිබෙන මානසික රෝග දරුවන් වෙත මුදා හැරෙන පීඩනයට නැති නම් වදහිංසාවලට ප්‍රධාන හේතුවක්. අවාසනාවන්ත තත්ත්වය නම් මේ මානසික රෝගී තත්ත්ව ගැන බොහෝ දෙනා දැනුවත් නොවීම නිසා ඔවුන් උපදේශනය වෙත යොමු වෙන්නේ නෑ. ඒ නිසා රෝගී තත්ත්වයන් සමහර විට උත්සන්න වෙන්න පුළුවන් එහෙම වුණොත් දරුවන්ට වෙන වදහිංසා ඉහළ යන්න පුළුවන්.

අධික තරගකාරීත්වය තවත් හේතුවක්. මිල මුදල්, නිලතල වගේම අධ්‍යාපනය යනාදී සියලු කාරණා සම්බන්ධයෙන් වර්තමානයේ තියෙන්නේ දැඩි තරගයක්. ඒ නිසා මවුපියන් ඉතා කාර්ය බහුල වෙනවා වගේම ඔවුන්ට දරුවන් වෙනුවෙන් වෙන් කරන්න තියෙන කාලය හරි අඩුයි. දරුවන් ඉපැද්දුවාට මොකද ඇතැම් විට දරුවන් බරක්. දරුවන් දිගින් දිගට ප්‍රශ්න අහද්දිත් මවුපියන්ට ඒක කරදරයක්. උත්තර දෙන්නත් වෙලාවක් නෑ.

ඒ වගේම දරුවෝ හරහා තමන්ගේ තත්ත්වය රැක ගන්නත් ඇතැම් මවුපියන් උත්සාහ දරනවා. පහ වසර ශිෂ්‍යත්වය ඇතුළු සියලු විභාග එවැනි උත්සාහයන්. ප්‍රතිඵල එනතුරු දරුවන් ඉන්නේ භීතියෙන්. විභාගය අසමත්වීමට වඩා දරුවන් බිය වෙන්නේ මේ තත්ත්වයට මුහුණ දීමටයි. නිවෙසින් හා සමාජයෙන් එන පීඩනය මේ දරුවන්ට දරාගන්න බෑ. බොහෝ වෙලාවට නිවෙසින් තියෙන්නේ තර්ජනයක්. ඒ තර්ජනය දරුවන්ට විශාල වශයෙන් මානසික පීඩන ගෙන දෙනවා. ඇතැම් මවුපියන් දරුවන්ට පහර දෙනවා.

මානසික රෝගී තත්ත්ව ඉහළ යෑම, තරගකාරීත්වය, මවුපියන් කාර්ය බහුල වීම වගේම මවුපියන්ගේ අනියම් සම්බන්ධතාත් දරුවන්ට ඇති වෙන හිංසා වැඩි කර තිබෙනවා. මේ අනියම් සම්බන්ධතා විවිධාකාර වශයෙන් දරුවන් පීඩනයට හිංසනයට ලක්කරනවා. ඒක අද තිබෙන ප්‍රධාන ගැටලුවක්. දරුවන් පළිහක් විදියට තමයි මවුපියන් පාවිච්චි කරන්නේ.

දරිද්‍රතාව වගේම බීමත්කමත් දරුවන්ට කරන හිරිහැර වැඩි කර තිබෙනවා. විවිධ හේතු නිසා දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ඉහළ ගිහින් තියෙනවා. ඒ නිසා ඒ ගැන පුළුල් සංවාදයක් ඇති විය යුතුයි. එ් සම්බන්ධයෙන් ජනමාධ්‍යයට මීට වඩා සුවිසල් කාර්ය භාරයක් ඉටු කරන්න පුළුවන්. නමුත් අද මාධ්‍ය වඩා සක්‍රීය වෙන්නේ වුණ අපරාධයක් වාර්තා කිරීමටයි. නමුත් විය යුත්තේ අපරාධ නැවැත්වීමට අවශ්‍ය දැනුම සහ තොරතුරු ජනතාව අතරට ගෙන යෑමයි. දරුවන්ගේ අයිතිවාසිකම් සහ දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වෙනුවෙන් ඇති නීතිරීති ගැන මීට වඩා සමාජය දැනුවත් කරන්න ජනමාධ්‍ය කටයුතු කරන්න ඕනේ.

ආසන්නම සිද්ධිය වූයේ ගැබිණි මාතාවක් සහ ග්‍රාමසේවා නිලධාරිනියක් දැරියකට පහර දීම වාර්තා වීම. ග්‍රාම සේවා නිලධාරිනියක් කියන්නේ නීතිය නොදන්නා කෙනෙක් නොවෙයි. දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීම ග්‍රාම සේවා නිලධාරිනියකගේත් වගකීම. නමුත් එවැනි අය අතින්ම දරුවන් මහත් හිංසනයට පත් වෙනවා. නීතිය දැන සිටියත්, නීතිය ක්‍රියාත්මක කිරීමට සිටියත් ඔවුන් අතින් මේ ඛේදවාචක වෙන්නේ නිසි ආකල්ප සංවර්ධනයක් වෙලා නැති නිසයි. ඒ නිසා ලංකාවේ වැඩිහිටියන් දරුවන් සම්බන්ධයෙන් ඇති කරගෙන තිබෙන ආකල්ප වෙනස් කළ යුතුමයි. දරුවන් කියන්නේ මවුපියන්ගේ දේපොළක් නොවෙයි. තමන් කැමැති කැමැති විදියට දරුවන් පරිහරණය කරන්න කිසිවකුට අයිතියක් නෑ. ඒ බව මවුපියන්, ගුරුවරුන් වගේම වැඩිහිටියන් දන්නේ නෑ. ඒ නිසා ජනමාධ්‍ය ඇතුළු දරුවන් වෙනුවෙන් කටයුතු කරන ආයතන දරුවන්ගේ අයිතීන් ගැන මීට වඩා ප්‍රචාරයක් ගෙන යෑමට කටයුතු කරන්න ඕනේ. ඇත්තටම ඒකට ප්‍රබල ලෙස දායක වෙන්න මාධ්‍යයට පුළුවන්.

දරුවන්ට ඇති නීතිමය රැකවරණය ගැනත් දරුවන් වගේම මුළු මහත් සමාජයම දැනුවත් කරන්න ඕනේ. දරුවන් ආරක්ෂා කරගැනීමේ එක මඟක් ලෙස මේ දැනුවත් කිරීම ඉතා වැදගත්. දරුවන් කියන්නේ රටේ අනාගතය. ඒක මේ සමාජයට අවබෝධ කරලා දෙන්න ඕනේ.

අනෙක් පැත්තෙන් පවුල් උපදේශනය, පාසල් උපදේශනය, පූර්ව විවාහ උපදේශනය, සංවර්ධන උපදේශනය වැනි මනෝ උපදේශනය තවදුරටත් පුළුල් කරන්න ඕනේ. විශේෂයෙන්ම මවුපියන් සහ ගුරුවරුන්, දරුවන් සම්බන්ධව රාජකාරී කරන විවිධ නිලධාරීන්ටත් මේ උපදේශනය ලබා දෙන්න ඕනේ. දරුවා කියන්නේ පීඩනවලින්, තර්ජනවලින්, හිංසාවලින් තොරව නිදහසේ ජීවත් විය යුතු කෙනෙක් කියලා සමාජය දැනුවත් කරන්න උපදේශනය ඉතා වැදගත්. අනෙක මාතෘ සායනවලදී කුසේදී වගේම දරුවකු බිහිකළ පසුවත් දරුවාගේ කායික මානසික වර්ධනයට හේතු වෙන දේවල් ගැන වගේම මානසික වර්ධනය විනාශ වෙන ආකාරය ගැනත් උපදේශනය ලබාදෙන්න ඕනේ.

ළමයා කියන්නේ කවුද යන කාරණය සමාජයට පහදා දීම ඉතා වැදගත්. ළමයකුට මනා පෞරුෂයක් ඇතිව වැඩෙන්නට සාමකාමී පරිසරයක් අත්‍යවශ්‍යයි.

ළමා ආරක්ෂක අධිකාරියත් මීට වඩා මේ ගැන සංවේදී වෙලා කටයුතු කළොත් හොඳයි. අධිකාරිය බොහෝ විට මැදිහත් වෙන්නේ දරුවකුට කරදරයක් වුණාට පසුවයි. ආයතනයක් ලෙස ක්‍රියාකාරී වෙන්න ඕනේ එවැනි හිංසා කරදර සිදුවීම වලක්වා ගැනීමටයි. අධිකාරිය එය නොකරනවා නොවෙයි. නමුත් මීට වඩා ක්‍රියාශීලි වීම අවශ්‍යයි.

මේ වන විට මේ සම්බන්ධයෙන් උගත් විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් බිහි වෙනවා. ඒ අයව මේ සේවය සඳහා යොමු කර ගැනීම ඉතා වැදගත්. දරුවන් සම්බන්ධයෙන් මැදහත් වෙන ආයතන මේ විද්‍යාර්ථින් සම්බන්ධ කරගෙන ඔවුන් ගම් මට්ටමින් සේවයට යොදවන්න ඕනේ. හැබැයි සේවයට යෙදවීම විතරක් මදි. ඒ අයගෙන් නිසි සේවය වෙනවාද කියන එක ගැන ආයතන ප්‍රධානීන් සොයා බලන්න ඕනෑ.

ඒ වගේම ග්‍රාම සේවා නිලධාරීන්, පොලිස් නිලධාරීන් වැනි අය එකතු කරගෙන ගම්මට්ටමින් උපදේශන වැඩමුළු පැවැත්වීම ඉතා වැදගත්. ඒ වගේම විවිධ අපයෝජනයන්ට ලක්වුණ දරුවන්ටත් පුනරුත්ථාපනය නොහොත් උපදේශනය ලබා දිය යුතුයි. එසේ නොවුණොත් ඒ අය වැඩෙන්නේ වෛරය එක්ක. ඒ නිසා නැවත ඔවුන්ගෙන් සමාජයට පීඩනය එල්ල වෙනවා. ඔවුන්ගේ දරුවන්ට පීඩනය එල්ල වෙනවා. ඒ නිසා එවැනි දරුවන්ට උපදේශනය වගේම ඒ දරුවන් ගැන පසු විපරමකුත් කරන්න ඕනේ.

අකුරු කියවීම ලිවීම මොන තරම් ඉහළ මට්ටමකට ගියත් අපි කොතරම් දියුණුයි කිව්වත් අපේ ආකල්ප දියුණු නැත්නම් දරුවන්ට වෙන මේ වදහිංසා නැවැත්වීමට හෝ දරුවන්ට ආරක්ෂාව සපයන්න අපට පුළුවන් වෙන්නේ නෑ. ඒ නිසා අපි දරුවන් ගැන තිබෙන ආකල්ප වෙනස් කර ගැනීමත් ඉතා වැදගත්.

දඬුවමත් ධනාත්මකව කරන්න පුළුවන් 
- පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය, ධනේෂ් කරුණානායක

ඇත්තටම දැඩි දඬුවම් දෙමින් පීඩා කිරීම නිසා දරු පරපුර දැඩි පීඩනයකට ලක් වෙනවා. විශේෂයෙන්ම එලෙස දඬුවම් විඳින දරුවන් වැඩිහිටියන් වූ විටෙක ඔවුනගේ දරුවන්ටත් එලෙසම දඬුවම් පැමිණවීමට පෙළඹෙන්න පුළුවන්.

ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව මෙවැනි දරුවන්ට කුඩා කාලයේ සිටම තමන් ගැන තිබෙන හැඟීම් ඍණාත්මක පැත්තට බර වීම වැඩි විය හැකියි. එය විශාදය වැනි රෝගී තත්ත්ව ඇතිවීමටද බලපාන්න පුළුවන්. මොන තරම් දක්ෂතා තිබුණත් එලෙස දඬුවම් විඳින දරුවන් අධ්‍යාපනය පැත්තෙන් යන්නෙ ආපස්සටමයි. විශේෂයෙන්ම විභාග ආදියේදී තමන් තුළ ඇති ඍණාත්මක සිතිවිලි හේතුවෙන් ඒ දරුවන් පසුබසිනවා. මෙලෙස ඉතාම නරක විදිහට දඬුවම් ලබන දූදරුවන්ට ආදරය, කරුණාව නොලැබීම තවත් ප්‍රශ්න රැසකටම බලපානවා. එවැනි දරුවන් තමන්ට නොලැබෙන ආදරය, කරුණාව ලබා ගැනීමට වෙනත් පාර්ශ්ව කරා ළං වෙනවා.

ගැහැනු ළමයින් නම් තරාතිරම නොබලා කිසියම් හෝ පිරිමි ළමයෙක් නැතිනම් වැඩිහිටි පිරිමියෙක් සමඟ හෝ ප්‍රේම සබඳතා වැනි දෙයක් ඇතිකර ගැනීමට පෙළඹෙනවා. අන්තිමට ඒ හරහා ලිංගික අතවරවලට පවා ලක්වෙලා විශාල සමාජ ඛේදවාචකයකට මුහුණපාන්නට පුළුවන්. අද රටේ ගණිකා වෘත්තිය වැනි ක්ෂේත්‍රවලට යොමුවෙලා සිටින කාන්තාවන් බොහෝ දෙනෙක් ළමා කාලයේදී මෙවැනි ඛේදනීය තත්ත්වයන්ට මුහුණ දීලා තියෙනවා. එය ශාරීරිකව, ලිංගිකව හෝ මානසිකව විය හැකියි. ළමා කාලයේදී අපයෝජනයට ලක්වීම නිසා දරුවන්ට තමන් ගැන තිබෙන ධනාත්මක සිතිවිලි කුඩා කාලයේදීම බිඳ වැටෙනවා. තමන් කිසිම දෙයක් කරගත නොහැකි පිරිසක් ලෙස හිතන්න පටන් ගන්නවා.

ඒ දරුවන් වැඩිහිටියන් වූ කලෙක තමන්ගේ කුඩා කාලයේදී එවැන්නක් ගැන අත්දැකීමක් නොමැති නිසා දරුවන්ට දඬුවම් කළ යුත්තෙ කෙසේද කියා දැනීමක් නැහැ. ඒ වගේම කුඩා කාලයේ පීඩාවන්ට පත්වන දරුවන් වැඩිහිටියන් වූ කල මුළු සමාජයටම වෛර කරනවා. මේක යම් කිසි ආකාරයක චක්‍රාකාරව ගමන් කරන ක්‍රමවේදයක්. මෙය රටක් වශයෙන් ගත්තාම ඉතාම ඍණාත්මක ප්‍රවණතාවක්.

විශේෂයෙන්ම අපරාධ, කොල්ලකෑම්, මිනීමැරුම්, මත්ද්‍රව්‍ය ජාවාරමට ආදියට පෙළඹෙන්නෙ මෙසේ කුඩා කාලයේ වැඩිහිටියන්ගෙන් පීඩා විඳින දූදරුවන්. අද රටේ පාතාලය වැනි දෙයක් බිහිවෙලා තියෙන්නෙත් මෙසේ ළමා අවධිය අපයෝජනයට ලක්වූ දරු පරපුරක් නිසා.

මෙවැනි දේවල්වලින් දරු පරපුර ගලවා ගැනීමට නම් ප්‍රතිපත්තිමය වශයෙන් තීන්දු තීරණ ගත යුතුයි. මාපියන් විසින් දරුවන් හැදිය යුත්තෙ කෙසේද යන්න ක්‍රමවේදයක්, ප්‍රතිපත්තියක් රටේ අදටත් පවතිනවා. නමුත් ඒ දේවල් නිසි ආකාරයෙන් ඉගැන්වීමක්, හැදෑරීමක් කිසිම තැනෙක සිදුකෙරෙන්නෙ නෑ. විවාහ වන විටම නැතිනම් දරුවෙක් බිහි කිරීමට සැලැසුම් කිරීමේදී මාපියන්ට දරුවන් නිසි ලෙස ඇතිදැඩි කරන්නෙ කෙසේද යන්න හැදෑරීමක් කරන්න රටේ නිසි ක්‍රමවේදයක් නැහැ.

අතීතයේදී තිබුණු ආච්චිලා, සීයලා, මාපියන් පමණක් නොව මුළු ගමම එකතුවී දරුවන් හදන ක්‍රමවේද අද කිසිම තැනෙක දක්නට නැහැ. අද වන විට පවුල, න්‍යෂ්ටික පවුලක් වෙලා. දරුවන් නිවෙස්වල තනියමයි හැදෙන්නෙ. මෙවැනි දේවල් නිසා ඇතිවී තිබෙන සමාජ ප්‍රශ්න වෙනුවෙන් ප්‍රතිපත්තිමය තීන්දු තීරණ රජය විසින් ගත යුතුයි. මාපියන් දරුවන්ට දඬුවම් කළ යුත්තෙ කෙසේද යන්න පුළුල්ව දැනුවත් කළ යුතුයි. ඇත්තටම දරුවන්ට දඬුවම් කිරීමේ ක්‍රමවේද තිබෙනවා. ධනාත්මක ආකාරයෙන් දඬුවම් කරන්න පුළුවන්. ඒවා ගැන මාපියන් දැනුවත් කළ යුතුයි. එසේම දරුවකුට දඬුවමක් දිය යුත්තේ ඒ වරද නැවත නොකරන ආකාරයටයි. ඒ කියන්නෙ දඬුවමක් දිය යුත්තෙ දරුවාට තවත් හැදෑරීමක් ලෙස මිස පීඩනයක් ලෙස නොවෙයි.

මේ දඬුවම් ක්‍රම ගැන රජය මඟින් මාපියන් සහ පාසල් ගුරුවරුන් දැනුවත් කිරීම අනිවාර්යයෙන්ම කළ යුත්තක්. දරුවන්ට ධනාත්මක දඬුවම් දිය යුත්තෙ කෙසේද යන්න රජය විසින් ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත යුතුමයි. සමාජයක් ලෙස අප දැන් වෙනස් විය යුතු කාලය එළැඹ තිබෙනවා. මේ සිදුවන එකක් දෙකක් සිදුවීම්වලට පැලැස්තර විසඳුම් යොදා හරියන්නෙ නැහැ. මෙවැනි සිදුවීම් අද වන විට සෑම තරාතිරමකම නිවෙස්වල විශාල වශයෙන් සිදු වෙනවා.

දඬුවම් ඉක්මන් කරන ක්‍රමයක් ඕනෑ 
- ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ

ළමයින්ගේ ආරක්ෂාව සහ අයිතිවාසිකම් පුළුල් වපසරියක් දක්වා පැතිරී පවතිනවා. ඒ වාගේම වෛද්‍ය විද්‍යාත්මකව මානසික, කායික යනාදී වශයෙන් විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ළමයින්ගේ ආරක්ෂාව සහ අයිතිවාසිකම් පිළිබඳ සාකච්ජා කරනවා. ළමා අයිතිවාසියකම් අහිමි වීම සහ ළමයින්ගේ ආරක්ෂාවට තර්ජනයක් වීම පිළිබඳ අපි ප්‍රධාන වශයෙන් කතා කරනවා. ලෝකයේ සෑම රටකම ළමයින්ගේ ආරක්ෂාවට තර්ජනයක් වීම නීතිමය ගැටලුවක් වශයෙන් හදුන්වනවා. අපේ ළමයින් කායික, මානසික වශයෙන් හිංසනයය ලක්කිරීම මෙන්ම ලිංගික වශයෙන් හිංසනයට ලක් කිරීම යන කාරණා දෙක වැඩි වශයෙන් සිදු වෙනවා. මේ දේවල් දරුවන්ගේ ජීවිතවලට අහිතකර ලෙස බලපානවා. ලංකාවේ බොහෝ විට කායික වශයෙන් දරුවන් හිංසනයට ලක් කිරීම, දඩුවම් ලබා දෙන ස්වරූපයෙන් සිදු වෙනවා.

වර්තමානයේ දී ශ්‍රී ලංකාවේ දරුවන් කායික වශයෙන් හිංසනයට ලක් කිරීම සහ ලිංගික හිංසනයට ලක්කිරීම වැඩි වශයෙන් සිදු වෙනවා. වයඹ පළාතේ ප්‍රදේශයක දරුවකුට බරපතළ ආකාරයෙන් පහර දෙන අකාරය ජනමාධ්‍ය ඔස්සේ අපි දැක්කා. ඒක ඉතාමත් කනගාටුදායක අවාසනාවන්ත තත්ත්වයක්. ඒක කායිකව සිදු කරන ලද අමානුෂීය හිංසනයක්. අපි දැක්ක ඒ කායික හිංසනයටත් වඩා වැඩි හිංසනයක් වුවත් සිදු වෙන්න පුළුවන්. ඒ ආකාරයෙන් සිදු කරන ලද කායික හිංසනයක් නිසා දරුවකු මියයන්නත් පුළුවන්. තුවාල සිදු වෙලා ජීවිතයට අවධානමක් ඇති වෙන්නත් පුළුවන්. ඒ වාගේම මෙවැනි පහරදීමක් නිසා දරුවාගේ පෞරුෂයට, මනසට බලපෑමක් සිද්ධ වෙන්නත් පුළුවන්. මේ හිංසන මඟින් කෙටි කාලීන සහ දිගු කාලීන වශයෙන් ශාරීරික මානසික අබාධ ඇතිවෙන්න පුළුවන්. ඊට අමතරව අධ්‍යාපනය අහිමි වීම, ක්‍රීඩා කිරීම, විනෝදයෙන් ගත කිරීම , ජීවිතය සාමාකාමීව ගත කිරීමට නොහැකි වීම ආදිය සිදු වෙන්න පුළුවන්.

කායිකව හිංසා කිරීම, ලිංගික අතවර ආදී දරුවන්ගේ අයිතිවාසික්ම් උල්ලංඝනය වීම් අපේ රටේ අපරාධ නීතියෙන් තහනම් කරපු බරපතළ වැරදි වශයෙන් හදුන්වනවා. විශේෂයෙන් ම 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනතෙහි දරුවන්ව කෲරත්වයට භාජනය කිරීම, හිංසා කිරීම සහ ලිංගිකත්වයට භාජනය කිරීම බරපතළ අපරාධ වශයෙන් හදුන්වා දීලා තියෙනවා. දරුවන් කායිකව, ලිංගිකව හිංසනයට පත් කිරීම හෝ කෲරත්වයට පත් කරන බොහෝ දෙනා දරුවන් සමීපව ඇසුරු කරන භාරකාරයන්. තාත්තා, බාප්පා, මාමා ආදී සමීපතයන් විසින් යම් හිංසනයක් දරුවන්ට සිදු කළ විට මේ පිළිබඳ හෙළි නොකර සිටීමට ඔවුන් දරුවන්ට තර්ජනය කරනවා. ඉන් ඇති වෙන බිය නිසා තමන්ට සිදු වුණු හිංසනය පිළිබඳ ප්‍රකාශ කිරීමට දරුවන් මැළි වෙනවා.

විශේෂයෙන් ලිංගිකව හිංසනයට ලක් කිරීම, කායිකව හිංසනයට ලක් කිරීම ආදීය සිදු කරන පුද්ගලයන් බොහෝ විට මේ දේවල් අපරාධ නීතීයෙන් තහනම් කළ දේවල් කියලා දන්නේ නැහැ. ඒ වාගේම

මෙවැනි හිංසනයන්ට ලක් වන දරුවන්ටත් තමන්ට සිදුව තිබෙන්නේ ළමා හිංසනමය අපරාධයකට කියලා අවබෝධයක් නෑ.

ඒ නිසා ළමයින්ට සිදු වන කායික හිංසන, ලිංගික හිංසන ආදී කෲර ක්‍රියාකාරකම් , සිදු වෙන්නේ කොහොමෙද, ඒවායින් ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා කුඩා කාලයේ සිටම දැනුවත් කළ යුතු වෙනවා. යම් කායික හිංසනයක් හෝ ලිංගික හිංසනයක් සිදු වෙන බව ඉවෙන් වටහා ගෙන ඉන් මිදී සිටීම පිළිබඳ අධ්‍යාපනය ලබන මුල් කාලයේ සිටම දරුවන්ට කියා දිය යුතු වෙනවා. යම් සිදුවීමක් විවෘතව ප්‍රකාශ කිරීම, මිනිසුන්ගේ ශරීර අංග චලනයන් අනුව ඒ පුද්ගලයා කවුරුන්ද යන්න හදුනා ගැනීම, යම් පුද්ගලයකු පිළිබඳ සැකයක් ඇති වුවහොත් ඒ පිළිබඳ මවුපියන්ට ප්‍රකාශ කිරීම යන කාරණා ගැන මවුපියන් කුඩා කාලයේ සිටම තම දරුවන්ට කියා දිය යුතු වෙනවා.

දරුවන්ට සිදු වන අපරාධ අනෙකුත් අපරාධවලට වඩා සුවිශේෂී නිසා දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සකස් කිරීමේදී සහ ඒවා ක්‍රියාත්මක කිරීමේදී

අදාළ පාර්ශ්වයන් මනා අවධානයකින් හා අවබෝධයකින් සිය කටයුතු කළයුතියි.

ලංකාවේ කායික හිංසන, ලිංගික අපයෝජන ආදිය සිදු වූ විට ඒවාට අදාළ වැරදිකරුවන්ට නිසි දඩුවම් ලබා දීම ඉක්මනින් සිදු වන්නේ නැහැ. ඇතැම් අවස්ථාවල හිංසනයට ලක් වූ දරුවන්ගේ ඒ අදාළ හිංසනය සිදු කළ වැරදිකරුවන්ට දඩු‍වම් දෙන විට එම දරුවන් ඇතැම් විට විවාහ වෙලා දරුවන් ලැබිලා. මෙවැනි ඇතැම් නඩු සඳහා වසර 10 ක් ‍වැනි කාලයක් ගත වෙනවා. එහෙම වුණාම හිසනයට ලක් වූවන්ගේ අනාගතයටත් අහිතකර බලපෑමක් සිදු වෙනවා. ඒ නිසා ලංකාවේ ළමා හිංසනයන් සිදු කරන අපරාධකරුවන්ට දඩුවම් දීම ඉක්මන් කිරීමට රජය පියවර ගත යුතු වෙනවා.

සුමේධා නවරත්න, අමිල මලවිසූරිය සහ මදාරා මුදලිගේ

නව අදහස දක්වන්න