නොමියෙන ගුරු තරුව! | දිනමිණ


 

නොමියෙන ගුරු තරුව!

සිංහල වේදිකා නාට්‍ය වංශ කතාවේ එක් පරිච්ඡේදයක් නිමාකරමින් ආචාර්ය ජයලත් මනෝරත්නයෝ ජීවිතයෙන් සමු ගත්හ. ජයලත් මනෝරත්න යනු නාට්‍යවේදියකු හා නළුවකු පමණක් ම නො වේ. ඔහු ක්ෂේත්‍ර ගණනාවක සිය අනන්‍ය සටහන තැබූ නිර්මාණකරුවෙකි. එලෙස ම චින්තකයෙකි. කලාවේ අරමුණ සංස්කෘතික මිනිසා තැනීම බව ඔහු වරක් කියා සිටියේ ය. සමාජ සංවර්ධනය කොන්ක්‍රීට්වලින් පමණක් නිෂ්පාදනය කළ නොහැකි බව ඔහු තව වරක් කියා සිටියේ ය. කලාවේ ඉලක්කය විය යුත්තේ මිනිසාට හාස්‍ය රසය ලබාදීම පමණක් නො වේ යැයි ඔහු තවත් වරක් කියා සිටියේ ය. ජනතාව අවදි කරන හරවත් කලාවක් වෙනුවෙන් ජයලත් මනෝරත්න පෙනී සිටි බව ඔහුගේ කාර්යභාරය නිරීක්ෂණය කරන විට පෙනී යයි.

ජනතාවගේ ආදරය දිනාගත් කලාකරුවකුගේ වි‍යෝව රටක් තුළ බලවත් කම්පනයක් ඇති කරන බව අමුතුවෙන් කිව යුතු නැත. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ වියෝව පණ්ඩිත් අමරදේවයන්ගේ වියෝව ඊට නිදසුන් ලෙස දැක්විය හැකි ආසන්න සිද්ධි ලෙස සටහන් කළ හැකි ය. එබඳුම කම්පනයක් ජයලත් මනෝරත්නයන්ගේ වියෝව තුළ ද සටහන් වී ඇතැ’යි නිසැක ලෙස කිව හැකි ය. ඔහු බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනාගත් සම්මානනීය රංගධරයෙකි. ඔහුගේ අනන්‍ය වූ රංග පෞරුෂය පිළිබඳ සංවාදය තවත් බොහෝ කාලයක් පවතිනු ඇත. “මහගිරිදඹ” නාට්‍යයේ සිට “සෙල්ලම් නිරිඳු” නාට්‍යය දක්වා ඔහුගේ ස්වතන්ත්‍ර නාට්‍ය පෙළහර තවත් බොහෝ කාලයක් අපේ රසික ජනතාව වින්දනයෙන් ද බුද්ධියෙන් ද සන්තෘප්ත කරනු ඇත.

ජයලත් මනෝරත්නයන්ගේ ජීවිතය දෙස ආපසු හැරී බලනවිට අප්‍රතිහත ධෛර්යයකින් යුතු අයෝමය චරිතයක් නැඟී සිටී. ඔහු සිය ජීවන ගමන ආරම්භ කරන්නේ අති දුෂ්කර ප්‍රදේශයක කටුක පසුබිමක් තුළ ය. හඟුරන්කෙත, දෙහිපේ කඳුකර ප්‍රදේශය ඔහුගේ උපන්ගම විය. පියා සාමාන්‍ය රියැදුරෙකි. මව ගෘහණියකි. දරුවන් හයදෙනකු උස් මහත් කිරීම සඳහා මාපියන් බලවත් වෙහෙසක් දරන්නට ඇත. මනෝරත්නයෝ අතිශය දුක්බර අත්දැකීම්වලට මුහුණ දෙමින් අධ්‍යාපනයේ ඉහළට ම පැමිණියහ. ඒ ඔස්සේ ඔහු අපේ සමාජයට ලබාදෙන පණිවිඩය වන්නේ මිනිසාට ලබාගත හැකි හොඳ ම දායාදය අධ්‍යාපනය බව ය. ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් මූලික උපාධිය ලබා පසුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් හා යළිත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පශ්චාද් උපාධි ලබාගෙන තිබේ. ජයලත් මනෝරත්න මහතා අධ්‍යාපනයට මූලික තැන ලබාදෙමින් තම ජීවිතය ජයගත් පුද්ගලයෙකි.

ලෝකයේ හොඳම සිනමා නළුවා වීමේ අවස්ථාව ද ඔහුට වරක් ලැබිණි. ඉන්දියාවේදී මනෝරත්නයන් වෙත එම සම්මානය පිරිනැමිණි. සරත් ධර්මසිරි අධ්‍යක්ෂවරයාගේ ‘සූවිසි විවරණ’ චිත්‍රපටයේ ගණිතසාර ගුරුන්නාන්සේ නම් චරිතය නිරූපණය වෙනුවෙන් ඉහත සම්මානය ලැබී තිබිණි. බිඳවැටෙන කලා සම්ප්‍රදායක අවසන් පුරුක ලෙස ගණිතසාර ගුරුන්නාන්සේ හැඳින්විය හැකිය. කලා සම්ප්‍රදාය බිඳවැටීම දරා ගනිමින් ජීවිතයට මුහුණ දෙන මනුෂ්‍යයකුගේ භාව නිරූපණය ජූරියේ මහත් ඇගයීමට ලක් වී තිබිණි. මනෝරත්න මහතා මෙරට වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ දී පස් වතාවක් ම හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වී ඇත. ඔහුගේ රංග පෞරුෂය වටහා ගැනීම සඳහා එම නිදසුන් හොඳට ම ප්‍රමාණවත් ය. විචාරක මතයට අනුව ජයලත් මනෝරත්න ස්වකීය වූ අනන්‍ය රංග ප්‍රතිභාවක් ගොඩනඟාගෙන ඇත්තේ ජීවිතය විනිවිද දැකීම තුළින් ය. එලෙස ම සැබෑ චරිත අධ්‍යයනය හා නිරීක්ෂණය තුළින් ය.

සිංහල නාට්‍ය කලාව වරෙක පිරිහී ගියේ එය හාස්‍යයට මුල්තැන දෙමින් හරසුන් නිර්මාණ බිහි වූ නිසා ය. ජයලත් මනෝරත්න එම රැල්ල නියෝජනය කළේ නැත. වේදිකා නාට්‍යයෙන් හරවත් යමක් කළ යුතු බව ද, එය ජනතාවගේ බුද්ධිය අවුළුවන මාධ්‍යයක් ලෙස පැවැතිය යුතු බව ද ඔහු විශ්වාස කළේ ය. ඒ පමණක් නො ව ඔහු හරවත් නාට්‍ය කලාවක් උදෙසා මහත් කැපවීමකින් ක්‍රියා කළේය. “ගුරුතරුව” ඉහත කී අභියෝගය ජයගත් සන්ධිස්ථානයක් ලෙස සැලැකිය හැකි ය. අදටත් එම නාට්‍යය වේදිකාගත වෙයි. ගුරුතරුව මඟින් සමාජයට දෙන පණිවිඩය ගැන බොහෝ සංවාද ඇතිවිය. එම නාට්‍යයේ පෙළ, සංගීතය හා භාවමය නිරූපණ රසික ජන ප්‍රජාවගේ ආකර්ෂණයට හා ගෞරවයට ලක් වූ බව කිව යුතු ය. ආචාර්ය ජයලත් මනෝරත්න වරක් කියා සිටියේ සිංහල වේදිකා නාට්‍යය ‍බේරාගැනීමට නම් උකටලීව බලා සිටීම අත්හළ යුතු බව ය.

ජයලත් මනෝරත්නයන්ගේ නාට්‍යාවලිය තුළ විශේෂතා රැසක් තිබේ. ඒවායින් කිහිපයක් දැක්වීම කාලෝචිත ය. ඔහු සමාජ විවේචනයට රුසියෙකි. ඉතා තියුණු ආයුධ මෙන් ඔහුගේ වචන හැසිරවීම සිදුවෙයි. “අන්දරේලා” නාට්‍යයේ එක දෙබසකින් කියැවෙන්නේ ජනතාව මෝඩවන තරමට පාලකයන්ට රජමඟුල් යන්න ය. දේශපාලනය හා නායකයන් විවේචනය කිරීමට ජයලත් මනෝරත්න පැකිළුණේ නැත. ඔහු සිය නාට්‍ය නිර්මාණ සඳහා විවිධ ආකෘති භාවිත කළේ ය. ශෛලිගත සම්ප්‍රදාය සේම යථාර්ථවාදී සම්ප්‍රදාය ද ඔහු අනුගමනය කළේය. වරෙක එපික් රංගනයට ගියේ ය. “සෙල්ලම් නිරිඳු” නාට්‍යය සඳහා භාවිත කර ඇත්තේ “වාර්තා රංගන” ක්‍රමයයි. ආචාර්ය ජයලත් මනෝරත්න විවිධ පර්යේෂණ කරමින් සිංහල නාට්‍ය කලාව පෝෂණය කළේය. ‘සිංහල නාට්‍යයේ ප්‍රාසාංගික කලාත්මක වර්ධනය’ නම් ඔහුගේ පර්යේෂණ කෘතිය එහි අග්‍රඵලය ලෙස පවතී.

වේදිකාව, සිනමාව, ටෙලිනාට්‍යය, සාහිත්‍යය යන සෑම ක්ෂේත්‍රයක ම නොමැකෙන සටහනක් තැබීමට සමත් වූ ආචාර්ය ජයලත් මනෝරත්න වැනි කලාකරුවන් රටකට හිමිවන්නේ ජාතියේ වාසනාවකට යැයි කිව හැකි ය. එහෙත් ඔවුන් සිය ජාතික කාර්යභාරය නිමාකොට පෙරළා යා යුතු ය. එය ස්වභාව ධර්මයේ නීතිය වෙයි. ඊට කවුරුන් වුව අවනත විය යුතු ය. මනෝරත්නයන්ගේ හිඩැස පිරවීම සඳහා තවත් කාලයක් බලා සිටින්නට සිදුවනු ඇත. ඉහළ අහස දෙස බලන අපට පෙනී යන්නේ ගුරුතරුව තව ම දිදුළමින් පවතින බව ය.

නව අදහස දක්වන්න