ෆුට්නෝට් කල්ලිය ඡන්දෙට බයවෙලා | දිනමිණ

ෆුට්නෝට් කල්ලිය ඡන්දෙට බයවෙලා

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

ජනමාධ්‍ය නිදහස සම්බන්ධව වත්මන් ආණ්ඩුව අනුගමනය කරන පිළිවෙත කුමක් ද?

විශ්වවිද්‍යාල අධ්‍යාපනය සම්බන්ධව පවතින ගැටලුවලට මුහුණදෙන්නේ කෙසේ ද?

රැකියා විරහිත උපාධිධාරීන් පිළිබඳ ගැටලුවට විසඳුම් සොයන්නේ කෙසේ ද? ආදී කරුණු සහ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන සාකච්ඡාවට එක්වේ.

මඩ එපා කියල රාජ්‍ය මාධ්‍යයටඋ‍පදෙස් දුන්නා

බදු සහනයේ වාසි ජනතාවට නැත්තෙ රිෂාඩ්ගෙ යාන්ත්‍රණය නිසා

විශ්වවිද්‍යාල ශිෂ්‍යයො කතා කරන්නෙ තමන් ගැන විතරයි

විදෙස්ගත බුද්ධිමතුන්ට රට ගැන අලුත් හැඟීමක් ඇතිවෙලා

විශ්වවිද්‍යාල තුනක්‍ඉක්මණින් අරඹනවා

සාධාරණ විවේචනයටආණ්ඩුව විවෘතයි

ආණ්ඩුවත්, විපක්ෂයත් ජනමාධ්‍ය සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ලකරනවා. මේ තත්ත්වය නිවැරදි කරන්න ඔබේ යෝජනා මොනවාද?

ප්‍රබුද්ධ සදාචාර සම්පන්න මාධ්‍ය සංස්කෘතියක් තමයි අපේ තේමාව. රජය ගැන සාධාරණ විවේචන කරන්න කියල ජනාධිපතිතුමාම කිව්වා. මාධ්‍යවේදීන්ට බියෙන් සැකෙන් තොරව සත්‍ය විවේචන කරන්න පුළුවන්. මේ වෙනස තමයි ජනතාව ඉල්ලුවෙ. රට හදන අලුත් සංස්කෘතිය තුළ රාජ්‍ය මාධ්‍යයටත්, පෞද්ගලික මාධ්‍යයටත් විශාල වගකීමක් පැවරෙනවා. ඕනම ඇමැතිකෙනෙක් රාජ්‍ය ඇමැතිකෙනෙක් රජයේ නිලධාරියෙක් දූෂණ අක්‍රමිකතා කරනවනම් ඒ ගැන සාධාරණ විවේචනයක් කරන්න අයිතියක් තියෙනවා. මාධ්‍ය විවේචන අපි ඉවසනවා. රාජ්‍ය මාධ්‍ය රජයේ හොරණෑ සහ මඩ ෆැක්ටරි බවට පත්වෙලා තිබුණා. රාජපක්ෂ රෙජිමය කිව්වා, රණවිරුවො, රට පැත්තෙ හිටගත්තු සියලු මිනිසුන්ට එලව එලවා පහරදුන්නා. දේශපාලන අපහාස උපහාස, මඩ කිසිම අයුරකින් රාජ්‍ය මාධ්‍යවල පළකරන්න එපා කියල මම සියලුම මාධ්‍ය ආයතනවලට උපදෙස් දුන්නා. ආණ්ඩු පක්ෂයට විතරක් ඉඩකඩ නොදී විපක්ෂයටත් රාජ්‍ය මාධ්‍ය ඉඩකඩ දෙන්න කියලත් මම කිව්වා. ඒක තමයි ලොකුම වෙනස.

නව ආණ්ඩුව පිහිටුවීමෙන් පසුවත් මාධ්‍යවේදීන්ට පහරදීම් සිදුවුණා. විපක්ෂයෙන් වගේම විවිධ ජාවාරම්කාරයන් මේ පහරදීම් පිටුපස හිටියා. වෙබ් මාධ්‍යවේදීන් CID ගෙනගොස් ප්‍රශ්න කිරීම් කළා. මේ තත්ත්වය ඔබ දකින්නෙ කොහොම ද?

මාධ්‍යවේදියෙක්, මහජන නියෝජිතයෙක්, ඇමැතිවරයෙක්, අගමැති, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වුණත්, වෙනත් තරාතිරමක ඕනම කෙනෙක් වුණත් රටේ එක නීතියක් ක්‍රියාත්මක වෙන්න ඕන. නීතිය ඉදිරියෙදි හැම කෙනෙක්ම එක හා සමානයි කියල පොදු නීති මූලධර්මයක් තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙ රජයෙ අරමුණ වෙන්නෙ ඒ නීති මූලධර්මය ඒ ආකාරයෙන්ම ඉටුකිරීම.

සියලුදෙනා රාජ්‍ය මාධ්‍ය මුවහමට තඩිබානවා. විපක්ෂයෙ ඉද්දි එහෙම තඩිබෑවත් ආණ්ඩු පක්ෂයට ආවම රාජ්‍ය මාධ්‍ය තමන්ට අවශ්‍ය විදියට පාවිච්චි කරනවා. මේ තත්ත්වය වෙනස් කරන්නෙ කොහොමද?

අපේ ප්‍රතිපත්ති ප්‍රකාශ‍නයෙ ඔය ගැන සඳහන් වෙනවා. ජාතික රූපවාහිනියත්, ස්වාධීන රූපවාහිනියත් ජාතික නාලිකාවන් හැටියට ස්වාධීනව කටයුතු කරන තත්ත්වයට පත්කළ යුතුයි. ආණ්ඩුමාරු වුණාට වෙනස් වෙන්නෙ නැති ජාතික න්‍යායපත්‍රයක් ක්‍රියාත්මක කරන ජාතියට මඟ පෙන්වන ආයතන බවට මේ ආයතන පත්කරන්න ඕන.

ලේක්හවුස් ආයතනය ඒ ගොඩට එන්නෙ නැද්ද?

මේ වැඩ සටහනට ලේක්හවුස් එකත් සම්බන්ධ කරගත්තොත් හොඳයි කියල මම හිතනවා.

මැතිවරණ සමයේ ක්‍රියාත්මක විය යුතු මාධ්‍ය උපමාන නීතියක් ලෙස සම්මත කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියනවා මේ ගැන ඔබ මොකද කියන්නෙ?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, මැතිවරණ නීතිය, අපරාධ නීතිය ඇතුළු නීති හැමටම එක සමානව ක්‍රියාත්මක වෙන්න ඕන. නීතියට අනුව ව්‍යවස්ථාදායකය විසින් මැතිවරණ කොමිසමට පවරල තියෙන බලය මත ගන්නා ක්‍රියාමාර්ගවලට හැම පුරවැසියෙක්ම අනුකූලවෙන්න ඕන.

මැතිවරණ කාලසීමාවලදී මාධ්‍ය ඉඩකඩ සමානව නොලැබීම නිසා සමහර පක්ෂවලට, අපේක්ෂකයන්ට අසාධාරණයක් සිදුවෙනවා නේද?

මහජන පදනමක් නැතිව ඉදිරිපත් වෙන අයට සමාන ඉඩකඩක් දෙන්න ප්‍රායෝගික හැකියාවක් නැහැ. ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙකයි රටේ තියෙන්නෙ. ඒත් ඊට සමාන අවස්ථාවක් පහුගිය කාලය පුරා ජනතා විමුක්ති පෙරමුණත් ලබාගත්තා. ප්‍රතිඵලය වුණේ ජ.වි.පෙ.ට ඇපත් නැතිවීම පහුගිය කාලයෙදි විශාල හඬක් නඟන්න පෙරටුගාමී පක්ෂයට මාධ්‍ය අවකාශය තුළ ඉඩක් ලබාදුන්නා. ඒකාබද්ධ විපක්ෂයටවත් එවැනි ඉඩක් ලැබුණෙ නැහැ. ඔවුන්ගෙ අපේක්ෂකය ගත්තෙ ඡන්ද අටදාහයි. මාධ්‍ය තුළ සැමට අයිතියක් දීම මිසක් සමාන අවස්ථාවක් දියයුතුයි කියන තර්කය පිළිගන්න බැහැ.

මෙරට ඉගෙනගත් උගතුන් බුද්ධිමතුන් රට හැරයාම නිසා විශාල බුද්ධි ගලනයක් ඇතිවෙලා කියල පහුගිය කාලය පුරා ඔබ චෝදනා කළා. මේ තත්ත්වය නිවැරදි කරන්න ඔබට දැන් අවස්ථාව උදාවෙලා නේද?

ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය, විශ්වවිද්‍යාල විද්‍යායතන ගොඩනඟන්න, මානව සම්පත් සංවර්ධනය ඇතුළු තවත් අංශ ගණනාවකට සහාය දෙන්න විදෙස්ගතවෙලා ඉන්න ශ්‍රී ලාංකික බුද්ධිමතුන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වෙලා තියෙනවා. ඔවුන්ට රට ගැන අලුත් හැඟීමක් ඇතිවෙලා. වසර 70ක් තිබුණු ක්‍රමයට වඩා වෙනස් ක්‍රමයකින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රට ගොඩනඟන්න හදනව කියන විශ්වාසය ඔවුන් තුළ ඇතිවෙලා. මුදල් නොගෙන යම්කිසි කාලයක් රටේ වැඩවලට උදව්වෙන්න එන්නම් කියල විදෙස්ගත වෙලා ඉන්න අය මටත් ඊමේල්, දුරකථන මඟින් දන්වල තියෙනවා.

විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු විරැකියාවෙන් පෙළෙන ප්‍රමාණය දිනෙන් දින වැඩිවෙනවා. මේ තත්ත්වය නිවැරදි කරන්නෙ කොහොම ද?

විශ්වවිද්‍යාලවල උද්ඝෝෂණ කරල, පෙළපාලි ගිහිල්ල, විභාග වර්ජනය කරල උපාධිගත්තත්, ඒ උපාධියට රස්සාවල් නැහැ. රස්සාවල් ඕනතරම් තියෙනවා. තියෙන රස්සාවල්වලට අවශ්‍ය උගත්තු මේ විශ්වවිද්‍යාල පද්ධතියෙන් බිහිවෙන්නෙ නැහැ. ඒකට කියන්නෙ සේවා වියුක්තියේ ව්‍යූහාත්මක අසමතුලිතතාව. 2020 තොරතුරු තාක්ෂණ අංශයෙ පනස්දහසකට රස්සාවල් තියෙනව කියල පෞද්ගලික අංශයෙන් අපිට දන්වල තියෙනවා. හැබැයි ඒ ඉල්ලුමට සැපයුමක් නැහැ. විදේශවලත් රැකියා තියෙනවා. ඒවට අවශ්‍ය විදියෙ අය අපි හදල නැහැ.

විශ්වවිද්‍යාල පද්ධතිය වෙනස් කරන්න ආණ්ඩුව හැටියට ඉදිරියෙදි ගන්න පියවර මොනවද?

විශ්වවිද්‍යාල වරම් නොලබන අ.පො.ස. උසස් පෙළ සමත් සියලුදෙනාට උසස් අධ්‍යාපනයට වරම් ලබාදෙනව කියල ජනාධිපතිවරණයට පෙර ගෝඨාභය රාජපක්ෂ මහත්තය ප්‍රතිඥාවක් දුන්නා. ඒ අභියෝගය තමයි අපි ඉදිරියෙ තියෙන්නෙ. මෙවර එක්ලක්ෂ අසූඑක්දාහක් විශ්වවිද්‍යාලවලට යන්න සුදුසුකම් ලැබුවා. මේ අය අතරින් එක්ලක්ෂ පනස්දහසක් නරාවළට වැටෙනවා. ඒක නතර කරගන්න එක තමයි මට තියෙන අභියෝගය. විශ්වවිද්‍යාලවලට යන කට්ටිය ඒ අය ගැනම කතාකරනවා විතරයි. මේ අතරමංවෙන තමන්ගෙ සහෝදර ශිෂ්‍ය ප්‍රජාව ගැන වචනයක් කතාකරන්නෙ නැහැ. ඒක කණගාටුදායක තත්ත්වයක්.

මේ අතරමංවෙන අය වෙනුවෙන් වැඩපිළිවෙළක් අවශ්‍යයි නේද?

ඔවු අපි ඒ වෙනුවෙන් ක්‍රමවේද කිහිපයක් හදනවා. දැනට තිබෙන විශ්වවිද්‍යාල පද්ධතියට උපරිම ශිෂ්‍ය සංඛ්‍යාවක් ඇතුළත් කරගන්න පුළුවන් විදියට උපරිම කාර්යක්ෂමතාවක් ඇති කරනවා. අලුතින් විශ්වවිද්‍යාල කිහිපයක් අරඹනවා. දියතලාව, නුවරඑළිය, අඹේවෙල ඉතාම කෙටිකාලයක් තුළ විශ්වවිද්‍යාල තුනක් අරඹනවා. ඒ ගැන අවශ්‍ය සම්පත් ගැනත් හොයා බැලුවා. අනෙක් ප්‍රදේශවලත් අපි සොයාබැලීම් කරනවා. ලෝකයෙ හැම රටකම ද්විතීක අධ්‍යාපනය හමාර කළ අයට විශ්වවිද්‍යාල විද්‍යායතන තියෙනවා. යුනිවර්සිටි කොලේජස් ලංකාවට අවශ්‍යයි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයගෙ ජනාධිපතිවරණ කාලසීමාව තුළ විශ්වවිද්‍යාලයකට අනුබද්ධිත විශ්වවිද්‍යාල විද්‍යායතනයක් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම අපි ආරම්භ කරනවා. ලංකාව පුරා 300ක් විතර එවැනි ආයතන හදනවා. ඒවා විශ්වවිද්‍යාල මට්ටමට එන්නේ නැහැ. ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා ඒ හරහා දෙනවා. වෘත්තීය අභිමුඛ අධ්‍යාපනයක් ඉන් ලබාදෙනවා. තාක්ෂණය තාක්ෂණවේදය අංශයේ රැකියා පුරප්පාඩු ඒ හරහා විසඳන්න පුළුවන්. විවෘත විශ්වවිද්‍යාල පාඨමාලා පාසල් පද්ධතියට සම්බන්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර ඒ සඳහා භාවිතා කරන්න පුළුවන්.

මහ බැංකු බැඳුම්කර හොරු ගැන පාස්කු ප්‍රහාරය ගැන විපක්ෂයෙ ඉන්දැද්දි ලොකු හඬක් නැඟුවත් බලය ගත්තට පස්සෙ ඒ හඬ දුර්වල වෙලා නේද?

අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නෙ නැතිවුණාමනෙ හඬක් නඟන්න වෙන්නෙ. දැන් හඬක් නඟන්න දෙයක් නැහැ. මහදවල් කරපු මහ බැංකු හොරකම අපි හඬ නඟල හෙළිකළා. ඒකාබද්ධ විපක්ෂයෙ කාර්යභාරය අපි හරියටම කළා. දැන් තියෙන්නෙ අදාළ පාර්ශ්වයන්ට නඩු පැවරීම, ඒ අයව ලංකාවට ගෙන්වා ගැනීම, ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. ජනවරම ලැබුනෙ ජනාධිපතිතුමාට විතරයි. අපේ ආණ්ඩුව හැදුවම අපි අවශ්‍ය කටයුතු කරනවා. දැන් රට දුවන්නෙ පරණ අතුරු සම්මත ගිණුමකින්. අය - වැය ලේඛනයක් ඉදිරිපත් කරන්න අලුත් ආණ්ඩුවක් හැදුවෙ නැහැ. වෙනස්කම් කරන්න තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් ගෝඨාභය මහත්තයට ජනතාව ලබාදෙයි කියල අපි විශ්වාස කරනවා. කකුළුව වතුර නටනකම් දිය හැලියෙ සතු‍ටෙන් ඉන්නව වගේ සමහර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු දැන් සතුටෙන් කතා කරනවා. වැරදි කරල තියෙන හැමෝටම දඬුවම් කිරීමේ ක්‍රමවේදය ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සෙ ක්‍රියාත්මක කරනවා. ඒ දඬුවම් කිරීම දේශපාලන පළිගැනීමක් නෙවෙයි.

මහ බැංකු වංචාව සිද්ධවෙනකොට ආණ්ඩුවෙ හිටපු එක්සත් ජාතික පක්ෂයත් දැන් කියනව මහ බැංකු හොරු අල්ලන්න කියල මේ ගැන ඔබ මොකද කියන්නෙ?

හොරකම් කළේ නැහැ කියල කියන්න බැහැනෙ. ෆුට්නෝට් කල්ලියක් හිටිය. ඒ කල්ලියෙ ඔක්කොම කිව්වෙ හොරකමක් වුණේ නැහැ කියල. එහෙම කිව්ව හැමෝම දැන් දන්නව හොරකමක් වුණා කියල. මේ අය දැන් ඡන්දෙට යන්න බයේ ඉන්නෙ. මේ අය හොරකම රැක්ක කියල ජනතාව දන්නවා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඊළඟ මැතිවරණයෙන් තුනෙන් දෙකේ බලය ඉල්ලන්නෙ පාර්ලිමේන්තු බලය හීනකරන්න නේද?

තුනෙන් දෙකක බලයක් තියෙනවනම් පාර්ලිමේන්තුව ශක්තිමත් වෙනවනෙ. ඡන්දෙට ඉස්සෙල්ල‍ මොනවද නොකිව්වෙ. මිනීමරුවෙක් කිව්ව, මිනීමරල මස් අරගෙන ගිහින් කිඹුලන්ට කන්න දානව ඇස්දෙකෙන් දැක්ක කිව්වා. මිලිටරි ආණ්ඩුවක් එනව කිව්ව. මිලිටරිය යටතෙ කාටවත් හෙල්ලෙන්න හම්බවෙන්නෙ නැහැ කිව්ව. මේ ඔක්කොම අද වෙනකොට බොරු බව ඔප්පුවෙලා. පරාජය දැක දැක එක්සත් ජාතික පක්ෂය මීට වඩා මොනව කරන්නද? පක්ෂයක් හැටියට එක්සත් ජාතික පක්ෂය අලුතෙන්ම පරාජය වෙන්නෙ මේ ඡන්දෙන් තමයි.

එක්සත් ජාතික පක්ෂය ගැන එවැනි තක්සේරුවකට ආවෙ ඇයි?

මුළු රටම විනාශකරල, මිනිස්සු ණයකාරයො කරල, ණය වාරික ගෙවාගන්න බැරි තත්ත්වයට මිනිස්සු පත්කරල ආදායම් මාර්ග නැවතිලා, ගොවියො, වැඩකරන පංතිය, සේවා සපයන අය, සමස්ත සමාජයම දැඩි පීඩනයක ඉන්නෙ. මේ පීඩනය ගෙනදුන්නු අයට පාර්ලිමේන්තු නියෝජනයක්වත් දෙන්න ජනතාව සූදානම් නැහැ.

ආණ්ඩුව අඩුකරපු බදුවල වාසිය ජනතාවට තවමත් ලැබෙන්නෙ නැහැ නේද?

ව්‍යවසායකයො, කර්මාන්තකරුවො, ව්‍යාපාරිකයො සියලු දෙනාට බදුබර උසුලන්න බැරිව හිටියෙ. ඔවුන් ව්‍යාපාර අත්හැරියා. පහුගිය ආණ්ඩුව බදු දඩයමක් කළා. ව්‍යාපාරිකයන්ට හුස්ම ගන්න බැරිව හිටියෙ. ඒ නිසා තමයි අපි බදු සහන දුන්නෙ. සියදිවි නසාගන්න හිටපු ව්‍යාපාරිකයන්ව මේ ආණ්ඩුව ගලවගත්තා.

ව්‍යාපාරිකයන්ට ලැබුණු බදු වාසිය ජනතාවට නොලැබෙන්නෙ ඇයි?

පාරිභෝගික කටයුතු අධිකාරිය ඒව අධීක්ෂණය කරන්න ඕන. රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා පහුගිය කාලෙ ඒ යාන්ත්‍රණය විනාශ කළා. ජනතාවට බදු සහන ලබාදෙන්න නම් රිෂාඩ්ගෙ පාරිභෝගික කටයුතු අධිකාරිය වෙනස් කරන්න ඕන.

 

සංවාදය-දුමින්ද සම්පත්

ඡායා-කැළුම් ලියනගේ

නව අදහස දක්වන්න