මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයට | දිනමිණ

මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයට

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පසුගියදා සිය ධූරයේ වැඩ භාරගත්තේය.

සිය තනතුරේ වැඩ භාර ගනිමින් කතා කළ ඒ මහතා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට පැවරී ඇති ජාතික වගකීම ඉටුකිරීමේ දී සියලු කාර්ය මණ්ඩලය කණ්ඩායමක් ලෙස ඒකායන අරමුණින් යුක්තව වැඩ කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය. සියලු නිලධාරීන් ඔවුන්ගේ කාර්යභාරය හා වගකීම නිසි ලෙස ඉටු කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත් එතුළින් ආපදාවලින් සිදුවන හානිය අවම කරගනිමින් රටේ මහජනතාවගේ ජීවිතවල සුරක්ෂිත බව තහවුරු කිරීමට කැපවී කටයුතු කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ද අවධාරණය කළේය. වසර 39ක් යුද හමුදා සේවයේ රාජකාරි ඉටුකර ඇති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය හදාරා ඇති ඒ මහතා යුද හමුදා මාණ්ඩලික විද්‍යාලයේ උපාධිධාරියෙකු ද වේ. පාකිස්ථානු ජාතික ආරක්ෂක විද්‍යාලයෙන් යුද අධ්‍යයනය පිළිබඳ ප්‍රථම උපාධියක් සහ පශ්චාත් උපාධියක් හිමිකරගෙන ඇති අතර චීනයේ ජාතික ආරක්ෂක විද්‍යාලයෙන් යුද සහ දේශපාලන ක්‍රමෝපායන් පිළිබඳ උපාධිය ද හිමිකරගෙන ඇත.වසර 39ක සේවා කාලය තුළ යුද ලේකම්, 53 වන සේනාංකාධිපති, ඉංජිනේරු බලකායේ අණදෙන නිලධාරී, කිළිනොච්චි, මුලතිව් සහ බස්නාහිර ආඥාපති, කොළඹ භාර ඒකාබද්ධ ආඥාපති, බෝම්බ නිශ්ක්‍රීය අංශයේ අණදෙන නිලධාරි ඇතුලු තනතුරු රාශියක් හොබවා ඇති අතර රණවික්‍රම, රණශූර සහ දේශපුත්‍ර ඇතුලු සේවා ඇගැයීම් පදක්කම් රාශියක් ද හිමි කරගෙන ඇත. මීතොටමුල්ල අපද්‍රව්‍ය බහලුම් ස්ථානයේ සිදු වූ ව්‍යසනය, අරනායක සාමසර කන්ද නායයෑම, කොළඹ, කළුතර, කිළිනොච්චි දිස්ත්‍රික්කවල පැවති ගංවතුර ආපදාවලදී මෙන්ම කොස්ගම, ශාලාව යුද හමුදා කඳවුරේ අවි ගබඩාව පිපිරීම ආදී ස්වභාවික සහ මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවූ ආපදා කළමනාකරණය කරමින් මිනිස් ජීවිත සහ දේපළ ආරක්ෂා කිරීමට නායකත්වය ගෙන කටයුතු කර ඇත.

ඒ මහතා වැඩ බාරගත් අවස්ථාවට ආරක්ෂක අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් ක්‍රිස්ටි ලාල් ප්‍රනාන්දු, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ඩබ්ලිව්. ඒ ධර්මසිරි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ චමින්ද පතිරාජ සහ අමාත්‍යාංශයේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

උදුලා පීරිස්

 

නව අදහස දක්වන්න