රන්ජන් කතා කරයි | දිනමිණ


 

රන්ජන් කතා කරයි

ඕනෑ ම ආණ්ඩුවක තරම; එම ආණ්ඩුව ගෙන යන අධිකරණ ක්‍රියාවලියෙන් වටහා ගත හැකි ය. රටක ශීලාචාරකම අධිකරණ කටයුතුවලින් වටහාගත හැකි බව ද, ඒ සඳහා ආණ්ඩුවක් ගෙන යන ක්‍රියාවලියෙන් ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය තීන්දු කළ හැකි බව ද හැරල්ඩ් ඩී ලැස්කි සඳහන් කර තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් තුළ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන ආයතන ස්වකීය බලසීමාවන් හොඳින් වටහාගෙන ක්‍රියා කළ යුතුව තිබේ. එහෙත් ශ්‍රී ලංකාව තුළ එම තත්ත්වය දකින්නට ලැබුණේ නැත. අධිකරණය ගතහොත් දීර්ඝ කාලයක සිට එහි අවුලක් දකින්නට ලැබිණි. 2015 දී බලයට පත් වූ යහපාලන ආණ්ඩුව මේ පිළිබඳ බරපතළ සංවාදයක් ගෙන ගිය අතර අධිකරණය හා පොලීසිය ස්වාධීන කළ බවට බලවත් ප්‍රචාරයක් ගෙන ගියේ ය.

මේ වන විට හෙළිදරව් වන ඇතැම් කරුණුවලින් පෙනී යන්නේ යහපාලන ආණ්ඩුව නීතියේ ආධිපත්‍යය මුළුමනින්ම කෙලෙසා ඇති බවකි. යහ පාලනය සංකල්පීය වශයෙන් අර්ථවත් පාලන විශේෂයක් වන්නේ වුව පසුගිය කාලය තුළ දී එය විකෘතිකොට ක්‍රියාවට නංවා ඇති බව පෙනෙයි. ජනප්‍රිය නළුවකු හා මහජන නියෝජිතයකු වන රංජන් රාමනායක මහතා සම්බන්ධයෙන් හෙළිදරව් වන කරුණුවලින් පෙනී යන්නේ පොලීසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පමණක් නො ව; අධිකරණය ද දේශපාලන නායකයන් විසින් හසුරවන ලද බව ය. රංජන් රාමනායක යනු ඒ සඳහා යොදාගනු ලැබූ සම්බන්ධීකාරකයකු බව ද පෙනී යයි. නීති ක්ෂේත්‍රයේ බලගතු පුද්ගලයන් හා රංජන් රාමනායක අතර සිදු වී ඇති දුරකථන සංවාදවලට සවන් දෙන විට රටේ නීතිය ක්‍රියාත්මක ව ඇති ආකාරය පිළිබඳ භයානක චිත්‍රයක් ඇ‍ඳෙයි.

අත්අඩංගුවට ගත යුත්තේ කවුරුන් ද? අත්අඩංගුවෙන් නිදහස් කළ යුත්තේ කවුරුන් ද? සිරගත කළ යුත්තේ කවුරුන් ද? ඇප ලබාදිය යුත්තේ කාටද? ඒ සඳහා නීතියේ කුමන විධි - විධාන භාවිත කළ යුතු ද යන්න තීන්දු කරන්නේ දේශපාලකයා නම්; ඒ රටට දෙවියන්ගේ පිහිට හැර වෙනත් දෙයක් ඉල්ලා සිටිය නොහැකි ය. යහපාලන ආණ්ඩුව යටතේ අත්අඩංගුවට ගනු ලැබූ ඇතැම් නිර්දෝෂී පුද්ගලයන් සිරගත කිරීම සඳහා යොදනු ලබන කූට උපාය මාර්ග රංජන් මහතාගේ දුරකථන සංවාදවලින් පැහැදිලි වෙයි. නිර්දෝෂී පුද්ගලයන් අත්අඩංගුවට ගෙන දඬුවම් පැමිණවීම මෙන්ම වරදකරුවන් නිදොස් කොට නිදහස් කිරීම ද තවත් බරපතළ අපරාධයකි. එම අපරාධය යහ පාලන ආණ්ඩුව යටතේ සිදු වී ඇති බව නොයෙක් සිදුවීම් ඔස්සේ සාක්ෂි සහිත ව සනාථ වෙයි. ඒ අනුව මීට සම්බන්ධ වූ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන වහාම නීතිය හමුවට කැඳවිය යුතුව තිබේ.

කොමිෂන් සභා පිහිටුවීම ඔස්සේ පොලිස් දෙපාර්තමේන්තුව ස්වාධීන වූ බව ද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ස්වාධීන වූ බව ද, අධිකරණය ස්වාධීන වූ බව ද යහ පාලනයේ නායකයෝ පුන - පුනා කියා සිටියහ. මෙය කෙතරම් ද යත්; ජගත් ආයතන පවා ශ්‍රී ලංකාවේ යහ පාලනය අගය කරන තැනෙක පසුවිය. එහෙත් සිදු වී ඇත්තේ අනෙකක් බව රංජන්ගේ දුරකථන සංවාදවලින් පෙනී යයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා උපදෙස් ලබාගෙන ඇත්තේ රංජන් රාමනායකගෙන් බව පෙනී යයි. යහපාලන ආණ්ඩුවේ අවශ්‍යතා පිරිමැසෙන අයුරින් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වී ඇත. එහි අවසන් තීරකයා වී ඇත්තේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යැයි සැක කරන්නට කරුණු තිබේ. ඇතැම් චෝදනාවක් හිටපු ජනාධිපතිවරයා දක්වා දීර්ඝ වන්නට ද පුළුවන.

යහපාලන ආණ්ඩුව නීතිය නැමූ බවට චෝදනාවක් එල්ල විය. එය බොරුවක් නොවන බව ඇතැම් සිදුවීම් නිරීක්ෂණය කරන විට පෙනී යයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ලොක්කා රංජන් රාමනායක අමතන්නේ ඉතා ගරුසරු ඇති ව සෑර් කියමින් ය. එක්තරා විනිසුරුවරියක රංජන් ඉදිරියේ බැගෑපත් වන ආකාරය දකින විට රටේ අධිකරණය ගැනත්, විනිශ්චයකාරවරුන් ගැනත් හිරිකිතයක් ඇතිවීම වැළැක්විය නො හැකිය. රංජන් රාමනායක නීතියේ දෙවඟන පිටුපසින් සිට ඇය නිරුවත් කළ ආකාරයක් අපට පෙනී යයි. ඔහු නීතියට කරන බලපෑම, පොලීසියට කරන බලපෑම අතිශය භයානක ය. එක අතෙකින් ඉහත ආයතනවල උසස් නිලධාරීන්’ නීතිය හමුවට පමුණුවා සියල්ල හෙළිදරව් කළ යුතු අතර අදාළ ආයතන මුළුමනින් ම ප්‍රතිසංස්කරණවලට ලක් කළ යුතුය. තව අතෙකින් නීතියට සිදුකර ඇති දේශපාලන බලපෑම සම්බන්ධයෙන් සියලු වරදකරුවන්ට දඬුවම් ලබා දිය යුතුය. රට ශීලාචාර කළ හැක්කේ ඒ මාර්ගයෙන් පමණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් හා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඉහත සිදුවීම් මාලාව නිරීක්ෂණය කොට ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා පැහැදිලි කිරීම් කිහිපයක් ද සිදු කළේ ය. එහි දී ඔහු පෙන්වා දුන්නේ යහ පාලනයේ නායකයන් දේශපාලන පළිගැනීම් සඳහා රහසිගත සන්ධානයක් ඇති ව ක්‍රියා කර ඇති බව ය. පොලිස් කොමිසමක් පැවැතිය ද පොලීසියේ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් ලෙස තෝරා පත් කරගෙන ඇත්තේ කුමන්ත්‍රණයට හවුල් කරගත හැකි අය බව පෙනෙයි. පොලිස් කොමිසමේ පත් කිරීම් ගැන ද සැකයක් මතුවිය හැකි ය. යහ පාලනයට අවනත නොවන පුද්ගලයන් ද, යහ පාලන ආණ්ඩුවට අභියෝගයක් වූ පුද්ගලයන් ද අත්අඩංගුවට ගෙන සිරගත කොට ඔවුන්ගේ බල බිඳීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වී ඇති බව පැහැදිලි ය. මේවා හෙළිදරව් වන විට ඇතැම් දේශපාලන පක්ෂ හා නායකයන් කම්පනයට පත්වීම නොවැළැක්විය හැකි ය.

රටක් ඉදිරියට ගෙන යෑමට නම්; නීතියේ ආධිපත්‍යය තහවුරු විය යුතුය. එය සැබෑ ලෙසට ම තහවුරු විය යුතුය. යහ පාලන ආණ්ඩුව කොමිෂන් සභා පත් කළ ද නීතියේ ආධිපත්‍යය තහවුරු වී නැත. පොලීසිය ස්වාධීන වී නැත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වී ඇත්තේ දේශපාලන ව්‍යාපෘතියක් හැටියට ය. මේවා නිවැරැදි කිරීම සඳහා ජනතාවගේ සහයෝගය ද අවශ්‍ය බව පෙනෙ යි.

නව අදහස දක්වන්න