දෙවඟනත් අවිශ්වාසයි! | දිනමිණ


 

දෙවඟනත් අවිශ්වාසයි!

රන්ජන් රාමනායක මහතාගේ හඬපට පිළිබඳ සිදුවීම් මාලාව නිසා අධිකරණය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් ම අවුලකට වැටී තිබේ. එහි අනෙක් පැත්ත වන්නේ අධිකරණය, පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතන සම්බන්ධයෙන් පැවැති මහජන විශ්වාසය බිඳවැටීම ය. නීතිය පිළිබඳ විශ්වාසය බිඳ වැටුණු කල රාජ්‍යයක් පවත්වා ගැනීම අසීරු වෙයි. රාමනායක මහතාගේ හඬපටවලින් හෙළිදරව් වන කරුණු අනුව අධිකරණය කෙරෙහි ද, පොලිසිය කෙරෙහි ද විශ්වාසයක් තැබිය නො හැකිය. එහි ප්‍රතිඵලය වන්නේ අධිකරණය ලබාදෙන නඩු තීන්දු මහජනයාගේ සැකයට භාජනය වීම ය. මහජනයා අවසන් ලෙස හැසිරෙන්නේ අධිකරණය වෙතට ය. එය දූෂිත නම්; පුරවැසියා යොමුවිය යුතු වෙනත් ආයතනයක් නැත.

නීතියේ ආධිපත්‍යය යනුවෙන් හඳුන්වනු ලබන තත්ත්වය උදාවීම සඳහා අධිකරණයේ ස්වාධීනතාව, කාර්යක්ෂමතාව හා යුක්තිය ඉටුවීම යන සාධක සම්පූර්ණ විය යුතුව තිබේ. මේ හැරෙන්නට අධිකරණය ලබාදෙන තීන්දු - තීරණ කෙරෙහි මහජන විශ්වාසයක් පැවැතිය යුතුය. නීතිය කාටත් පොදු යැයි හැඟීමක් තිබීම පමණක් ප්‍රමාණවත් නැත. නීතිය කාටත් පොදු බව යථාර්ථවත් ලෙස සනාථ ‍විය යුතුය. එහෙත් යහපාලනය යටතේ එය සිදු වී නැත. තෝරාගත් පුද්ගලයන්ට දඬුවම් කිරීම සඳහා නීතිය වෙනස් කිරීම සේ ම සත්‍ය ලෙස ම වරදකරුවන් වූ පුද්ගලයන් නීතියෙන් බේරාගැනීම සඳහා ද පසුගිය කාලය තුළ බලධාරීන් ක්‍රියා කර ඇත.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දී ඇත්තේ හඬපට සිදුවීම් මාලාව නිසා අධිකරණයේ නඩු තීන්දු පිළිබඳ මහජන විශ්වාසය බරපතළ ලෙස කඩාවැටී ඇති බව ය. මේ තත්ත්වය වෙනස් කොට නීතිය හා අධිකරණය පිළිබඳ විශ්වාසය නැවත ගොඩනැඟීම සඳහා අගවිනිසුරුවරයා ද, අධිකරණ සේවා කොමිසම ද වහා පියවර ගත යුතු යැයි ද මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. රාමනායක මහතාගේ හඬපට ගැන පරීක්ෂණ පැවැත්වීම සඳහා කමිටුවක් පත් කළ යුතු යැයි යෝජනාවක් ද ඉදිරිපත් වී ඇත. රන්ජන් රාමනායක මහතා සතු ව හඬපට විශාල ප්‍රමාණයක් ඇති බව වාර්තා වී තිබේ. සමාජගත වී ඇත්තේ එම හඬපටවලින් කිහිපයක් පමණි. මේ හඬපට සමාජගත කළ යුතු ද යන්න තවත් ගැටලුවකි.

හඬපට සම්බන්ධ සිද්ධි දාමයෙන් පෙනී යන ‍එක් කරුණක් වන්නේ දේශපාලකයන් කොතෙක් දුරට අධිකරණයට බලපෑම් කරන්නේ ද යන්න ය. පුදුමයකට මෙන් මෙලෙස අධිකරණයට බරපතළ දේශපාලන බලපෑමක් සිදුවන්නේ යහපාලන ආණ්ඩුව යටතේ ය. එම ආණ්ඩුවේ ප්‍රධාන සටන් පාඨ බවට පත්ව තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම, නීතියේ ආධිපත්‍යය ස්ථාවර කිරීම, මානව හිමිකම් සුරක්ෂිත කිරීම වැනි අභිමානවත් කාරණාවන් ය. හිටපු ජනාධිපතිවරයා වරක් කියා සිටියේ යහපාලන ආණ්ඩුව මහජනයාගේ බඩට නො ව; ඔළුවට දැනෙන දේවල් සිදුකර ඇති බව ය. එහෙත් රාමනායක මහතාගේ සිද්ධි දාමයෙන් පෙනී යන්නේ යහපාලන ආණ්ඩුව ඉතා ප්‍රෝඩාකාරී ලෙස නීතියේ දෙවඟන දූෂ්‍ය කර ඇති බව ය.

එක්තරා හඬ පටියකින් අසන්නට ලැබෙන්නේ විනිසුරුවරියක රන්ජන් රාමනායක හමුවේ බැගෑපත් වන ආකාරය යි. රටේ විනිශ්චයකාරයන් පිළිබඳ බලවත් කලකිරීමක් එම හඬපටය ශ්‍රවණය කරන කෙනකු තුළ ඇති වෙයි. නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වීමට නම්; විනිශ්චයකාරයන් ස්වාධින විය යුතු ය. ඔවුන්ගේ තීන්දු අපක්ෂපාතී විය යුතුය. යහපාලන ආණ්ඩුව යටතේ ඒ දෙකට ම ඉඩක් ලැබී නැති බව පෙනෙයි. නඩුකාරයන් හැසිරිය යුතු සම්ප්‍රදායක් තිබේ. නඩු විභාගයක් ගැන දුරකථන සංවාදයේ යෙදීමට අවසරයක් ‍නඩුකාරයකුට නැත. විශිෂ්ට සේවාවක නිරත වූ අපේ ඇතැම් නඩුකාරයන් ප්‍රසිද්ධ ස්ථානවල ගැවසුණේ නැත. ඇතැම් නඩුකාරයන් සමීප මිතුරු සබඳතා පැවැත්වූයේ නැත. ඒ සියල්ල නීතිය ක්‍රියාත්මක කිරීමට ඇති බාධා ලෙස සැලැකිණි.

ඉන්දියාවේ ස්වාධීන අධිකරණයක් පවතින බව බොහෝ දෙනකුගේ පිළිගැනීම ය. අප දන්නා ඇතැම් නඩු තීන්දුවලින් ද ඒ බව සනාථ වෙයි. එරට විනිසුරුවන් දේශපාලකයන් ඉදිරියේ නීතිය බාල්දු කරන්නේ නැත. ඉන්දීය පොලිස් සේවය වුව නීතියට පිටින් යමක් කරන්නේ කලාතුරෙකින් ය. එලෙස නීතිගරුක නොවන නිලධාරීන් සම්බන්ධයෙන් වහා පියවර ගැනීම ද ඉන්දීය රාජ්‍ය පාලනයේ ක්‍රමය වෙයි. යහපාලනය යටතේ අධිකරණය, පොලිසිය පමණක් නොව; අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද දූෂිත වී තිබේ. එම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේ‍සේකර මහතා හා රන්ජන් රාමනායක මහතා අතර පැවැත්වෙන දුරකථන සංවාදවලින් ඒ බව පැහැදිලි වෙයි. සමස්තය නිරීක්ෂණය කරනවිට පෙනී යන්නේ නීතිය නැමීම ඔස්සේ දේශපාලන පළිගැනීම් කිරීමට යහපාලනයේ නායකයන් ක්‍රියාත්මක වී ඇති බවකි.

නෙල්සන් මැන්ඩෙලාගේ මහජන විප්ලවයට පෙර දකුණු අප්‍රිකාවේ නීතිය පැවැතියේ සුළුතර සුදු ජාතිකයන් අතේ ය. පොලිසිය පැවැතියේ ද සුදු ජාතිකයන් අතේ ය. නීතියේ විධි-විධාන පවා සුදු ජාතිකයන්ට වාසිසහගත ලෙස සැකසී තිබිණි. මේ අනුව කළු ජාතිකයන් අත්අඩංගුවට ගැනීම, ඔවුන්ට පහරදීම හා ඇතැම්විට වෙඩි තබා මරා දැමීමත් සාමාන්‍ය සිදුවීම් බවට පත්විය. අධිකරණයෙන් පවා බහුතර කළු ජාතිකයන්ට යුක්තිය ඉටුවූයේ නැත. දකුණු අප්‍රිකාවේ මහජන කැරැල්ල පෝෂණය වන්නේ එබඳු පසුබිමක් යටතේ ය. යුක්තිය පිළිබඳ මහජන විශ්වාසය බිඳවැටීම බරපතළ මහජන කැළඹීම් ඇති කිරීමට හේතු-සාධකයක් වෙයි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙන ලෙස හඬපට සිදුවීම් මාලාවෙන් බිඳවැටුණු අධිකරණය පිළිබඳ මහජන විශ්වාසය යළි ගොඩනැඟීමට පියවර ගත යුතුය. එය කළ හැක්කේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන ස්වාධීන කිරීමෙන් හා එම ආයතන දූෂිත තත්ත්වයට පත්කළ වරදකරුවන්ට දඬුවම් ලබාදීමෙන් ය.

නව අදහස දක්වන්න