‍රෝහලේ අනාරක්ෂිත දොරකින් වැටී නේවාසිකයෙක් මරුට | දිනමිණ

‍රෝහලේ අනාරක්ෂිත දොරකින් වැටී නේවාසිකයෙක් මරුට

කොළඹ රෝහලක 49 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු එම වාට්ටුවේ අනාරක්ෂිත දොරකින් බිමට වැටී මරුමුවට පත්වීමේ සිද්ධියක් කොළඹ නාගරික අධිකරණයෙන් ඊයේ (10) අනාවරණය විය. මාලිගාවත්ත, බෝධිරාජ මාවතේ පදිංචි චාර්ලිස් වින්ෂ්ටන් ඇන්රිස් රැකව නැමැති 68 හැවිරිදි සිවුදරු පියා මෙලෙස මරුමුවට පත්ව ඇත.

ඉකුත් 31 වැනි දින හදිසියේම ඇතිවූ රෝගී තත්ත්වයක් මත රෝහලට ඇතුළත් කරනු ලැබූ මේ පුද්ගලයාට ඇදුම රෝගය හේතුවෙන් නේවාසික ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (10) රාත්‍රියේදී මේ දොරෙන් ඇදවැටී තිබේ.

තම මිනිබිරියන් මෙන්ම මුනුබුරන් බැලීම සඳහා යාමට අවශ්‍ය බව පවසා රෝහලෙන් පිටවීමට දෙවරක් මේ පුද්ගලයා උත්සාහ කර ඇති අතර, සිද්ධිය වූ අවස්ථාවේදී ඔහු තම ඇඳුම් පාර්සලය ද රැගෙන යාමට තැත් කිරීමේදී රෝහල් වාට්ටුවේ තිබූ මේ අනාරක්ෂිත දොරෙන් බිම වැටී මරුමුවට පත්ව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක ඉරේෂා දේශානි සමරවීර මහත්මිය අනාරක්ෂිත ස්ථානය මෙන්ම ‍දේහය පරීක්ෂා කර බලා පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඊයේ (10) යොමු කිරීමට මරදාන පොලිසියට නියෝග කළාය.

මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය අධිකරණ වෛද්‍ය වසන්ති වාසන් මහත්මිය පැවැත්වූවාය.

සිද්ධිය වූ අවස්ථාවේදී තමා සිය රාජකාරියේ නොසිටි බවත්, ඒ වෙනුවෙන් අදාළ රාජකාරි සඳහා හෙද නිලධාරි සුජීව මහතා සේවයේ නියැළී සිටි බවත් පහත මාලයේ ජල නළවල රෝගියා සිරවී සිටින බවත්, දැනගන්නට ලැබූ බවත් රෝහලේ 49 වාට්ටුවේ ප්‍රධාන හෙද නිලධාරිනී කේ. ටර්නි සුජීකා ප්‍රියන්ති ද සිල්වා (51) මහත්මිය අධිකරණය හමුවේ සාක්කි දෙමින් පැවසුවාය.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක ඉරේෂා දේශානි සමරවීර මහත්මිය ඉදිරියේදී පැවැති මියගිය අයගේ හදිසි මරණ පරීක්ෂණයේදී ප්‍රධාන හෙද නිලධාරිනී මෙසේ ද කීවාය.

මේ දොරටුව වතුර බට ප්‍රවේශ පරීක්ෂා කිරීමට යොදා තිබූ එකක්. මේ ප්‍රදේශයේ රෝගීන් ගැවසෙන්නේ නැහැ. මෙහි දොර අඩි 2ක් පළල හා අඩි 4ක් උසින් සමන්විතය. මේ දොරේ යතුර හෙද නිලධාරි කාමරයේ පුවරුවේ එල්ලා තිබෙනවා.

මෙහිදී හරස් ප්‍රශ්නයක් මතුකළ මරණ පරීක්ෂක මේ යතුර අරන් ඇවිත් ඔහුට අරින්න පුළුවන්කමක් තිබෙනවාද?

ප්‍රධාන හෙද නිලධාරි - එහෙම හිතන්න අමාරුයි.

මරණ පරීක්ෂක - මේ දොර බාගෙට ලොක් වෙලා තියෙනවා ද?

ප්‍රධාන හෙද නිලධාරිනී - මම කලින් ලොක් කර තිබුණා.

මරණ පරීක්ෂක - ඔබට ලොකු වගකීමක් තිබෙනවා නේද ආරක්ෂිතව තිබිය යුතු දොරක් අනාරක්ෂිතව තිබීම පිළිබඳව. ඒ පිළිබඳව ඔබ සැලකිලිමත් විය යුතුයි නේද?

ප්‍රධාන හෙද නිලධාරිනී - ඔව්. අනාරක්ෂිත අගුළු නියමිත ලෙස සොයා බලා ඒවා නිවැරදි කර හදලා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් 49 වාට්ටුවේ හෙද නිලධාරි සූපහේවගේ රංජිත් සුජීව (41) සෞඛ්‍ය කාර්ය සහායක දිසානායක මුදියන්සේලාගේ සමන් කුමාර (42) යන අය සාක්කි දුන්හ.

අදාළ වෛද්‍ය වාර්තා හා සාක්ෂි සැලකිල්ලට ගත් කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක ඉරේෂා දේශානි සමරවීර මහත්මිය මියගිය අයගේ මරණය සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදීමට ලබන මස 08 වන දිනයට කල් තැබුවාය.

හේමන්ත ඩෙප්

නව අදහස දක්වන්න