සරසවියේ සතුටු කඳුළු ! | දිනමිණ


 

සරසවියේ සතුටු කඳුළු !

නවක වදය තුරන් කිරීමටත්, විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගැනීම කඩිනම් කිරීමටත් රජය පියවර ගනිමින් සිටී. උසස් අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දෙන අන්දමට ශිෂ්‍ය ගැටලු විසැඳීම සඳහා නව පිළිවෙතක් අනුගමනය කිරීම ද සිදුවේ. එනම්; කඳුළු ගෑස් හා ජල ප්‍රහාර වෙනුවට සාකච්ඡා මාර්ගය තෝරාගැනීමෙන් ය. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ අලුත් පිළිවෙත නිසා රජයට විශාල මුදලක් ඉතිරි කර‍ගත හැකි ය. ඉන් නොනැවතී ශිෂ්‍ය ප්‍රජාව උද්ඝෝෂණ හා විරෝධතාවලින් ගලවා අධ්‍යාපනය කෙරෙහිම යොමු කිරීමේ අවස්ථාව ද මේ ඔස්සේ ඇති වෙයි. අමෙරිකාව මෑතක දී කළ පර්යේෂණයකින් කියැවෙන්නේ උසස් අධ්‍යාපනයෙහි යෙදෙන සිසුන්ගේ ගැටලු විසැඳීම සඳහා නව උපායමාර්ග සෙවීම අත්‍යවශ්‍ය බව ය.

නවකවදය යනු ශිෂ්‍ය ප්‍රජාවට උසස් අධ්‍යාපනය එපා කරවන ක්‍රියාවලියකි. මේ වනවිට එහි දේශපාලන නැඹුරුවක් ද දකින්නට ලැබේ. තත්ත්වය කෙතරම් බරපතළ ද යත්; නවකවදය නිසා සැලැකිය යුතු පිරිසක් සරසවි අධ්‍යාපනය අත්හරිති. නවකවදයට මුහුණදිය නොහැකිව දිවි නසාගත් අය ද සිටිති. නවකවදය නිසා සදාකාලික අබ්බගාතයන් වූ අය ද සිටිති. මේ පිළිබඳ විවිධ සාකච්ඡා - සංවාද හා උපදේශන පවත්වා ඇතත්; නවකවදය තුරන් කිරීමට හෝ නවකවදය අඩු කිරීමට හෝ කිසිදු රජයක් සමත් වූයේ නැත. එහෙත් සමාජයේ පවතින මතයක් වන්නේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කළහොත් මේ අමානුෂික ක්‍රියාවලිය නැවැත්විය හැකි බව ය. ඊට අදාළ සාර්ථක නීති පද්ධතියක් දැන් පවතී. රජය කළයුත්තේ එය ක්‍රියාත්මක කිරීම පමණි.

විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගැනීමේ බලවත් ප්‍රමාදයක් අපේ රටේ පවතී. උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වී මාස තුනකින්වත් සරසවිවලට සිසුන් ඇතුළත් කරගත යුතු ය. එහෙත් ‍අපේ ක්‍රමයට අනුව ඒ සඳහා වසරක පමණ කාලයක් ගත වේ. ඇතැම්විට ඊටත් වඩා වැඩි කාලයක් ඒ සඳහා ගත වේ. ගිය වසරේ උසස් පෙළ සමතුන්ගෙන් විශ්වවිද්‍යාල සඳහා තේරීපත්වූ ශිෂ්‍ය ප්‍රජාව තවම බඳවාගෙන නැත. තරුණ ජීවිතවලින් වසරක් උදුරාගැනීම බලවත් පාඩුවකි. එලෙස ම එය අපරාධයකි. උසස් ‍අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටින්නේ ගිය වසරේ අය ද, මේ වසරේ අය ද මාස කිහිපයක් ඇතුළත සරසවිවලට ඇතුළත් කරගෙන වහාම අධ්‍යයන කටයුතු ආරම්භ කරන බව ය. තත්ත්වය කළමනාකරණය කරගන්නා ආකාරය ද බන්දුල ගුණවර්ධන මහතා පැහැදිලි කර ඇත.

මේ සියල්ලට වඩා වටිනා වැඩසටහනක් බන්දුල ගුණවර්ධන මහතා ආරම්භ කර තිබේ. එනම්; සරසවි ශිෂ්‍ය ප්‍රජාව සමඟ සුහද සංවාදයක් ආරම්භ කිරීම ය. මෙතෙක් කිසිදු උසස් අධ්‍යාපන අමාත්‍යවරයකු එය සිදුකර නැත. මහපොළ ශිෂ්‍යත්වයේ සමාරම්භකයා වූ ලලිත් ඇතුලත්මුදලි මහතාට පවා එය කළ නොහැකි විය. ඇතුලත්මුදලි මහතා ජීවත්ව සිටි කාලයේ මහපොළ ප්‍රදර්ශනයක් විශ්වවිද්‍යාල පරිශ්‍රයක පැවැත්වීමේ වුවමනාව ඔහුට තිබිණි. එහෙත් ශිෂ්‍ය සංගම් ඊට ඉඩ තැබුවේ නැත. මේ පිළිබඳ සාකච්ඡාවක් සඳහා කැලණිය විශ්වවිද්‍යාලයට පැමිණි නිලධාරී පිරිසකට පහරකෑමට සිදුවිණි. ඔවුන් පැමිණි වාහනය ගිනිබත් කැරිණි. එය සිදුවූයේ අසූ ගණන්වලය. බලධාරීන්ට ශිෂ්‍යයන් පෙනෙන්නට බැරි ය. ශිෂ්‍යයන්ට බලධාරීන් පෙනෙන්නට බැරි ය.

බන්දුල ගුණවර්ධන මහතා දක්ෂ හා ප්‍රවීණ ගුරුවරයකු වන බැවින් ම ශිෂ්‍ය ගැටලු කෙරෙහි සංවේදී වන බවක් පෙනෙයි. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ප්‍රශ්නයක් මුල්කොට විශාල විරෝධතාවක් පසුගියදා පැවැත්විණි. ශිෂ්‍යයෝ වෝර්ඩ් පෙදෙස වටකොට විරෝධතා දක්වන්නට වූහ. අමාත්‍යවරයා පැමිණ සාකච්ඡාවක් පවත්වා විනාඩි කිහිපයක් තුළ ගැටලුවට විසැඳුමක් ලබා දුන්නේය. අන්තරයේ නියෝජිතයන් ඇතුළු ශිෂ්‍ය සංගම් ප්‍රධානීහු තෘප්තිමත්ව විරෝධතාව නැවැත්වූහ. ඔවුන්ගේ ඉල්ලීම වූයේ‍ සෞන්දර්ය විශ්වවිද්‍යාලය සඳහා සිසුන් බඳවා ගැනීමේ දී ප්‍රායෝගික පරීක්ෂණය පැවැත්විය යුතු බව ය. එය කලින් පැවැති ක්‍රමය වූ අතර මෑතකදී එය වෙනස් කර තිබිණි. එනම්; ප්‍රායෝගික පරීක්ෂණයකින් තොරව සිසුන් බඳවාගැනීම සිදුවිය. විශ්වවිද්‍යාල පරිපාලනය හා ශිෂ්‍ය සංගම් අතර සංවාදයකට ද අමාත්‍යවරයා ඉඩ ලබාදී තිබිණි. දැන් ප්‍රායෝගික පරීක්ෂණය සහිතව සිසුන් බඳවාගැනීම සිදුවේ.

අපේ දේශපාලන සංස්කෘතියේ ද, රාජ්‍ය පාලන සම්ප්‍රදායේ ද බලවත් අඩුවක් වන්නේ තරුණ ශිෂ්‍ය ප්‍රජාවට ඇහුම්කන් නොදීම ය. ඔවුන් වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතු ආයතන පවා ශිෂ්‍ය ප්‍රජාව කෙරෙහි සංවේදී නැත. දේශපාලකයන්ගේ මිම්මට අනුව විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් යනු කලහකාරයන් ය. පරිපාලන නිලධාරීන්ගේ මිම්මට අනුව ඔවුන් කරදරකාරයන් ය. එහෙත් රටේ බොහෝ දේවල් තීරණය වන්නේ තරුණ ප්‍රජාවගේ දැනුම හා ආකල්පවලට අනුව ය. රටේ දේශපාලනය වෙනස් කිරීමට පවා තරුණ ප්‍රජාවගේ බලපෑම අතිවිශේෂ වෙයි. ඒ හැරත් තරුණ ප්‍රජාව යනු රටේ අනාගතය යි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ එයින් ද සුවිශේෂී ස්ථානයක් උසුලති. මේ ප්‍රජාව නොසලකා හැරීම බලවත් වරදකි. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ දැක්ම නිවැරැදි ය. ඔහු තරුණ ශිෂ්‍ය ප්‍රජාවට ඇහුම්කන් දෙමින් ඔවුන් හා සංවාදයක් ඇති කරගැනීමට උත්සුක වෙයි.

දියුණු රටවල විශ්වවිද්‍යාල මෙන් ම උසස් අධ්‍යාපන ආයතන රටේ සංවර්ධනයේ කොටසක් ලෙස පවත්වාගෙන යනු ලැබේ. ශිෂ්‍ය ප්‍රජාවගේ පර්යේෂණ, සමීක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය මැදිහත්වීම මත ඉදිරියට ගෙන යනු ලැබේ. එබඳු සාධනීය වැඩසටහන් ශ්‍රී ලංකාව තුළ ද ස්ථාපනය විය යුතු ය. ඒ සඳහා විශ්වවිද්‍යාල ආයතන සක්‍රීය ස්ථාන බවට පත්කළ යුතුය. රජය ඒ සඳහා ගනු ලබන උත්සාහය බුද්ධිමතුන්ගේ පැසසුමට ලක්වනු ඇත.

 

නව අදහස දක්වන්න