හෝමාගම රෝහල මධ්‍යම රජයට පවරාගෙන ජාතික රෝහලක් කිරීමට සැලසුම් කර තිබෙනවා | දිනමිණ

හෝමාගම රෝහල මධ්‍යම රජයට පවරාගෙන ජාතික රෝහලක් කිරීමට සැලසුම් කර තිබෙනවා

චමීර ඇල්ලදෙණිය

හෝමාගම පළාත් සභාව සතුව පවතින රෝහල මධ්‍යම රජයට පවරාගෙන ජාතික රෝහලක් බවට පත් කිරීමට රජය සැලසුම් කර තිබේ. දැනට පළාත් සභාව යටතේ පවත්වාගෙන යනු ලබන හෝමාගම රෝහල මධ්‍යම රජයට පවරාගෙන ජාතික රෝහලක් බවට සංවර්ධනය කරන බවත් ඒ තුළින් අධිවේගී මාර්ගය ආශ්‍රිතව සිදුවන අනතුරු, කොළඹින් මෙහා සහ අවිස්සාවේල්ල දක්වා ජාතික රෝහලක් නොමැතිවීම නිසා මතුව තිබෙන ගැටලු විසඳීමට හැකියාව ලැබෙන බවත් උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඇමැතිවරයා මේ බැව පැවසූවේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පසුගියදා (08) පැවති සංවර්ධන කමිටු රැස්වීමට සහභාගි වෙමිනි.

එහිදී තවදුරටත් ඇමැතිවරයා මෙසේද කීය.

ජාතික පාසල් 07ක් තිබෙන එකම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බවට හෝමාගම පත් කරනවා. ඒ අනුව පනාගොඩ පරාක්‍රම විද්‍යාලය, මීගොඩ මහා විද්‍යාලය, හෝමාගම මධ්‍ය විද්‍යාලය, දීපංගොඩ විද්‍යාලය ඇතුළු විද්‍යාල 05ක් මෙසේ ජාතික පාසල් ලෙස මධ්‍යම රජයට පවරාගෙන සංවර්ධනය කිරීමට කටයුතු කරනවා. එමෙන්ම වෑතර රෝහල පළාත් සභා රෝහලක් ලෙස සංවර්ධනය කරනවා.

එසේම මීගොඩ තිබෙන ආයුර්වේද මධ්‍යස්ථානය ස්නායු සම්බන්ධ විශේෂිත ප්‍රතිකාර සපයන, නේවාසික ව ප්‍රතිකාර ලබාදිය හැකි, බොරැල්ල ආයුර්වේද ජාතික රෝහල මෙන් ජාතික ආයුර්වේද රෝහලක් වශයෙන් සංවර්ධනය කරනවා. එමෙන්ම එම රෝහල ආශ්‍රිතව ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා ප්‍රදානය කෙරෙන, උසස් අධ්‍යාපනයට පිවිසීමට අපේක්ෂිත දරුවන් උදෙසා එහි විශ්වවිද්‍යාල විද්‍යායතනයක් ආරම්භ කරනවා. එමෙන්ම පසුගිය සමයේ කුලියාපිටියට රැගෙන ගිය මෘදුකාංග ව්‍යාපෘතිය නැවත වතාවක් හෝමාගමට ගෙන ඒමට කටයුතු කරනවා.

සෑම ග්‍රාමසේවා වසමකටම මේ වනවිට ලක්ෂ 20 බැගින් වෙන් කොට තිබෙන අතර එයින් මාර්ග සංවර්ධනය සඳහා යොදවනවා.

මෙතෙක් අඩාල වී තිබුණු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීමේ කටයුත්ත ද නැවත සිදු කරන්න අවශ්‍ය කටයුතු සලසා දෙනවායි ද පැවසීය.

පළාත් හිටපු පළාත් ඇමැති ගාමිණී තිලකසිරි මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

නව අදහස දක්වන්න