තලෙයිමන්නාරම ඉඩම් වංචාව | දිනමිණ

තලෙයිමන්නාරම ඉඩම් වංචාව

බදියුදීන්ගේ සොහොයුරු රිෆ්කාන් CIDයට කට්ටි පනී

තලෙයිමන්නාරමේ අක්කර 280කට ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා වන රිෆ්කාන් බදියුදීන් අත්අඩංගුවට ගැනීම සඳහා රහස්  පොලීසිය කිහිපවතාවක් ම ඔහුගේ නිවසට ගියද ඔහු රහස් පොලීසිය මඟ හරිමින් සිටින බවට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ රහස් පොලීසිය ඊයේ (9) අධිකරණයට කරුණු වාර්තා කළේය. ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ මවුපියන් බිරිය පමණක් සිටි බවත්, ව්‍යාපාර කටයුතු සඳහා කොළඹ ගිය බවට ඔවුන් පවසා සිටි අතර, ජංගමදුරකථනය පවා විසන්ධි කර ඇති බව රහස් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය. මෙම වංචනික ක්‍රියාව ඉතා බරපතළ බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය මෙහි ප්‍රධාන සැකකරු බව පවසන රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරු වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට රහස් පොලීසියට ඉකුත් 5 දා නියම කර තිබිණි.

තලෙයිමන්නාරමේ අක්කර 280කට ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරකු වන බදියුදීන් මොහොමඩ් රිෆ්කාන්ගේ විදේශ ගමන් ද අධිකරණය තහනම් කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තලෙයිමන්නාරම පදිංචි මදාර් මොහිදින් අන්තාර්ජිත් නැමැත්තා අත්අඩංගුවට ගෙන රහස් පොලීසිය ඉකුත් 5 අධිකරණයට ඉදිරිපත් කළ අතර, සැකකරු ලබන 23 වන දින දක්වා රක්ෂිතබන්ධනාගාර ගත කරන ලෙසට අධිකරණය නියෝග කළේය.

මොහු අධිකරණයට ලබා දී ඇති දිවුරුම් ප්‍රකාශ අසත්‍ය බවත්, සාක්කිකරුවන්ට බලපෑම් කළ බවට පැවසෙන කරුණු සම්බන්ධයෙන් කරුණු තහවුරු කරගත් අධිකරණය සැකකරුට ඇප ලබාදීම ප්‍රතික්ෂ්‍රේප කළේය.

තලෙයිමන්නාරම උප්පුතරව් වෙට්ටිතරව් ඉඩමේ ව්‍යාජ ඔප්පුවක් සකස් කර විකිණීම සම්බන්ධයෙන් ශ්‍රී සද්ධර්ම මාවත කොළඹ 10 පදිංචි අබ්දුල් කාසිම් සලාබි නැමැත්තා 2015 /11/26 වන දින රහස් පොලීසිය වෙත කළ පැමිණිල්ල අනුව මෙහි විමර්ශන ආරම්භ කර ඇත.

අක්කර 40 බිම් කොටස් දෙකක් ලක්ෂ 240 මිලට ගැනීමේන් පසු තමන් එහි ගිය විට එම ඉඩමට බලහත්කාරයෙන් ඇතුළු වූ රිෆ්කාන් තමන්ට එම ඉඩමේ අයිතිය නැති කළ බව පැමිණිල්ලේ සඳහන්ය.

අක්කර 280 සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බවත්, අල්විනාපුරම් පිල්ලෙයාඩි පුත්තලම පදිංචි බදුර්දින් මොහොමඩ් රිෆ්කාන් යන අය විදේශ ගත වුවහොත් විමර්ශනවලට බාධා පමුණවිය හැකි බැවින් අධිකරණ අවසරයකින් තොරව විදේශගතවීම තහනම් කරන ලෙසට රහස් පොලීසිය 1979 අංක 15 අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වගන්ති ප්‍රකාරව අධිකරණයෙන් ඉල්ලීම කර තිබිණි.

අදාල ඉල්ලිම සලකා බැලු මහෙස්ත්ත්‍රාත්වරිය වංචාවේ බරපතලකම සලකා රහස් පොලිසියේ ඉල්ලිම අනුව රිෆ්කාන් බදුර්දින්ගේ විදේශ ගමන් තාවකාලිකව තහනම් කිරිමට නියෝග නිකුත් කොට සැකකරු අත්අඩංගුවට ගැනිමට නියෝග නිකුත් කළාය.

 

සිරන්ජනි කුමාරි

නව අදහස දක්වන්න